අපේ ආණ්ඩුවක් තිබුණානම් මේ අර්බුද නෑ! – සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක

132

අපේ ආණ්ඩුව ලබාගත් ජී. එස්. පී. සහනය යළිත් අහිමිවෙමින් පවතින බව වාර්තා වෙනවා

ආණ්ඩුවට තිබෙන ජනමතය බලාගැනීම සඳහා පැරණි ක‍්‍රමය යටතේ හෝ පළාත් පාලන මැතිවරණය පවත්වන්න

හාල් පිටරටින් ගේන්නේ, පොහොර නැත්තේ කොවිඞ් නිසාද?

නිරන්තරයෙන්ම ඇතිවෙමින් පවතින භාණ්ඩ මිල ඉහළ යෑම සහ භාණ්ඩ හිඟය විසින් ජන ජීවිතය පමණක් නොව රටේ දේශපාලන තත්ත්වය ද නිරන්තරයෙන්ම අභියෝගයට ලක්කර ඇත. ඒ සඳහා තවදුරටත් පාස්කු ඉරු දින එල්ල කරන ලද ත‍්‍රස්ත ප‍්‍රහාරය විසින් එල්ල කරන බලපෑමේ ද කිසිදු අඩුවක් වී නොමැත. අප එම කරුණු කාරණාවන් පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන් මෙන්ම විපක්‍ෂය නියෝජනය කරන ගයන්ත කරුණාතිලක මන්තී‍්‍රවරයාගෙන් ද විමසීමට අදහස් කළෙමු. එහිදී පළවූ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – පක්‍ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුව තුළට නොගෙනෙන බවට එකඟවූ භාණ්ඩ වගයක් පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුව තුළට සමගි ජනබලවේගයේ මනතී‍්‍රවරුන් විසින් ගෙන ආ බවට කථානායකවරයා චෝදනා කර තිබෙනවා.

පාරලිමේන්තුව තුළට නොගෙනෙන බවට එකඟ වූ භාණ්ඩ සමගි ජනබලවේගයේ මන්තී‍්‍රවරුන් විසින් ගෙන ආවේ ඇයි?

පිළිතුර – සභානායකතුමා, මන්තී‍්‍රවරයකු තහනම් භාණ්ඩ වගයක් පාර්ලිමේන්තුව තුළට ගෙන ආ බව ප‍්‍රකාශ කළා. නමුත් අපේ මන්තී‍්‍රවරුන්ගේ අතේ තිබුණේ පොඩි ටෝච් එකක් පමණයි. මේ දවස්වල පැය 4 ක් 5 ක් ලයිට් කපන නිසා තමයි එම ටෝච් එක ගෙනත් තිබුණේ. මහ ලොකු උපකරණයක් කියලා බයවෙලා තිබුණේ එම ටෝච් එකට තමයි. පසුව අපේ ළඟ තිබුණු ටෝච් එක අපි පත්තු කරලා පෙන්වුවා.

ගෙට පැනපු හොරෙක් ගෙයි ඇතුළේ තිබුණ සෙල්ලම් බඩුවකට බයවෙලා කෑගහනවා වගේ තත්ත්වයක් තමයි එදා ඇති වුණේ.

ප‍්‍රශ්නය – සමගි ජනබලවේගයේ මන්තී‍්‍රවරුන් පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුව තුළ දී විරෝධතා ව්‍යාපාරයක නිරත වූවා. විදුලිය කැපීමට එරෙහිව පැවැති එම විරෝධතාවයේදී එම මන්තී‍්‍රවරුන් ආණ්ඩුවට ඉවත් වන ලෙස සඳහන් කළ පෝස්ටරුත් ප‍්‍රදර්ශනය කළා.

ආණ්ඩුව මේ මොහොතේ ඉල්ලා අස්වුවහොත් අඛණ්ඩව විදුලිය ලබාදෙන්න සැලසුමක් සමගි ජනබලවේගයට තිබෙනවාද?

පිළිතුර – මේ තරම් ජනතාවට දහදුක දුන්නු ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ තිබුණේ නැහැ. මේ රටේ කොළ පාට ආණ්ඩු තිබුණා. නිල්, රතු ආණ්ඩු තිබුණා පසුගිය කාලයේදී කොළයි, නිලයි ආණ්ඩු තිබුණා. නමුත් මේ වගේ ජනතාවට දුක දුන්නු ආණ්ඩුවක් කවදාවත් තිබුණේ නැහැ.

එහෙත් දැන් ආණ්ඩුව සෑම ප‍්‍රශ්නයකදීම ලෝක අර්බුදයක් ගැන කතා කරනවා. ඒ වගේම කොවිඞ් වසංගතය නිසා මෙම ප‍්‍රශ්න ඇති වූ බව කියනවා.

එහෙත් කොවිඞ් නිසාද හාල් පිටරටින් ගේන්න වෙලා තිබෙන්නේ. පොහොර නැති වූයේ කොවිඞ් නිසාද? ගෑස් ප‍්‍රශ්නයක් ඇති වුණේ කොවිඞ් නිසාද? දැන් විදුලි අර්බුදයක් ඇති වී තිබෙන්නේ කොවිඞ් නිසාද? නැහැනේ. මේ ඔක්කොම ප‍්‍රශ්න ආණ්ඩුව ඇති කළ ඒවා. ආණ්ඩුව ආර්ථිකය මෙහෙයවපු වැරදි ආකාරය නිසා තමයි ජනතාව මේ ආකාරයට දුක් විඳින්නේ. සෑම රජයක්ම මේ දක්වා ණය අරගෙන තිබෙනවා. නමුත් ඒ ආකාරයට ලබා ගත්තේ අඩු පොලියක් යටතේ දීර්ඝකාලීන ණය. 1977 න් පසුව එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය සඳහා ලබා ගත්තේ ඒ ආකාරයේ ණය තමයි. මේ වනවිට එම ව්‍යාපෘතිවල ප‍්‍රතිලාභ ලබන අතර එම ණය මේ වනවිට ගෙවලත් අවසන්.

එහෙත් මේ ආණ්ඩුව ණය ලබාගත්තේ ගිනි පොලියට. එලෙස ලබාන්නා ණය යොදවන්නේ යුදු අලි ව්‍යාපෘතිවලට සහ කොමිස් ව්‍යාපෘතිවලට තමයි. එම කටයුතුවල ප‍්‍රතිවිපාක තමයි අද ජනතාවට විඳින්න සිද්ධ වෙලා තිබෙන්නේ.

එහෙත්, කියන්නේ රට තුළ ප‍්‍රශ්න ඇතිවීමට හේතුව ලෝක අර්බුදයක්ලූ, කලාපීය අර්බුදයක්ලූ. නමුත් අපේ රට තුළ මේ වනවිට තිබෙන අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුව ණය ගත්තේ අපගේ අසල්වැසි රටවල් වන ඉන්දියාව, පාකිස්තානය, බංගලිදේශය වැනි රටවල් වලින්. ලෝක අර්බුදයක් තිබෙනවා නම්, කලාපීය අර්බුදයක් නම් ඒ රටවල්වලටත් එම අර්බුදය බලපාන්න ඕන නේ. ඒ රටවල් අපට ණය දෙනවා කියන එකෙන් පැහැදිලි වන්නේ කුමක් ද? කොවිඞ් වසංගතය අතරෙ ඒ රටවල් තමන්ගේ ආර්ථිකය වර්ධනය කරගෙන තිබෙනවා.

මේ ආණ්ඩුව සැම විටම වෙනත් සාධකයන් පෙන්වලා තමන්ගේ නොහැකියාව වසාගන්න හදනවා. තව ටික දවසකින් කියාවි මේ ප‍්‍රශ්නවලට හේතුව යුක්රේන අර්බුදය කියලා.

ඇතිවෙලා තිබෙන සමහර ප‍්‍රශ්නවලට මේ ආණ්ඩුවේ වැරදි විදේශ ප‍්‍රතිපත්තියත් එක් හේතුවක්. මේ ආණ්ඩුව කාලයකට චීනය සමග කටයුතු කරනවා, එතකොට ඉන්දියාව අමනාප වෙනවා. ඊට පස්සේ ඉන්දියාවත් සමග කටයුතු කරනවා, එතකොට චීනය අමනාප වෙනවා. මෙම වැරදි විදේශ ප‍්‍රතිපත්තිය නිසා තමයි එක එක රටවල් සනසන්න අපේ රටේ කෑලි කෑලි එම රටවල්වලට ලබාදීමට සිද්ධ වී තිබෙන්නේ.

ඒ වගේම මානව හිමිකම් ප‍්‍රශ්න, මාධ්‍ය නිදහස පිළිබඳ ප‍්‍රශ්න ඇති වී තිබෙනවා. මට මාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කිරීමට සිද්ධ වූයේ මාධ්‍ය නිදහස අහිමිව තිබූ යුගයකින් පසුව. මම මාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ මාධ්‍යවේදීන්ට කිසිදු බලපෑමක් එල්ල වූයේ නැහැ.

නමුත් අද වනවිට යළිත් මාධ්‍යවේදීන්ගේ නිදහස අහිමිවෙමින් පවතිනවා. මේ වගේ ප‍්‍රශ්න නිසා තමයි 2015ට පෙර අපේ රටට ජී. එස්. පී. සහනය අහිමි වුණේ. 2015න් පසුව අපේ ආණ්ඩුව යටතේ යළිත් ජී. එස්. පී. සහනය ලබා ගත්තා. නමුත් මේ වන විට යළිත් එම සහනය සඳහා තර්ජන එල්ල වී ඇති බව වාර්තා වෙනවා. මෙවැනි කටයුතු නිසා තමයි අද වනවිට විදුලි අර්බුදය ඇතුළු අනෙකුත් අර්බුද ඇතිවෙලා තිබෙන්නේ. අපේ රජයක් බලයේ සිටියා නම් මෙහෙම අර්බුදකාරී තත්ත්වයක් ඇති නොවන බව පැහැදිලිව සඳහන් කිරීමට පුළුවන්.

මේ ආණ්ඩුව තවදුරටත් බලයේ සිටියා කියලා පවතින තත්ත්වය වෙනස් වන්නේ නැහැ. එම නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුවට ඉවත් වෙන්න කියලා.

ප‍්‍රශ්නය – එක්සත් ජාතික පක්‍ෂය මීට පෙර බලයේ සිටි අවස්ථාවලදීත් විදුලි අර්බුද ඇති වී තිබෙනවා. එම අවස්ථාවලදී බලයේ සිටි බලශක්ති ඇමැතිවරයා විපක්‍ෂය විසින් හැඳින්වූයේ කරුවල ජයසූරිය නමින්.

එසේ තිබියදී අපි කොහොමද විශ්වාස කරන්නේ සමගි ජනබලවේගයට බලය ලැබුණු පමණින් විදුලි අර්බුදය අවසන් වේවි කියලා.

පිළිතුර – අනුරුද්ධ රත්වත්තේ ඇමැතිවරයාගේ කාලයේ දීත් විදුලිබල අර්බුදයක් තිබුණා. අපගේ ආණ්ඩුව බලයට පත්වන විටත් එම අර්බුදය තිබුණා. එම අවස්ථාවෙදි තමයි කරු ජයසූරිය මහතා දින වකවානු දීලා එම අර්බුදය අවසන් කරලා දෙන්නම් කියලා කිව්වේ. ජයසූරිය මහතා ප‍්‍රකාශ කළ ආකාරයටම එම විදුලි අර්බුදය අවසන් කළා.

ප‍්‍රශ්නය – හිටපු නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගැනීම නිසා මහ මොළකරුවන් අත්අඩංගුවට ගැනීමේ පරීක්‍ෂණ කටයුතු ඇනහිටිය බවට විපක්‍ෂය චෝදනා කරනවා. එම චෝදනා කරන්නේ කුමන පදනමකින් ද?

පිළිතුර – මේ ආණ්ඩුව බලයට ආවේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව නිසි පරිදි පරීක්‍ෂණ කටයුතු කරලා මහ මොළකරුවන් අත්අඩංගුවට ගන්න බවට කතෝලික ජනතාවට සහ මේ රටේ ජනතාවට පොරොන්දුවක් ලබාදීලා. නමුත් පොරොන්දු වූ ආකාරයට කටයුතු නොකිරීම නිසා තමයි මේ වන විට කාදිනල්තුමාගේත්, කතෝලික ජනතාවගෙත්, ජනතාවගෙන් අප‍්‍රසාදයට ආණ්ඩුව පත්වී තිබෙන්නේ. අද වන විට එම අප‍්‍රසාදය ආණ්ඩු විරෝධයක් බවට පත් වී තිබෙනවා.

මේ ආණ්ඩුව පොරොන්දු වූ ආකාරයට කටයුතු නොකිරීම නිසා තමයි ඔය වැනි ප‍්‍රශ්න මතුවෙන්නේ.

ප‍්‍රශ්නය – පැරණි ඡන්ද ක‍්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් බව දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

පැරණි ඡන්ද ක‍්‍රමය යටතේ එම ඡන්දය පවත්වනවාට සමගි ජනබලවේගය කැමතිද?

පිළිතුර – සමීක්‍ෂණ වාර්තා බලල ආණ්ඩුව තීරණය කළා පළාත් පාලන මැතිවරණය වසරකින් කල් තැබීමට. නමුත් එම මැතිවරණය හෝ පවත්වන ලෙසට එල්ල වන බලපෑම් නිසා දැන් ආණ්ඩුවට මැතිවරණ බියක් ඇති වී තිබෙනවා. එම නිසා තමයි බස්වලින් සෙනඟ ඇදලා ආණ්ඩුව රැස්වීමක් පැවැත්වූයේ. ජනාධිපතිවරණය සඳහා පැවැත්වූ ජන රැලියට බස් දාලා රැගෙන ආ සෙනඟෙන් 1/4 ක් වත් එම රැලියට ගෙන එන්න ආණ්ඩුවට බැරි වූවා.

එම රැලියෙදීත් ජනතාව පෝර ඕන කියලා කෑගැසුවා. නමුත් ආණ්ඩුව වසර ගණනාවකට පසුව ඔවුන්ගේ, අරක දෙන්නම් මේක දෙන්නම් කියලා කියන සුපුරුදු ප්‍රෝඩාකාරී ව්‍යාපාරය ආරම්භ කරලා තිබෙනවා. එම නිසා තමයි මෙතරම් ප‍්‍රශ්න තිබියදී ආණ්ඩුව වැඩ ලක්‍ෂයේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තිබෙන්නේ.

ඔය මොනවා කළත් දැන් ජනතාව රවටන්න බැහැ. එම නිසා තමයි රුපියල් 5000 ක් නොවෙයි මේ අයගේ මුළු සේසතම ලියලා දුන්නත් ඡන්දය නම් දෙන්නේ නැහැ කියලා කියන්නේ. එම නිසා මම නම් හිතන්නේ නැහැ මේ ආණ්ඩුව ලේසියෙන් ඡන්දයක් නම් පැවැත්වීමට සූදානම් වේවි කියලා. එසේ වුවත් අපි ඡන්දයක් ලබාගැනීමට කටයුතු කරනවා.

අපි ආණ්ඩුවට කියනවා තමන්ට තිබෙන සැබෑ ජනමතය කුමක් ද කියලා බලාගැනීම සඳහා පැරණි ක‍්‍රමය යටතේ හෝ එම මැතිවරණය පවත්වන්න කියලා.

සාකච්ඡා කළේ –
එරික් ගාමිණී ජිනප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment