ණය ගෙවාගත නොහැකිව රට බංකොලොත් වූයේ විදේශ ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් අපේ විදේශ සංචිතය තුළ නොතිබීම නිසාය. මෙසේ සංචිත ප්‍රමාණවත් නොවීම සහ වෙනත් කොහෙන්වත් අලුතින් ණය ගැනීමට නොහැකිවීම නිසා අපට සිදු වූයේ තාවකාලිකව විදේශ ණය ගෙවීම අත්හිටුවීමටය. මෙතෙක් එවැනි තීරණයක් ශ්‍රී ලංකාව මින් පෙර කිසිම දිනෙක ගෙන නොතිබිණි. එහෙත් අකැමැත්තෙන් වුවත් එවකට රජයට එම තීරණය ගැනීමට සිදුව තිබිණි. ඒ අනුව 2022 අප්‍රේල් 12 වැනිදා රජය විසින් තෝරාගත් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ප්‍රකාශයට පත් කරන ලදී. මෙය රජය විසින් රට බංකොලොත් වූ බවට කළ ප්‍රකාශයක් නොවීය. එහෙත් මේ ප්‍රකාශය වඩාත් ප්‍රචලිත වූයේ රජය විසින් විසින් රට බංකොලොත් වූ බවට ප්‍රකාශ කළ බවටය. රජය නිල වශයෙන් එවැනි ප්‍රකාශයක් නොකළත් රාජ්‍ය නායකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම රජයේ වෙනත් අයත් රට බංකොලොත් වූ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. එසේම පාර්ලිමේන්තුවේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ද ස්ථාපිත කර එහි සාක්ෂි විභාග කරමින් තිබේ. පාර්ලිමේන්තුව යනු රටේ උත්තරීතර සභාවයි. ඒ අනුව අපට හැඟෙන්නේ පාර්ලිමේන්තුවත් රට මූල්‍යමය වශයෙන් බංකොලොත්භාවයට පත් වූ බව පිළිගන්නා බවයි. මේ අනුව 2022 අප්‍රේල් 12 වැනිදා මුදල් අමාත්‍යාංශය විසින් සිදුකළ නිවේදනයේ දී රට බංකොලොත් වූ බවට ප්‍රකාශ නොකළත් මේ රටේ රාජ්‍ය නායකයාගේ සිට බොහෝ දෙනෙක් මෙන්ම පාර්ලිමේන්තුව පවා රට බංකොලොත් වූ බවට පිළිගෙන තිබෙන බව අපගේ අදහසයි.

බංකොලොත් රටක මහජනයාගේ ඉරණම…

ඇත්ත වශයෙන්ම රටක බංකොලොත්භාවය යනු කුමක් ද ? රටක බංකොලොත්භාවය යන්නට විවිධ නිර්වචන තිබෙනවා විය හැකිය. ඔබට අන්තර්ජාලයට ගොස් පරීක්ෂා කළ විට මෙවැනි බොහෝ නිර්වචන හමුවනු ඇත. පහතින් සටහන් වන්නේ මේ ලියුම්කරුට එසේ හමු වූ එක් සරල නිර්වචනයකි.

‘A state bankruptcy means the government fails to make debt and interest payments when due..

මෙහි අදහස වන්නේ රටක බංකොලොත් භාවය යනු රජයක් නියමිත කාලය තුළ සිය ණය සහ පොලී ගෙවීමට අසමත් වීම යන්නයි. මේ සම්බන්ධයෙන් වන තවත් බොහෝ නිර්වචන පරීක්ෂා කළ විට ඒ බොහොමයක ඇති පොදු කරුණක් වන්නේ රටකට බංකොලොත්භාවයේ දී තම ණය හිමියන්ට නියමිත වේලාවට ණයවාරික හා පොලී ගෙවීමට අපොහොසත් වීම සිදුවෙන බවයි. මේ අර්ථයෙන් නම් ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇත. මේ බංකොලොත් වීම ඉබේ සිදු වූ දෙයක් ද නොවේ. එනම් මෙය ස්වභාවිකව සිදු වූ අර්බුදයක් නොව අපගේ අදූරදර්ශී ආර්ථික කළමනාකරණය නිසා සිදු වූ දෙයක් බවයි. එසේ නම් ඒ සඳහා වගකිව යුත්තන් ද සිටිය යුතු වේ. උසාවි තීන්දුවකින් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයට වගකිවයුත්තන් මේ වන විටත් නම් කර අවසන්ය. එහෙත් මේ සඳහා දශක කිහිපයක සිට බලපාන ලද ආර්ථිකයේ ව්‍යුහමය දුර්වලතා ද හේතු වී තිබේ. එමෙන්ම එම දුර්වලතා ද සමග විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට 2022 වසරේ අප්‍රේල් මාසයේ දී රට පත් වීමට බලපාන ලද කෙටිකාලීන ආසන්න හේතු ද තිබේ. මේ අනුව එම උසාවි තීන්දුවේ අර්ථය ද අපට වටහාගත හැකිය.

මෙහිදී රටක් බංකොලොත් වීමත් රටක් බංකොලොත්භාවය ණය හිමියන්ට නිවේදනය කිරීමත් එකක් නොව දෙකක් විය හැකිය. ඒ අනුව නම් ශ්‍රී ලංකාව බංකොලොත් වුවත් රජය විසින් නිල වශයෙන් රටේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කර නැත. ඒ අනුව රජය විසින් සිය ණය හිමියන්ට ඔවුන්ගේ ණය නොගෙවන බව ප්‍රකාශ කර නැත. 2022 අප්‍රේල් 12 දින රජය ප්‍රකාශ කළේ සිය ණය හිමියන්ට ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවකි. රජයේ බලධාරීන් මේ සඳහා භාවිත කරන්නේ Debt standstill යන වචනයයි. එනම් මෙහිදී සිදු වන්නේ රට සහ ණය හිමියන් අතර ණය ගෙවීම සඳහා තාවකාලික විරාමයක් ඇති කර ගැනීමයි. තවමත් අප සිටින්නේ එම ණය විරාමයේය. මෙහිදී රට සිය ණය හිමියන් සමග සාකච්ජා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ගිවිසුම් එකඟතාවන් ඇතිකරගෙන එම නව එකඟතා අනුව අලුතින් ණය ගෙවීම ආරම්භ කරනු ලබයි. අප තවමත් අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම ආරම්භ කර නැත. අප තවමත් සිටින්නේ අදාළ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සාකච්ජා කරමිනි. එම සාකච්ජා මගින් අවසන් එකඟතා ඇති කර ගැනීමෙන් පසුව ඒ හා සම්බන්ධ ගිවිසුම්වලට එළඹේ. නැවත ණය ගෙවීම ආරම්භ කරන්නේ ඉන් පසුවය. ඒ සඳහා අපට තව මාස හයක පමණ කාලයක් ගත වනු ඇත. යම් ආයතනයකට නම් බංකොලොත් බව ප්‍රකාශ කර ඈවර කර වසා දැමිය හැකිය. එහෙත් රටකට එසේ කළ නොහැකිය. රටක ජනතාවක් සිටී. රටක් ඉදිරියටත් පවත්වාගෙන යා යුතුය. ඒ නිසා මේ ලියුම්කරුගේ අදහස වන්නේ රටකට සිය විදේශ ණය ගෙවාගත නොහැකි නම් ඒ රට කළ යුතු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීම සහ සිය ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සාකච්ජා කර නව එකඟතා ඇතිකරගෙන කිසියම් කාලයකින් පසුව නැවත ණය ගෙවීම ආරම්භ කර බංකොලොත්භාවයෙන් මිදීමයි. ඒ සඳහා බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ද සිදුවනු ඇති අතර එහි පීඩාවට මුහුණ දීමට අතිමහත් බහුතර ජනයාට ද සිදුවනු ඇත. දැන් ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටින්නේ එම පිළිවෙත වන අතර ඒ අනුව එහි බොහෝ පීඩාවන්ට මහජනයාට මුහුණ දීමට සිදුව ඇත.

මේ අනුව බංකොලොත් රටක මහජනයාට මුහුණ දීමට සිදුවෙන පීඩාවන්ට මුහුණ දීමට මේ රටේ ජනයාට සිදුව ඇත. ඒවාට දැනටමත් මේ රටේ මහජනයා මුහුණ දී ඇති අතර තවමත් මුහුණ දෙමින් ද සිටී. තවත් කාලයක් ද මේ දුෂ්කරතාවලට මුහුණ දීමට ඔවුන්ට සිදුවනු ඇත. රට බංකොලොත් කිරීමට වගකිව අය සුවෙන් සහ සැපෙන් සිටියත් බංකොලොත් රටක මහජනයාගේ ඉරණම එයයි. රටක් බංකොලොත් වීමේ දී මූලික වශයෙන්ම ලබාගෙන ඇති ණය කලට වෙලාවට ගෙවීමට අපහසු වන අතර වෙනත් රටවල් හෝ ආයතන ණය දීමෙන් වැළකී සිටීම ද සිදු වේ. 2022 වසරේ අප්‍රේල් 11 දින වන විට මහ බැංකුව සතුව පැවති විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1889 ක් වුවත් භාවිත කළ හැකි සංචිත පැවතියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 24 ක් පමණි. මේ තරම් අඩු මට්ටමට සංචිත ප්‍රමාණය අඩු වී තිබුණු අතර 2022 අප්‍රේල් 18 දින වන විට අපට ඇමෙරිකානු ඩොලර් මිලියන 182 ක විදේශ විනිමය වගකීම් සපුරා ලීමට තිබිණි. කිසිවෙක් අපට විදේශ විනිමයෙන් ආධාර නොකරන්නේ නම් මේ විදේශ ණය පියවීමට රජයට නොහැකි වන බව පැහැදිලි කරුණකි. එසේ නම් සිදුවිය හැකිව තිබුණේ නොකියාම විදේශ ණය පැහැර හැරීමක් සිදු වීමටයි. එහි ප්‍රතිඵල ඉතා අහිතකර බැවින් රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය කළේ, විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ප්‍රකාශයට පත් කිරීමයි. ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශ කළ බවට අර්ථකථනය කරන්නේ මේ නිවේදනයයි. එහෙත් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙන්ම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පවසන්නේ ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශ නොකළ බවයි. බංකොලොත්භාවය ප්‍රකාශ කළහොත් කිසිම ණයක් ගෙවීමට අවශ්‍ය නොවෙන අතර කිසිවෙකු අපට අලුතින් ණය දීමට ද ඉදිරිපත් නොවනු ඇත. එහෙත් යොමුව ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකින් පසු නැවත ණය ගෙවීම ආරම්භ කිරීමටයි.

බංකොලොත්භාවය නිවේදනය නොකළත් අපට කලට වෙලාවට අපගේ විදේශ ණය ගෙවීමට නොහැකි විය. අපට ණය ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වීම නිසා ඒ තත්ත්වය ඇති විය. විදේශ ණය ගෙවීමට පමණක් නොව අපට අවශ්‍ය ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට පවා අපට විදේශ විනිමය නොමැති විය. ඒ නිසා 2022 වසරේ ඇති වූ පෝලිම් තත්ත්වයන් මෙන්ම බලවත් මහජන පීඩාවන් ගැන අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. මේ උග්‍ර විදේශ විනිමය හිඟය නිසා මේ රටේ ව්‍යාපාර සහ කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය පවා ආනයනය කරගත නොහැකිව ඒවායේ නිෂ්පාදන කටයුතු ද අඩාල වූ බව අපට මතකය. මේ වන විට එම තත්ත්වයන් බොහෝ දුරට සමනය කරගෙන කිසියම් ආර්ථික ස්ථාවරත්වයක් රටේ ඇතිව තිබුණත් ජනතාවට නම් එහිදී බොහෝ ආර්ථික පීඩාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. විශාල බඩු මිලකට සහ බදු බරකට යටත් වීමට ද සිදුව තිබේ.

එසේම රටක් බංකොලොත් වීමේ දී විදේශ විනිමය අනුපාතය වේගයෙන් පිරිහීම ද සිදුවේ. මේ තත්ත්වයට ද අප මුහුණ දී ඇත. එනම් අප දිගු කලක් ඇමෙරිකානු ඩොලරය සහ ශ්‍රී ලංකා රුපියල අතර විනිමය අනුපාතය රු. 203 ක මට්ටමේ කෘතිම ලෙස පවත්වා ගත්තේය. මේ සඳහා අපගේ සීමිත විදේශ සංචිත ද භාවිත කළ බව රහසක් නොවේ. මේ පිළිවෙත නිසා අපගේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ද වේගයෙන් පිරිහීමට පත් විය. අපට චීනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1500 ක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකමක් ලැබී තිබුණත් එය භාවිත කිරීම සම්බන්ධයෙන් කොන්දේසි පනවා තිබූ නිසා අපට එය භාවිත කළ නොහැකි විය. මේ නිසා මහ බැංකුව ප්‍රකාශ කළ දළ නිල සංචිතවලින් අපට භාවිත කළ හැකි විදේශ සංචිත ප්‍රමාණය බෙහෙවින් සීමිත විය. මේ තත්ත්වය හමුවේ සිදු වූයේ අපට තවදුරටත් අපගේ විදේශ විනිමය අනුපාතය ස්ථාවර අගයක පවත්වා ගැනීමට නොහැකි වීමයි. ඉන්පසු මහ බැංකුවටම රුපියල පා කිරීමට සිදු විය. එවිට නූල කැඩුන සරුංගලයක් මෙන් රුපියල වේගයෙන් පාවීගෙන ගොස් විශාල පිරිහීමට ලක් වූ බව අපි කවුරුත් දන්නා දෙයකි. පසුව පැමිණි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට එම රුපියලේ වේගවත් පිරිහීම නවත්වාගෙන නැවත විනිමය අනුපාත ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි විය.

එසේම ගිය වසරේ (2023) සහ මේ වසරේ (2024) මේ දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සහ තවත් ප්‍රධාන විදේශ විනිමය වර්ග ගණනාවකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇත. ඒ අනුව මේ වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 320 ක් පමණ වේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2024 ජනවාරි මාසය තුළ දී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2.1 කින් අතිප්‍රමාණය වී ඇති බවයි. 2023 දෙසැම්බර් මස විදේශ අංශ ක්‍රියාකාරීත්ව වාර්තාව ප්‍රකාශයට පත් කරමින්, විනිමය අනුපාතිකයෙහි හැසිරීම පිළිබඳව මහ බැංකුව මෙසේ සඳහන් කරයි.

‘විනිමය අනුපාතිකය 2023 වසරේ දෙසැම්බර් මාසය තුළ දී අඛණ්ඩව පැවතුණු අතර, 2023 වසර තුළ දී සියයට 12.1කින් අතිප්‍රමාණය විය. එතැන් සිට අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පැවතුණු අතර, 2024 වසරේ ජනවාරි මාසය තුළදී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.1 කින් අතිප්‍රමාණය විය. මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2023 වසර තුළ දී සහ 2024 වසරේ ජනවාරි 31 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඔස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

මේ වන විට මෙසේ විදේශ අනුපාතයේ කිසියම් ස්ථාවර තත්ත්වයක් ඇති කර ගැනීමට සමත්ව ඇති නමුත් ඊට පෙර ඇති වූ රුපියලේ විශාල පිරිහීම නිසා තෙල් මිල ගණන් ඇතුළු අපගේ ආනයනික සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් විශාල ලෙස ඉහළ ගියේය. ඒ තත්ත්වය අපගේ දේශීය භාණ්ඩ මිල ගණන් විශාල ලෙස ඉහළ යෑමට මෙන්ම විදුලිය ගාස්තු ද දරා ගැනීමට අපහසු මට්ටමක් දක්වා වැඩි වීමට ද හේතුවක් විය. මේවා කර්මාන්ත සහ ව්‍යාපාර යනාදියට ද ඔවුන්ගේ අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන පිරිවැය වැඩි වීමට හේතුවෙන කරුණකි. ඒ නිසාම ඔවුන්ට සිදු වන්නේ ද තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි කිරීමටය. මේ නිසා රටක් බංකොලොත් වීමේ දී ඒ රටේ ජනයාට විශාල උද්ධමනයකට මුහුණ දීමට ද සිදු වේ. දැන් උද්ධමනය කිසියම් දුරකට පාලනය වී ඇති නමුත් 2022 වසරේ දී අපට සියයට 70 කට අධික උද්ධමනයකට මුහුණ දීමට සිදු විය. මේ අනුව භාණ්ඩ මිල ගණන් මසින් මස මෙසේ වේගයෙන් වැඩිවෙන විට උද්ධමන අනුපාතයට වඩා වැඩි ප්‍රතිශතයකින් භාණ්ඩ මිල අවසානයේ වැඩි වීම සිදු වේ. එහෙත් උද්ධමනය අඩු වූවා කියා බඩු මිල අඩු වන්නේ ද නැත. අඩු වන්නේ තවදුරටත් බඩු මිල වැඩිවෙන වේගය මිස දැනටමත් වැඩි වී ඇති සමස්ත මිල මට්ටම නොවේ. මේ නිසා ආදායම් මට්ටම් එලෙසම තිබියදී හෝ සුළු වශයෙන් වැඩි වුවත් ඊට වඩා කිහිප ගුණයකින් වැඩි වී ඇති ජීවන වියදමට මහජනයාට මුහුණ දීම ඉතා දුෂ්කරය. වැට් ඇතුළු නව බදු වැඩිවීම්වල බලපෑමත් සමග ජනතාවගේ ජීවත් වීමේ අර්බුදය තවත් උග්‍ර වී ඇත. එහෙත් බදු ගෙවිය යුතුව ඇති හැකි ඉහළ ආදායම් ලබන්නන් නම් තවදුරටත් බදු ගෙවීම් පැහැර හරිමින් නිදහසේ සිටින අතර රජයත් වැඩි බරක් පටවන්නේ නැති බැරි සාමාන්‍ය ජනතාවටම වීම නම් කනගාටුවට කරුණකි. කොහොමත් රටක් බංකොලොත් වීමේ දී ඒ රටේ ජනයාට බොහෝ ආර්ථිකමය පීඩාවන්ට මුහුණ දීමට සිදුවෙන අතරම රජය විසින් එම අර්බුදයෙන් ගොඩ ඒමට අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුව ද අපට පෙනෙන්නේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාට වැඩි පීඩාවකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

2022 අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ක් පමණ දක්වා අපගේ භාවිත කළ හැකි විදේශ සංචිතය ප්‍රමාණය දිය වී ගොස් තිබුණි. එහෙත් මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුවට සැලකිය යුතු මට්ටමකට විදේශ සංචිතය ගොඩ නගා ගැනීමට හැකිව තිබේ. එනම් දළ නිල සංචිත 2023 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4ක් දක්වා ඉහළ ගිය බව මහා බැංකුව පවසයි. චීන මහජන බැංකුවෙන් ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4කට පමණ සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් වේ. දළ නිල සංචිත ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිල දී ගැනීම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලද ලැබීම්ය.

සමස්තයක් වශයෙන්, මහ බැංකුව 2023 වසරේ දී ශුද්ධ පදනම මත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9ක් පමණ මිලදී ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ 2023 දෙසැම්බර් මාසයේ විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවට අනුව චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළුව 2023 වසරේ දෙසැම්බර් මස වන විට දළ නිල සංචිතවල ආනයන ආවරණය 2021 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව පළමු වරට ආනයනික මාස 03ක සීමාව ද අභිබවා ගොස් ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment