ගම්පෙරළිය නවකතාවෙන් උපන් සිනමා වෘත්තාන්තයට වසර 60යි

235

මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාවෙන් බිහිවූ ගම්පෙරළිය සිනමා වෘත්තාන්තය මුලින්ම තිරගත වී ඇත්තේ 1963 අග භාගයේ දීය. එදා මෙදා අතර වසර 60 ක් ගතවී තිබේ. දකුණු ඉන්දියානු වට්ටෝරු සිනමාවෙන් මුදාගෙන යථාර්ථවාදී සිනමාවක් තුළින් දේශීය සිනමා ඔසවා තබන්නට උරදුන් එදා තරුණ ජවයෙන් හා සිනමා උන්මාදයෙන් කුල්මත්ව සිටි අපගේ අංකුර සිනමා ශිල්පීන් මේ අවස්ථාවේ දී අපට අමතක කළ නොහැක. ජාත්‍යන්තර සිනමාවේ නව ප්‍රවණතා හා නව සිනමා රිද්මය හොඳින් හැඳින සිටි මේ පිරිසට නායකත්වය දුන්නේ එවකට තරුණ සිනමා අධ්‍යක්ෂවරයකුව සිටි ලෙස්ටර් ජේම්ස් පීරිස් ය. අපගේ මේ පුංචි දිවයිනේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන යමින් රායිලා කුරසාවා ලා සමග එකට සිටිය හැකි සිනමාවක් බිහි කළ සිනමාකරුවා ඔහු ය.

මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව ප්‍රථම වරට ප්‍රකාශයට පත්ව ඇත්තේ 1944 දීය. වෙනස් වන සමාජය සහ සංස්කෘතිය මෙන්ම ආර්ථික නවීකරණයේ බලපෑමට හසුවන දකුණේ ගමක ප්‍රභූ පවුලක් තුළින් සම්ප්‍රදායික ගැමි ජීවිතයේ බිඳවැටීම මෙම සිනමා වාත්තාන්තය තුළින් නිරූපණය කරයි.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාවෙහි සර්වකාලීනත්වය දුටු, ඒ වන විට සිනමා නිර්මාණය කීපයක්ම නිමවා අත්දැකීම් ලත් ලෙස්ටර් තරුණයා, ගම්පෙරළිය සිනමාවට නැඟීමේ යෝජනාව වික්‍රමසිංහයන්හට ඉදිරිපත් කළ විට, වික්‍රමසිංහයන් මුලදි එයින් හොඳ නිර්මාණයක් බිහි නොවනු ඇතැයි පසුබට වී ඇති නමුදු පසුව එකඟ වී ඇත. සිනෙ ලංකා සමාගමේ නිෂ්පාදනයක් ලෙස ආරම්භ වූ මෙම චිත්‍රපටයට තිරපිටපත ලිවීම පැවරුණේ එවකට කලා විචාරකයකු ලෙස ප්‍රකටව සිටි රෙජී සිරිවර්ධනයන් හටය. තිරපතේ සහායකයා වූයේ එකල ලෙස්ටර්ගේ නිර්මාණවලට බැට දෙමින් සිටි තරුණ සිනමා විචාරකයකු වන තිස්ස අබේසේකරයන් ය.

මෙහි දී ලෙස්ටර් වටා රොද බැඳගන්නේ එවකට සිනමාව හා වේදිකාව ජයගත් ගාමිණී ෆොන්සේකා, හෙන්රි ජයසේන, ටෝනි රණසිංහ වික්‍රම බෝගොඩ, අනුලා කරුණාතිලක, ශාන්ති ලේඛා, ටි්‍රලීෂියා ගුණවර්ධන, ඩේවිඩ් ධර්මකීර්ති, පණ්ඩිත් අමරදේව ආරියවංශ වීරක්කොඩි ඇතුළු පෙරළිකාර තරුණ කලාකරුවන් පිරිසකි.

ලෙස්ටර්ට, මෙහිදී ප්‍රශ්නයක් ව ඇත්තේ මෙහි කේන්ද්‍රීය චරිතයක් වන නන්දා ව සොයා ගැනීමයි. ඒ වන විටත් පුවත්පතක් මගින් පැවැත්වු තරගයකිත් තරුණියක තෝරාගෙන සිටිය නමුත්, ලෙස්ටර් ඒ තොරා ගැනීමට වැඩි කැමැත්තක් දක්වා නොමැත. සිනමා සමාගමේ කොටස්කාරිනියක්ව සිටි සුමිත්‍රා පීරිස් කුරුළුබැද්ද චිත්‍රපටයෙන් සිනමා තිරයට පිවිස සිටි පුණ්‍යා හීන්දෙනිය එම චිත්‍රපටයේ නිෂ්පාදක ජෝන් අමරතුංග මහතා මගින් හඳුනා ගන්නේ මේ අවස්ථාවේ දීය. කැමරා ශීල්පි විලී බ්ලේක්ගේ ඡායාරූප පරීක්ෂණයෙන් සමත් වන පූණ්‍යා ගම්පෙරළියේ නන්දා වූවාය. එතැන් සිට බලපිටියේ කප්පින වලව්වේ ලැගුම් ගන්නා ලෙස්ටර් ඇතුළු පිරිස එකම පවුලක් බවට පත් වෙමින් මේ දැවැන්ත සිනමා නිර්මාණය නිම කළ අයුරු සිය අතීතාවර්ජන තුළින් නන්දා නොහොත් පූණ්‍යා මෙලෙස සටහන් කරයි.

මුහුරත් දිනයේ සාමාන්‍යයෙන් මුලින් ම සුවඳ දුම් අල්ලා කරන ආගමික වත්පිළිවෙත් කිසිවක් නැහැ. අධ්‍යක්ෂවරයා පිටපතේ අනුපිළිවෙළට රූගත කිරීම් ආරම්භ කළා. දවසේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු අපගේ ආහාර වේල් වඩාත් ප්‍රීතිමත් වූ අතර රාත්‍රියෙහි අපි පෞරාණික වූ කෑම මේසය වටා රොක්වුණෙමු. බලමාළු, රට දෙල් කරිය, රතු හාල් බත් වගේ ප්‍රණීත ආහාර මේසය මත තබා තිබුණි. එහිදී අපි දවසේ කළ වැඩ ගැන සංවාද කළෙමු. ඒ දිනවල ප්‍රසිද්ධියට පත්ව සිටි එරංග හා ප්‍රියංග යුවල ගිටාර් සංගීතයට ගායනයකින් ප්‍රතිචාර දක්වති. සමහර දවස්වල අපි චිත්‍රසේනගේ කරදිය හි ‘හෝයියා හෝයියා…’ ගීතය ගයමින් විනෝදාස්වාදයක් ලැබුවා. ආචාර්ය පීරිස්ගේ කරුණාවන්ත බව සිහිල් බව කණ්ඩායමේ සැහැල්ලුවට හේතු වුණා. බොහෝ ඉවසීමෙන් හා සන්සුන්ව කටයුතු කරන ආචාර්ය ලෙස්ටර් සමග වැඩ කිරීම අපට සතුට ගෙන දෙන්නක් වුණා.

නන්දාගේ දෙවන විවාහය පියල්ගේ ඉසුරුමත් බව දක්වන අති උත්කර්ෂවත් අවස්ථාවකි. අප මේ මංගල දර්ශනය රූපගත කළ දවසේ මාර්ටින් වික්‍රමසිංහයන් ඔහුගේ බිරිඳ සමග පැමිණ සිටියා. මෙහිදී විවාහයේ රෙජිස්ට්‍රාර් ලෙස පෙනී සිටිනමෙන් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින්නැයි ආචාර්ය ලෙස්ටර් මගෙන් ඉල්ලා සිටියා. ඉතින්, මම ගිහින් කිව්වා, “සර් ඔබ මේ විවාහයේ රෙජිස්ට්‍රාර් ලෙස පෙනී සිටිනවා නම් එය අප සැමට සතුටට හේතු වන කාරණයක් වේවි…” කියලා. එවිට වික්‍රමසිංහයන් හයියෙන් හිනා වෙලා මෙහෙම කිව්වා. “නෑ… නෑ… මම රඟපාන්න දන්නෙ නෑ…” කියල. එය එතනින් අවසන් වුණා. එහෙත් විවාහ රෙජිස්ට්‍රාර්වරයාගේ භූමිකාව කරන්නැ’යි ආචාර්ය ලෙස්ටර්ගෙන් ඉල්ලීමක් කිරීමට බැරි වීම

ගැන මට පසුව කනගාටුවක් ඇති වුණා. එය එසේ වුණා නම් එයත් ඇල්ප්‍රඩ් හිච්කොක් සිහිපත් කරවන ආගන්තුක චරිතයක් වන්න ඉඩ තිබුණා.

අද වන විට ඈත දුර රටක වෙසෙන පුණ්‍යා හීන්දෙනිය සිය අතීත සැමරුම් තුළ මෙසේ ද සඳහන් කරයි. අප රටට ජාත්‍යන්තරය අත්කර දුන් මේ මහා සිනමා සුපවේදියාට විශ්මිත සහයෝගය ලබාදුන් කතුවරයා ඇතුළු සියලුම නළු නිළියන් මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරමි. මට නන්දා වීමට අවස්ථාව ලබා දීම ගැන මගේ හදවතේ

ගැඹුරින්ම මාගේ ගෞරවය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හිමි වෙනවා. පියල්ගේ චරිතයට, හොඳම නළුවාට හිමි සම්මානය නොලැබීම ගැන හෙන්රි ජයසේන ගැන මගේ කනගාටුව පළ කරනවා. මට හැම විටම ආරක්ෂාව ලබාදුන් මගේ පියාට මගේ ප්‍රණාමය.

ගම්පෙරළිය ජාත්‍යන්තර වශයෙන් ප්‍රශංසාවට ලක් වූ අතර, ඉන්දියාවේ 3 වැනි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී ගෝල්ඩන් පීකොක් (හොඳම චිත්‍රපටය) සහ මෙක්සිකෝවේ ගෝල්ඩන් හෙඩ් ඔෆ් පැලෙන්ක් යන සම්මානය දිනා ගත්තේය. මෙම 1965 සරසවි චිත්‍රපට උළෙලේ හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම චිත්‍රපටය යන සම්මාන දිනා ගත්තේය. එය 3 වැනි මොස්කව් ජාත්‍යයන්තර සිනමා උළෙලට ද ඇතුළත් විය. 2008 මැයි මාසයේ දී කෑන්ස් චිත්‍රපට උළෙලේ ප්‍රංශ මාතෘකාවක් වන Changement au village යන නමින් ‘Restored Classics’ කොටස යටතේ ප්‍රදර්ශනය කෙරුණි. පසුව එය ප්‍රංශ සිනමා ශාලාවල ද ප්‍රදර්ශනය කර ඇත. 2001 දී ප්‍රංශයේ තේක් ආයතනය (CTI) විසින් මෙම චිත්‍රපටය ලෝක උරුමයක් ලෙස හඳුනා ගන්නා ලදි.

මූලාශ්‍ර : The Island පුවත්පතට පුණ්‍යා හීන්දෙනිය ලියූ Reminiscences of weaving of a cinematic tapestry නම් ලිපිය ඇසුරෙනි.

ඩඩ්ලි පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment