ඡන්දය ගන්ධයක් නොවීම පිණිසය

923

පාකිස්ථානයේ පැවැත්වූ මහ ඡන්දයෙන් එරට ජනතාවගෙන් වැඩි පිරිසක් ඉම්රාන් ඛාන්ට කැමැත්ත පළ කර ඇතත් ඔහුට ආණ්ඩුවක් පිහිටුවා ගන්නට හැකි තත්ත්වයක් නැත. ඒ වෙනුවට ඊට පිටුපසින් සිටින පක්ෂ දෙක නව ආණ්ඩුවක් පිහිටුවනු ඇත. අපේ රටේ ද හැටනව ලක්ෂයක් ගෝඨාභයට ඡන්දය දුන්න ද දැන් ඒ වරමේ භාරකාරත්වය දරන්නේ ජනපති රනිල් ය. ආසියානු දේශපාලනයේ අවිනිශ්චිත තත්ත්වය තේරුම් ගැනීමට මේවා කදිම නිදසුන්ය. අපේ රටේ රාජපක්ෂ පාලනය තිබූ කාලයේ පැවතියේ ඡන්ද හිඟයක් නොව ඡන්ද අතිරික්තයකි. පළාත් සභා ඡන්ද විටින් විට පැවැත්වූ ඒ කාලයේ නිතරම ඡන්ද උණුසුමක් රට තුළ තිබිණි. එහෙත් දැන් මේ රටේ ඡන්ද සිතියම ඇත්තේ අකුලා පැත්තකට දමාය. කාලයාගේ ඇවෑමෙන් පැවැත්විය යුතු පළාත් සභා සහ පළාත් පාලන ඡන්දය ද කවදා තියයිද කියා මැතිවරණ කොමිසම ද දන්නේ නැත. ජේ.ආර්. ජයවර්ධන මහතාද ලාම්පු කළගෙඩි සෙල්ලමක් දමා දන්දයක් කල් දැම්මේය. ඔහුගේ ආදරණීය බෑණා වන වත්මන් ජනපති රනිල් ද එවැනි ජනමත විචාරණ සෙල්ලමකට සැරසෙන බවට දේශපාලන මත පළවේ.

එලෙස මතු වූ පරස්පරතා නිසා ජනාධිපති නියමය පරිදි එම මාධ්‍ය අංශය විසින් ජනාධිපති ඡන්දය මෙම වසරේ පවත්වන අතර මහ මැතිවරණය ලබන අවුරුද්දේ පැවැත්වීමට ඕනෑ කරන මුදල් වෙන් කරන බවට පෙරේදා (13) නිවේදනය කර සිටියේය. ඒ අනුව ජනාධිපතිවරණය මෙම වසරේදී සහ පාර්ලිමේන්තු ඡන්දය ලබන වසරේදී පැවැත්වෙනු ඇතැයි අපි දැනට සිතමු.

අපේ රටේ ජනතාවට ඇත්තේ බඩ කට පුරවා ගැනීමේ අභියෝගය ය. එහෙත් අපේ රටේ දේශපාලකයන් දැන් සිටින්නේ ඡන්ද උන්මාදයකිනි. ඒ වෙනුවෙන් ඔවුහු දත කට මැද සූට් අයන් කරමින් සිටී.

ජනතාවට ද එකී උන්මාදය බෝවී ඇත. එම බෝවීම සිදු වූයේ පළාත් පාලන ඡන්දය සඳහා නාමයෝජනා ගත් දිනයේ පටන් ය. ඒ අනුව ගත් කල ජනාධිපති ඡන්ද කැම්පේන් එක ආරම්භ වූයේ එදින සිටය. ජනාධිපති ඡන්දයෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද යන වග පාලකයන් එදා තේරුම් ගත් බව නම් නොරහසකි.

රටක ඡන්ද පැවැත්වීම අනිවාර්යයෙන් කළ යුතුම ජාතික කර්තව්‍යයකි. එතුළින් සර්වජන ඡන්ද බලය පෝෂණය වන අතරේ ජනතාවගේ නිදහස් දේශපාලන මතය පිළිබිඹු කෙරේ. විශේෂයෙන් මේ කාලයේ ජනතාව තුළ පවතින දේශපාලන මතයේ කැකෑරීම ප්‍රකාශ කිරීමට ඡන්දයක් අවශ්‍යම බව අපගේ දැඩි විශ්වාසය වේ. එය නිදහස් හා සාමකාමී විය යුතු අතර බිය වැද්දවීම් හෝ චණ්ඩිකම්වලට මේ ඡන්දයේ ඉඩක් නැති බව අප කලින්ම කිව යුතුය. ඒ නිදහස වෙනුවෙන් දණහිසෙන් පහළට නොව ඔළුවටම ඉලක්කය ගත යුතු බව හිටපු ඡන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය කළ ප්‍රකාශය අකුරටම ක්‍රියාත්මක කළාට කම් නැත. දේශපාලන පක්ෂ ද ආදර්ශවත් ලෙස ඡන්ද සටන ක්‍රියාත්මක කළ යුතුය. අප ගමන් කළ යුත්තේ ස්මාර්ට් යුගයකට නම් මීළඟ ජනාධිපති ඡන්දය පමණක් නොව අනාගතයේදී පැවැත්විය යුතු ඡන්ද සියල්ලක්ම පැවැත්විය යුතු වන්නේ ඊට ගැළපෙන ලෙසටය.

ජනාධිපතිවරණය නිසි කාලසීමාව තුළ පැවැත්වෙන්නේ යැයි මාධ්‍ය අංශය කියා සිටින බැවින් ජනාධිපති අපේක්ෂකයන් දැන් තියාම සූදානම් විය යුත්තේ ඉදිරි දශකය තුළ අපේ රට ඔසවා තැබිය යුතු ජයග්‍රාහී සන්ධිස්ථානයක් කරා ගෙන යෑමටය. ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන නව ප්‍රතිපත්ති සකසා අවසන් වී තිබිය යුතු අතර ඒවා මහ පොළොවේ යථාර්ථයක් කරගත හැකි ඒවා වීම අත්‍යවශ්‍ය ය. අපේ අසල්වැසි ඉන්දියාව 2049දී සංවර්ධිත රටක් ලෙස පත්වන බව ඔවුන් මේ ළඟකදී අනාවැකි පළ කළේය. ඉන්දියාවට එලෙස අනාවැකි පළ කිරීමට හැකි අඩිතාලම වැටුණේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලනය නිසාම පමණක් නොව එරට හිටපු අගමැතිවරයකු වූ මන්මෝහන් සිං මහතා සකස් කළ අඩිතාලම බව නොරහසකි. එසේ නම් අපේ රටට ද එලෙස අඩිතාලම් දැමිය හැකි නායකයකු අත්‍යවශ්‍යම යුගයක අප අතරමං වී සිටින්නෙමු. අප මේ මොහොත වන විටත් සිටින්නේ අවිනිශ්චිත වූ බලාපොරොත්තු සමුදායක ගිලීය. එය මැතිවරණ අවිනිශ්චිතතාවයට වඩා බෙහෙවින්ම බලවත් වූ එකක්ය. ඒ මන්ද යැයි සරලව විස්තර කළහොත් මීළඟට බලයට පත් වන නායකයා මේ මොහොතේ ඉතාමත් අසීරුවෙන් ජීවත්වන ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවට තවත් සහන දිය යුතුමය. ගෙවා ගැනීමට අපහසු ලයිට් බිල්, වතුර බිල් මෙන්ම තෙල් සහ ගෑස් මිල ද අඩු කළ යුතුමය. අලුතෙන් පැනවූ වැට් බද්ද ද අඩු කළ යුතුමය. රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට ආසන්න පිරිසකට වැඩි කළ රුපියල් දසදහස ද ගෙවිය යුතුමය. ඒ විතරක් ද අස්වැසුම ගෙවීමටත් අමතර මුදලක් සොයා ගත යුතුමය.

මේ කියන සියල්ලක් කිරීමට අලුතින් සල්ලි අච්චු ගහන්න බැරිය. හිතුමනාපෙට විදෙස් ණය ගන්නත් නොහැකිය. ඒ විතරක්ද? දැනට නොගෙවා සිටින ණය වාරික ද ගෙවන්නට ඕනෑමය. කොටින්ම රාජ්‍ය ආදායම් සහ වියදම් නිසි පරිදි කළමනාකරණය කෙරෙන ප්‍රතිපත්තීන් ගැන දැඩි අවධානයෙන් යුතුව ජනපති අපේක්ෂකයන් මීළඟ ජනාධිපතිවරණයේදී සුරංගනා ලෝක මැවිය යුතු බව අපේ අදහස ය.

advertistmentadvertistment
advertistmentadvertistment