සෞඛ්‍ය අර්බුදය දෙපැත්තෙම කතාව

797

දන්න ඉතිහාසයේම සිට අප රට පැවතියේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසිනි. කවදාවත් සංවර්ධනය නොවූ අපරට මේ වන විට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටී. ලෝකයේ විවිධ රටවලින් සහ අරමුදල්වලින් ගත් ණයවලට වාරික ගෙවා ගැනීමට බැරි තත්ත්වයට අප රට බංකොලොත් විය. එදා මෙදාතුර රට පාලනය කළ දේශපාලන ඇත්තෝ මේ සන්තෑසියට වගකිව යුතුය.

අද අප කතා කිරීමට අපේක්‍ෂා කරනුයේ රටේ සමස්ත ආර්ථික අර්බුදය නොවේ. එහි පැතිකඩක් වූ සෞඛ්‍ය අංශය ගැන අපගේ විශේෂ අවධානය යොමු කිරීමට කල්පනා කළේ එහි අර්බුදය දවසින් දවස දිග්ගැස්සෙමින් පවතින නිසා ය.

සමස්තයක් ලෙස අප රට ආර්ථික අංශයෙන් සංවර්ධනය නොවූවද නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳව අප රටට අභිමානවත් අතීතයක් තිබිණි. රට කොතරම් දුප්පත් වුවද මේ රටේ අන්ත දුගියාටත් නිදහස් සෞඛ්‍ය සේවය නිසා සැලසුණු සෙත අපමණය. නමුත් අද වන විට මෙම තත්ත්වය ක්‍රමයෙන් විනාශවෙමින් පවතින බව අකමැත්තෙන් වුවද සඳහන් කළ යුතුව තිබේ.

පේරාදෙණිය රෝහලේදී බඩේ අමාරුවක් සඳහා රෝහල්ගත කළ තරුණියක මියයන්නේ ඇයට ලබාදුන් එන්නතකින් පසු ඇති වූ අසාත්මිකතාව නිසාවෙනි. මෙම සිද්ධියත් සමඟ ඇයට ලබා දුන් එන්නත් කාණ්ඩය අඩංගු ඖෂධ ඉවත් කරන ලදි. මේ අතර නුවරඑළිය රෝහලේදී ඇස්වල ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් අනතුරුව ලබාදුන් බෙහෙතක් නිසා රෝගීන් කීපදෙනකුගේ ඇස්වල පෙනීම අඩුවීමේ සිද්ධියක් වාර්තා විය. මෙම දිනවලම මේ හා සමාන තවත් සිද්ධීන් කිහිපයක් දිවයිනේ විවිධ පළාත්වලින් වාර්තා විය. ඒ සෑම අවස්ථාවකම එල්ල වූ චෝදනාව වූයේ අපට එන බාල ඖෂධ නිසා මෙවැනි සිද්ධීන් ඇති වූ බවකි. බාල ඖෂධ පිළිබඳ එසේ චෝදනා නැගෙද්දී දිවයිනේ විවිධ පළාත්වල රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බවට ද වාර්තා විය.

මේ අතර ජාතික විගණන කාර්යාලය විසින් මෙරට සෞඛ්‍ය ආරක්‍ෂණ පද්ධතිය සහ ආපදා කළමනාකරණ පද්ධතිය පිළිබඳව විගණනයෙන් සිදුකර ඇත. එම විගණනයේදී අනාවරණය වූ ප්‍රධාන කරුණ වූයේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමට දුර්වල කළමනාකාරිත්වය හේතු වී ඇති බවයි. රට තුළ ප්‍රමාණවත් ඖෂධ තොග නොමැති වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයේ අකාර්යක්‍ෂමතාව බව ද එම විගණනයේදී හෙළි වී තිබේ. මේ ගැන සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතුය. රෝහල්වලට අවශ්‍ය ඖෂධ තොග නිසි ලෙස පවත්වා ගැනීමට වහා පියවර ගත යුතුව තිබේ. එසේම ගෙන්වනු ලබන ඖෂධවල ප්‍රමිතිය සොයා බැලීම සඳහා විධිමත් විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ද අත්‍යවශ්‍ය ය.

මේ වන විට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පැනනැඟී ඇති අනෙක් අර්බුදය වන්නේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය වෘත්තිකයන් රට හැර යෑමයි. මේ වන විට වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය වෘත්තීයවේදීන් 2000 ක් පමණ රට හැර ගොස් ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එසේම ඉදිරියේදී වෛද්‍ය ක්‍ෂේත්‍රයේ 5000 කට අධික ප්‍රමාණයක් රට හැර යෑමේ සූදානමක් පවතින බව ද එම සංගමය අවධාරණය කර තිබේ. මෙය සැලකිල්ලට ගත යුතු තත්ත්වයකි. දැනටමත් නිර්වින්දන වෛද්‍යවරුන් රට හැර යෑම නිසා ශල්‍යකර්ම කිරීමේදී අර්බුද පැන නැගී ඇත. ප්‍රාදේශීය මට්ටමේ ඇතැම් රෝහල් වැසෙන තත්ත්වයක් වාර්තා වූයේ ද වෛද්‍යවරුන්ගේ හිඟය නිසාවෙනි.

වෘත්තීයභාවය පිළිබඳ තෘප්තිමත් නොවීම, පරිපූර්ණ ප්‍රතිකාර ලබාදීම සඳහා ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය, වෛද්‍යවරු මත පැනවෙන අධික බදු බර, තම දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පවත්වාගෙන යෑමේදී ගැටලු මතුවීම මෙන්ම ජනතාව සහ වෛද්‍ය වෘත්තීන් අතර ගැටුම් ඇතිවන තත්ත්වයක් නිර්මාණය වීම යන කාරණා නිසා වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් රට හැර යෑමට හේතු වී ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (15දා) මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

අප රටේ වෛද්‍යවරයකු බිහිකර ගැනීම සඳහා ජනතාවගේ බදු මුදලින් විශාල පිරිවැයක් දරන බව රහසක් නොවේ. විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරයකු බිහිකිරිම වැනි කාරණා ගත්විට එය දවසකින් දෙකකින් කළ නොහැකිය. එම නිසා වෛද්‍ය ක්‍ෂේත්‍රයේ කුමන තරාතිරමක වෛද්‍යවරයකු වුවද රට හැර යෑම නිසා අසරණ වනුයේ මෙරට රෝගීන් ය. එම නිසා වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන් අප රට තුළ රඳවාගෙන ඔවුන්ගෙන් අප රටට උපරිම සේවය ලබා ගැනීමට වෛද්‍ය බලධාරීන් වහා කටයුතු කළ යුතුව ඇත. වෛද්‍යවරු මුහුණපා සිටින ගැටලු හඳුනාගෙන ඊට සෑහීමකට පත්විය හැකි විසඳුම් ලබාදීමට රජය වහා පියවර ගත යුතුව තිබේ.

ඒ අතරම අපි මෙහිදී තවත් කාරණයක් අවධාරණය කරනු කැමැත්තෙමු. අද වන විට අප රට මුහුණ දී තිබෙන අර්බුදය කාට හෝ සුළුවෙන් තැකිය නොහැක. රට යළි ගොඩගැනීම සඳහා සෑම දෙනාම සිය දායකත්වය මේ මොහොතේ සියයට සියයක්ම ලබාදිය යුතුව ඇත. විශේෂයෙන් අප රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පැනනැගී ඇති අර්බුද විසඳා නිරෝගිමත් ජනතාවක් රටට දායාද කර දීමට වෛද්‍ය ක්‍ෂේත්‍රයට කළ හැකි කාර්යය සුළුපටු නොවේ. පවතින ප්‍රශ්න හා ගැටලු සාකච්ඡා මට්ටමින් විසඳාගෙන වැටී ඇති රට ගොඩගැනීම සඳහා කැපවීම ද උතුම් පිංකමක් බව වෛද්‍යවරු අමතක නොකළ යුතුය. එසේම වෛද්‍ය වෘත්තියේ අභිමානය රැකෙන අයුරින් ඔවුන්ගේ ගෞරවය රකිමින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පැනනැගී ඇති ගැටලු විසඳා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් ප්‍රඥාගෝචර විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment