මෛත්‍රී සී.අයි.ඩී.යට කිව්වේ ඇත්තද බොරුද?

467

විමර්ශනයක් කරන්න – මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ඊයේ නියෝග කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබා දුන් ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ හා ඔහුගේ සැකකාරභාවය පිළිබඳ කඩිනමින් විමර්ශනය කරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (04දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණය ඉදිරියේ කරුණු දැක් වූ අවස්ථාවේදී එසේ නියෝග කෙරිණි.

අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශය සම්බන්ධව පසුගිය මාර්තු 25 දා මෛත්‍රීපාල සිරිසේන මහතා පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දුන් බවයි.

එම ප්‍රකාශ ලබා දුන් අවස්ථාවේ මේ සම්බන්ධය වැඩි යමක් ඔහු විසින් අධිකරණයට පවසන බව පැවසූ නිසා ඒ සම්බන්ධව අධිකරණය දැනුවත් කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතාට නොතීසි නිකුත් කිරීමක් තම අධිකරණයෙන් සිදු නොකළ බවත් ඔහුගේ කැමැත්තෙන් පැමිණ ප්‍රකාශයක් ලබා දීමට අවවාද කිරීමක් පමණක් සිදු කළ බවත් එහිදී මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසූවේ ප්‍රකාශය ලබා දෙන අවස්ථාවේ මෛත්‍රිපාල සිරිසේන අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දෙන බව පැවසුව ද ඔහු නීතිඥ උපදෙස් ලබා ගත් පසු ඔහුගේ ස්ථාවරය වෙනස් වී ඇති බවය.

මෙම සිද්ධිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ ජන අරගල ව්‍යාපාරයේ පුරවැසියෝ යන අය ද පැමිණිලි ගොනු කර තිබෙන බව හා ඒ සම්බන්ධව ද විමර්ශන සිදු කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

කරුණු සියල්ල සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය පවසා සිටියේ ශ්‍රී ලංකා ජනරජයේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම අධිකරණයේ වගකීමක් බවත් මේ සිද්ධිය සම්බන්ධව අධිකරණය හමුවේ ගොනු වී ඇති බී වාර්තා සුදුසු කාලයක් රහස්‍ය ලේඛන ලෙස අධිකරණයේ පවතින බවත් ය.

එමෙන්ම සැලකිය යුතු විමර්ශන ප්‍රගතියක් ඉදිරි නඩු වාරයේ තම අධිකරණය බලාපොරොත්තු වන බව ද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියාය.

ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස් පරීක්ෂක අයගම, උප පොලිස් පරීක්ෂක විජේසූරිය යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.

හිටපු මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥ සංදීප්ත සූරියආරච්චි මහතා පෙනී සිටියේය.

නඩුව මැයි 10 යළි කැඳවීමට නියමිතය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment