කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩ මගඩිය වුණොත් පාඩුව රු.බිලියන 2ක්

415

ජාවාරමට වලිකන දේශපාලන හස්තයක්

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යන්ත්‍ර සූත්‍රවලට අයත් යකඩ කපා ඉවත්කර ගැනීමේ ජාවාරමෙන් රජයට රුපියල් බිලියන දෙකකට අධික අලාභයක් සිදුවනු ඇතැයි එම කම්හලේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා ‘දිවයින’ ට ඊයේ (15 දා) පැවසීය.

මෙම ජාවාරම පිටුපස රජයට සම්බන්ධ දේශපාලන හස්තයන් ඇති බව පවසන ඒ මහතා තමා එම කම්හලේ සභාපතිවරයාව සිටියදී අබලි ද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳව අනුගමනය කළ ටෙන්ඩර් පටිපාටියේ තොරතුරු ඇතුළත් පොතක් ඇමැති චාමර සම්පත් දසනායක මහතාට ලබාදුන් බවද, ඇමැතිවරයාගේ දැනුම් දීම මත එහි ආරක්‍ෂාවට සිටි යුද හමුදාව ඉවත්වීමත් සමග යකඩ කැපීමේ ජාවාරම සිදුව ඇතැයි ද කියා සිටියේය.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල නැවත ඇරැඹීමට තම සේවා කාලයේ අවසන් වකවානුවේ කටයුතු සිදුකරමින් ඒ සම්බන්ධයෙන් එදා ජනපති, අගමැති සහ විෂය භාර ඇමැති සමගද සාකච්ඡා කළ බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ගේ එකඟතාව හිමිව තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.

එසේ තිබියදී රැකගත යුතු ජාතියක සම්පතක් වන කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩ කපා ඉවත්කර ගැනීමේ ජාවාරම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්‍ෂණයක් සිදුකිරීමට රජය වහා පියවර ගත යුතු බව ද හිටපු සභාපති, ගාමිණී ඒකනායක මහතා පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment