අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම

1182

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන් ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු රහස් පොලිසියේ අත්අඩංගුවට පත්වූයේ 2019 මාර්තු 28 වැනිදාය. එදින පෙරවරු 6.20 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්. ඉසෙඩ්.- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටියදී කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට පත්ව තිබිණි. එම වසරේ පෙබරවාරි මාසයේ ඩුබායිහි ජුමෙයිරා මරීනා ප්‍රදේශයේදී ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පිරිස අතර මාකඳුරේ මධූෂ් මෙන්ම කංජිපානි ඉම්රාන් ද විය. මෙරට බුද්ධි තොරතුරුවලට අනුව පකිස්තානයේ සිට මෙරටට හොරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ මහා පරිමාණ ජාවාරමක් මෙහෙයවූ කංජිපානි ඉම්රාන් 2015 මාර්තු 28 වැනිදා ඩුබායි වෙත පළා ගොස් තිබිණි. 2016 වසරේදී ඩුබායි නේවාසික වීසා ලබාගැනීමෙන් අනතුරුව අධි සුඛෝපභෝගී නිවසක් 99 අවුරුදු බද්දට ගෙන ඇති කංජිපානි ඉම්රාන් ජංගම දුරකථන ව්‍යාපාරයක් සිදුකරන බවට එරට රජයට තොරතුරු සපයා පකිස්තානයේ පේෂාවර් සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදුකරගෙන ගොස් තිබිණි. ඩුබායිහි මාකඳුරේ මදූෂ් පදිංචි වී සිටි අධි සුඛෝපභෝගි නිවස කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳගේ නමට මිලදී ගෙන තිබුණු බව ප්‍රකට රහසකි. මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව මෙරට ප්‍රබල ව්‍යාපාරිකයන් බියවද්දා මුදල් කප්පම් ගැනීමේ ජාවාරමක්ද මෙරට සිටින ඔහුගේ ගෝලයන් විසින් සිදුකරගෙන ගිය අතර මාලිගාවත්ත, අලුත්කඩේ, ආදුරුප්පුවීදිය සහ මරදාන යන ප්‍රදේශවල ක්‍රියාත්මක වූ අපරාධ කල්ලි ජාලයකට කංජිපානි ඉම්රාන් ඩුබායිහි සිට නායකත්වය ලබාදී තිබිණි. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්ද?

2019 සිට බන්ධනාගාරගතව සිටි මේ කුප්‍රකට පාතාල නායකයා පසුගිය දෙසැම්බර් 20 වැනිදා ඇප මත මුදාහළ අතර නිදහස්වී දින පහක් ඇතුළත ඉන්දියාවට පළා යෑමට සමත්ව තිබේ. මෙය අනාවරණය කර තිබුණේ හින්දු පුවත්පත මගිනි. ඇප ලබාගෙන රහසේම තලේමන්නාරම වෙත ගොස් ඇති මොහු සිය පාතාල සහචරයන්ගේ සහය ඇතිව බෝට්ටුවකින් ඉන්දියාවට පැන ගොස් ඇත. තව ටික දිනකින් මොහු ඩුබායි රාජ්‍යයෙන් මතුවීමටද ඉඩ ඇත. ඇත්තෙන්ම මේ පාතාල නායකයා ගැන බුද්ධි අංශ නිසි විමර්ශනයක පසුවූවාද? මොහු ගැන උන්නදු නොවූවේද ? මොහු ඇප ලැබීමෙන් පසුව අධිකරණයෙන් පිටව ගියේ වෙස්වලාගෙන බවද මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. දැන් වෙස්වලාගෙනම ඉන්දියාවට ඇතුළු වී ඇත. ඉදිරියේදී මොහුගේ පාතාල ක්‍රියාකාරකම් සුපුරුදු ලෙස ආරම්භ කෙරෙනු ඇත. නීතියට හිනාවෙමින් කංජිපානි බෝට්ටුවෙන් පළා ගොස් ඇත. මාකඳුරේ මධුෂ් මරණයට පත්වූ පසු තම ජීවිතය බේරා දෙන ලෙස කංජිපානි ඉම්රාන් හඬා වැටුණු අයුරු මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිණි. දැන් මොහු වඩා ආරක්ෂිත තමිල්නාඩුවට ගොස් තිබේ. එදා හඬා වැටුණු කංජිපානි අද සිනාසෙනු ඇත. එහෙත් අපේ බුද්ධි අංශ නිදා සිටියදී මේ පාතාල නායකයා රැගත් බෝට්ටුව ආරක්ෂිතව පිටත්ව ගොස් ඇත. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසාදැමීමෙන් සිදුවන්නේ කවර ප්‍රයෝජනයක්ද? මොහුට සහය ලබාදුන් අදිස‘ හස්තය කුමක්ද? දැන් කංජිපානි ගේ අශ්වයෝ සිය සුපුරුදු ක්‍රියාකාරකම් වඩා හොඳින් ආරම්භ කරනු ඇත. විෂ මත්ද්‍රව්‍ය බෙදා හැරීම වඩා ප්‍රචලිත වේ. මෙයින් විනාශ වන්නේ අපේ තරුණ පරම්පරාව නොවේද? නව වසර උදාවෙත්ම අසන්නට ලැබුණු මේ පුවත නීතිය හා සාමය සුරැකෙන සමාජයක් ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරන බලධාරීන්ගේ ඇස් රතු කරවයි. පාතාල නායකයන්ට තමන්ට රිසි පරිදි පළායෑමට ඉඩදී මුහුදට වෙඩි තැබීමෙන් පළක්වන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment