ආයුධ පෙන්වීමේ වරදක් තිබේද?

929

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට ඊයේ උදේ වෙඩිතබන ලදි. බලපිටියේ මිගෙට්ටුවත්තේ පදිංචි පුද්ගලයකු වන හෙතෙම කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ බෑණා කෙනකු බව කියනු ලැබේ. ඔහු උදේ සේවයට පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු වෙඩි තැබීම කර ඇත. නියෝජ්‍ය විදුහල්පති එම අවස්ථාවේ සිටියේ යතුරුපැදියක ය. ඔහු වෙඩි කාගෙනම අම්බලන්ගොඩ පොලිසියට පැමිණ තිබේ. පැය 12ක් තුළ අම්බලන්ගොඩ සිදු වූ දෙවැනි වෙඩි තැබීම මෙය බව පොලිසිය කියයි.

පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු වෙඩි කෑම ඉතාම අශෝභන සිද්ධියකි. කවුරු කාට වෙඩි තැබුවත් එය අශෝභන සිද්ධියකි. එහෙත් පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු උදේ පාසල් එන විට යතුරුපැදියකින් පැමිණ කිසිවකු ඔහුට වෙඩි තබන්නේ නම් එය පාතාල කල්ලියක වැඩක් බව කිව හැකිය. විදුහල්පතිවරයා කොස්ගොඩ සුජීගේ බෑණා කෙනකු බව සත්‍ය නම් මෙය ස්ථිර වශයෙන්ම කොස්ගොඩ සුජීට විරුද්ධ පාතාල කල්ලියක් විසින් කරන ලද්දක් විය හැකිය. මේ විදියට මහ පාරේ වෙඩිතබා ගන්නට යන විට ලොකු සමාජ ගැටලුවක් හටගනී. ඊයේ පෙරේදා දවසක කිසියම් ගමක පොලිසියක් කසිප්පු වැටලීමක් සඳහා ගෙදරකට ගියේය. එහිදී තබන ලද වෙඩි පහර කීපයකින් ගෙදර සුනඛයා මියගියේය. ඊට අමතරව ගෙදර දරුවකුට ද තුවාල සිදුවිය. මෙවැනි පුවත් වැඩි වැඩියෙන් වාර්තා වනවිට ශ්‍රී ලංකාවේ ජනයා අනාරක්‍ෂිත බවකින් පෙළෙන්නට පටන්ගනී. පාතාලකරුවන් සහ දාමරිකයන් මර්දනය කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු කාලය එළඹී තිබේ.

මේ අතර තවත් සිදුවීමක් ගැන කියමු. මීට සතියකට පමණ පෙර මඩකලපුවේදී මේ අමිහිරි සිදුවීම ඇති විය. ළඟදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර මඩකලපුවේ පාසලකදී ශිෂ්‍යයන්ට නිකුත් කිරීම ඇරඹිණ. විභාග පූර්ව නිවාඩු ලබා සිටි සිසු පිරිසක් කොණ්ඩ සහ රැවුල් වවාගෙන දාමරිකයන් සේ පාසලට ඇතුළු වූහ. එය දුටු පාසලේ විනය භාර ගුරුවරයා ඔවුන් කැඳවා පාසල් භූමියට ඇතුළුවීමට සුදුසු පරිදි කොණ්ඩ සහ රැවුල් කපාගෙන එන ලෙසත් ඉන් පසු විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් දැන්වීය. සිසු පිරිස අවලාද නඟමින් විදුහලෙන් පිටව ගොස් කොණ්ඩ රැවුල් කපාගෙන ආපසු පැමිණියහ. ඉන්පසු විභාග ප්‍රවේශපත්‍ර ඔවුන්ට නිකුත් කරන ලදි. පාසල් කාලය නිමවීමෙන් අනතුරුව විනය භාර ගුරුවරයා ගෙදර ගියේය. ස්වල්ප වේලාවකින් ඔහුගේ නිවස වැටලූ සිසු පිරිස නිවසට ද පහර දී ගුරුවරයා එළියට ඇද ඔහුට ද පහර දී ඇත. මෙම සිද්ධිය නිසා ගුරුවරයාගේ මුහුණ තැලී බරපතළ තුවාල සිදුවී ඇත. මෙවැනි සිසුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීම පොලිසියේ වගකීම වේ. මේ බිහිවෙමින් පවතින්නේ කොස්ගොඩ සුජීගේ පරම්පරාවේ සහ ධර්මාශෝකයේ විදුහල්පතිවරයාගේ පරම්පරාවේ කුණු දාමරික කණ්ඩායමකි. ගුරුවරයාට පහර දුන් පිරිස අතර සිසුන් 50 දෙනකු පමණ වූ බව කියනු ලැබේ. ඒ පනස් දෙනා කොස්ගොඩ සුජීගේ හෝ මධුෂ්ගේ හෝ කොස්ගොඩ තාරකගේ හෝ එවැනි තුට්ටු දෙකේ දාමරිකයකුගේ තත්ත්වයට පත්වූ විට මඩකලපුව අත්හැර යෑමට එහි සිටින ජනතාවට සිදුවේ. සාමාන්‍යයෙන් පාතාල මර්දනයේදී කළ යුත්තේ පාතාල නායකයන් විනාශ කර දැමීමය. එය ආයුධ පෙන්වීමට ගෙනයෑමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ සිදුවනවා නම් ඊට විරුද්ධ වීමටත් කාටවත් බැරිය. මාකඳුරේ මධුෂ් ආයුධ බලන්නට ගියේ තමන් පැමිණි ප්‍රචණ්ඩ ගමනේ කොටසක් වශයෙනි. එය ඔහු විසින් කළ පවුවලින් එකක් දෙකක් මෙලොවදී පලදීමය. මඩකලපුවේ ශිෂ්‍යයන් ද තම ගුරුවරයාට පහරදීමෙන් මෙවැනි ගමනක් ආරම්භ කර ඇත. ඔවුන් උස් මහත් වූ පසු ආයුධ පෙන්වීමට සඳහා ඔවුන් ගෙනයෑමෙන් වැළැක්වීමට නම් ඔවුන්ගේ දෙමවුපියන් ද පොලිසිය ද ඇඟේ පතේ හයිය තිබෙන තවත් සාධාරණ මිනිසුන් කිහිප දෙනකු ද එක්ව ක්‍රියාත්මක විය යුතු බව අපගේ මතය.

අපට පෙනෙන පරිදි පාතාලය රිසිසේ කරණම් ගසන්නට පටන්ගෙන තිබේ. රට ගොඩනැගීමට නම් පාතාලය දරුණු හෙළකට තල්ලු කර දැමිය යුතුය. නොඑසේ නම් මතු යම් දවසක නීතිගරුක ජනතාවට සිදුවන්නේ එවැනි හෙළකින් බිමට පැන සිය දිවි නසාගැනීමටය.

advertistmentadvertistment
advertistmentadvertistment