මැටි හාලේ … – රට අලේ

725

‘පිට දීප දේශ ජයගත්තා ආදී සිංහලුන්’ කියා ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනී වසන්තා සන්දනායක එදා ගීතයක් ගායනා කළාය. ‘කන්න අඳින්නා පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා’ යැයි ඇය තවදුරටත් ගායනා කළාය. එදාට වඩා එම ගායනය මෙදාට වලංගු බවට අපට හැඟී යන්නේ අපේ රටට පසුගිය අවුරුද්දේදී කිරි අල සහ මඤ්ඤොක්කා පවා ගෙන්වා ඇතැයි මන්ත්‍රී මධුර විතානගේ පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව හේතුවෙනි.

රට මේසා බංකොලොත් වී තිබියදී ඩොලර් වැය කර මේ කියන අල ගෙන්වා තම්බා කෑ උන් කව්දැයි මුලින්ම සොයා ගත යුතුය. මන්ද අප එක් අතකින් පෝලිම් යුගයක හිරවී පිටරැටියන්ට අත පා පසුව යන්තම් ගොඩ එන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එල්ලිණි. ඒ ඇමරිකානු ඩොලර් බිලියන තුනක මුදලක් වෙනුවෙනි. කන්කෙඳිරි ගා පළමුවෙන් ඩොලර් මිලියන 330ක මුදලක් ඉන් අප මේ වන විට ලබා ගෙන අවසන් ය. එහෙත් මේ කියන කිරිඅලේ ගෙන්නීම සඳහා ඩොලර් මිලියන 295ක් අප වැය කර ඇත. ඇත්තටම කිරිඅල පමණක් නොව මඤ්ඤොක්කා, සුදු ලූනු, අල, කජු, ගොරකා, තක්කාලි, ගස්ලබු, කොමඩු, අන්නාසි, මෑ කරල් සහ මුං ඇට ද ගෙන්වීමට එම මුදල වැයවී තිබිණ. එය වූ කලී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු පළමු වාරිකයට මදක් ආසන්න මුදලකි.

මේ කියන ආහාර වර්ග දෙස බැලූ කල්හි සුදුලූනු ඇරෙන්නට අනෙක් සියල්ල මෙරට වගා කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය දිරිගැන්වීම පළමුවෙන් කළ යුත්තේ අප හිතවත් යාවජීව අමාත්‍ය මහින්ද අමරවීර මහතා යටතේ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයයි. එහෙත් එය හරියාකාරයෙන් සිදු නොවන නිසා යමෙක් මෙකී ආහාර වර්ග ගෙන්වන්නට ඇත. ඇත්තටම කෘෂිකර්ම අමාත්‍යාංශය මේ ගැන දැනුවත් නොවී සිටියා යැයි අපි උපකල්පනය කරමින් සිටියදී අපට පාර්ලිමේන්තුවෙන් තවත් කතාවක් ඇසිණ.

ඒ වූ කලී වම්බටු, බෝංචි, බණ්ඩක්කා, වැටකොලු, මාලු මිරිස්, රාබු, තක්කාලි, පිපිඤ්ඤා, වට්ටක්කා ආදි බෝගයන් වගා කිරීමට අවශ්‍ය ඇට වර්ගත් ඉතා විශාල ප්‍රමාණයක් ගෙන්වා ඇතැයි අනුර දිසානායක සහෝදරයා කළ ප්‍රකාශයෙනි. ඔහුට අනුව අපට වගා කිරීමට අවශ්‍ය වට්ටක්කා ඇට සියයට 94ක්ම ගෙන්වා ඇත්තේ පිටරටිනි. එසේ හෙයින් තත්ත්වය තවත් දරුණු බව පෙනී යයි. එසේ නම් කෘෂිකර්ම අමාත්‍යාංශය තමන්ගේ ඩියුටිය හරි හැටි කර නැති බව අපේ හැඟීම ය.

කොහොම වෙතත් අප මේ කියන තරාදියේ අනෙක් පැත්තේ සිටින්නේ වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍යාංශයයි. මේ ගෙන්වා තිබෙන ආහාර වර්ග බැලූ බැල්මටම පෙනී යන්නේ ඒවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගොඩට නොවැටෙන බවයි. එසේ නම් මේවා ගෙන්වන්නට ඇත්තේ කව්ද සහ කාගේ වුවමනාවටදැයි යන්න ගැටලු සහගතය. අප ඉහතින් කී පරිදි මේ අමාත්‍යාංශ දෙක තම වගකීම් හරිහැටි ඉටු කළේ නම් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය අවශ්‍ය ද නොවේ. රජයේ ආයතන හරිහැටි වැඩ නොකරන විට අපේ ණය ගැටය තවත් හිරවෙන බව අමුතුවෙන් කිවයුතු ද නැත.

තවත් අතකින් මෙම ප්‍රශ්නය දෙස බැලූ කල්හි අපේ කෘෂිකර්මාන්තයේ ඵලදාව ද පහත් මට්ටමක පවතී. උදාහරණයක් ලෙස වී හෙක්ටයාරයක් වවන අපේ රටේ ගොවියෙකුට වී මෙටි්‍රක් ටොන් 4.3ක් පමණ ලබා ගත හැකිය. නමුත් ජපානයේ ගොවියකු වී හෙක්ටයාරයකින් මෙටි්‍රක් ටොන් 7.5ක්වත් ලබා ගනී. මෙයද බරපතල ගැටලුවකි. අපේ රටේ එක් කාලයකදී පාලකයෝ කෘෂිකර්මාන්තය නැත්තටම නැති කිරීමට කටයුතු කළේය. ගොවි බිම් පස්වලින් පුරවා කම්හල් තැනිය යුතු යැයිද කීහ. එහෙත් පහුගිය කාලයේ වූ ආර්ථික අහේනියත් සමග ක්‍රෝටන් කොළ පවා කන්නට ඔවුහු යෝජනා කළෝය.

මේ ආකාරයට බැලූ විට ක්‍රිකට් පමණක් නොව අප සෑම අතකින්ම හතර ගාතෙන් වැටී අවසන්ය. ඒ වැටුණු තැනින් ගොඩ එන්නට නම් අපි පළමුවෙන් කළ යුත්තේ රට තුළ අපේ නිෂ්පාදනයන් වැඩි කර ගැනීමය. එහිදී කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්ය. හෙරළි, අල, බතල කා අත-පය හයි හත්තිය කර ගත් ජාතියක් කිරිඅලේත් ගෙන්වන තරමට නැති නාස්තිවීම අප දැන් මේ මුහුණ දෙන බංකොලොත්භාවයට ප්‍රධානතම හේතුවකි. එසේ නම් රට හාලේ බත ගැන නොසිතා ලහිලහියේ වගා කොට ආහාර ගැන ස්ථිර ප්‍රතිපත්තියක් දැන්වත් ඇතිකර ගත යුතුය. තවමත් පසු කරමින් සිටිනුයේ ගොවි යුගය බව අප කව්රුත් සිහි තබා ගැනීම වැදගත්ය. අප කෑ යුත්තේ අපේ බිමෙන් මිස පිටරට බිමකින් වැවෙන අල නම් මේ ආර්ථික පරාධීනත්වයෙන් මිදීම කවදාවත් කළ නොහැක්කක් බව සටහන් කිරීම වැදගත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment