බංකරය, උමග හා විෂම චක්‍රය

921

දෙවන ලෝක යුද්ධයේ අවසන් අදියරේදී නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් රැඳී සිටි ගුවන් ප්‍රහාරවලට ඔරොත්තු දෙන භූගත බංකරයේ ආකෘතියක් බර්ලින් නගරයෙහි ප්‍රදර්ශනය කෙරුණේ මීට වසර හතකට පෙර එනම් 2016 වසරේදීය. හිට්ලර් රැඳී සිටි බංකරය කාමර තිහකින් යුක්ත විය. බංකරයෙන් එපිට යුද ගිනිදැල් ඇවිලෙද්දී හිට්ලර් ඔහුගේ සමීප සගයන් සමග මෙම බංකරය තුළ කොටු වී සිටි අතර සිය අවසන් හෝරාවේ ඊවා බ්‍රෝන්ව විවාහ කර ගන්නා ලද්දේ මෙහිදී වීම විශේෂයකි. රුසියානු හමුදා බංකරයට ආසන්න වන විට 1945 වසරේ අප්‍රේල් තිස් වැනි දින හිට්ලර් සිය දිවි නසා ගත්තේය. යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති මාෂල් ටිටෝ ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ බංකරයක් ඉදිකර තිබූ අතර එය වර්තමානයේ කලාගාරයක් බවට පත්කර ඇත. න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් මාෂල් ටිටෝ, ඔහුගේ බිරිඳ සහ අනෙක් වැදගත් නිලධාරීන්ට සැඟවීම සඳහා ඉදි කෙරුණු මේ බංකරය හැඳින්වුණේ “ටිටෝ ගේ න්‍යෂ්ටික බංකරය’ යනුවෙනි. ටිටෝ සහ ඔහුගේ බිරිඳ ඇතුළු යුගෝස්ලාවියාවේ වැදගත්ම පුද්ගලයන් 350 ස් දෙනා වෙනුවෙන් මේ බංකරය ඉදිකිරීමට හේතුව සීතල යුද්ධය පිළිබඳව එදා පැවති බිය බව විචාරකයන් ප්‍රකාශ කර තිබිණි. දැන් එහි කලාකරුවන් 106 කගේ කලා කෘති 137 ක් ප්‍රදර්ශනය කෙරේ. එහෙත් සියලු බංකර කලාකරුවන් වෙනුවෙන් වෙන්කළ නොහැකිය. අද ඊශ්‍රායල් ගාසා යුද්ධය භූගත සටනක් වෙයිද යන්න ගැන සැක පහල වී ඇත්තේ යුදෙව් රාජ්‍යයට බලවත්ම තර්ජනය එල්ලවන්නේ මේ බංකරවල සැඟවී සිටින හමාස් ත්‍රස්තයන් එල්ලකරන රොකට් ප්‍රහාර හා අනෙකුත් මෙහෙයුම් නිසාය. මේ බංකර හා උමං ජාලයේ පරිමාණය තක්සේරු කිරීමට අපහසු ය. මෙය, කි.මී. 41ක් දිගු, කි.මී. 10ක් පළල භූමි ප්‍රදේශයක් හරහා පැතිරෙන බව විශ්වාස කෙරෙන අතර පසුගිය 07 වැනිදා එල්ලවූ මාරාන්තික හමාස් ප්‍රහාරයෙන් අනතුරුව මේ බංකර හා උමං ජාලය විනාශ කළයුතු බව යුදෙව් රාජ්‍යය තරයේ විශ්වාස කරයි.

ගාසාහි පිහිටි උමං පොළොව මට්ටමෙන් මීටර 30ක් තරම් ගැඹුරින් පිහිටා ඇතැයි විශ්වාස කෙරෙන අතර ත්‍රස්තවාදී සාමාජිකයන්ට මේ උමංවල පිවිසීමේ දොරටු නිවෙස්වල, මස්ජිදවල, පාසල්වල හා අනෙකුත් පොදු ගොඩනැගිලිවල බිම් මහල්වල පිහිටා තිබේ. එය කපටි ක්‍රියාවකි. මන්ද පාසල්වලට හා පොදු ගොඩනැගිලිවලට ප්‍රහාර එල්ලවීමේ සම්භාවිතාව අඩු නිසා හමාස් සාමාජිකයෝ මේ උපක්‍රම යොදා ගනිති. නමුත් ඊශ්‍රායල හමුදාව උතුරු ගාසා තීරයෙන් වැසියන් මිලියනයකට අධික ප්‍රමාණයකට ඉවත්වන ලෙස නියෝග කර ඇත්තේ කෙළින්ම ගොස් මේවා විනාශ කිරීමේ අරමුණින් බව පැහැදිලිය. යුද්ධය දෙපාර්ශ්වයටම හානියකි. විනාශයකි. නමුත් දින පහක් ඇතුළත පමණක් ටොන් හාරදහසක බෝම්බ ගාසා තීරයට පතිතවන්නේ කවර හේතුවක් නිසාද? මේ හරහා ත්‍රස්ත ඉලක්ක විනාශ වන්නා සේම සාමාන්‍ය ජනයාද බිලිවෙති. යුද්ධයේ විෂම චක්‍රය එයයි. හමාස් සංවිධානය නම් මේ විෂම චක්‍රයට සිවිල් වැසියන් බිලිවෙනවා දකින්නට කැමතිය. මන්ද ඔවුන්ගේ ජනප්‍රියතාව රැකෙන්නේ යුදෙව් භීතිය වැපිරීම මගිනි. හමාස් සංවිධානය මිනිස් පළිහ පාවිච්චි කරන්න හරිම දක්ෂ යි. ප්‍රහාරයක් එල්ලවීම අනිවාර්ය නම් සහ ඔවුන් ඒක දන්නවා නම්, ඔවුන් අහිංසක සිවිල් වැසියන්ව ගොඩනැගිලි උඩට නග්ගාවි. මේ නිසා ඊශ්‍රායලය කීප විටක්ම ප්‍රහාර නවත්වලා තියෙනවා,” ආචාර්ය රිච්මන්ඩ්-බරාක් පවසා තිබිණි. නමුත් මැදපෙරදිග කලාපය පමණක් නොව මුළු ලෝකයම අර්බුදයට පත්කරමින් ගාසා ආක්‍රමණය ඉදිරියට යන බව පැහැදිලිය. එය ලංකාවාසීන්ටද අයහපත් ලෙස බලපානු ඇත්තේ තෙල් මිල ඉහළ යෑම හරහාය. පසුගිය වසරේ යුක්‍රේන රුසියා ගැටුම ඇතිවූ විට මෙරට ඇතිවූ අර්බුදකාරී තත්ත්වය අපට අමතක නැත.

advertistmentadvertistment
advertistmentadvertistment