බී ලූනු – අල අයුතු ලාභය රු. කෝටි 8000යි

852

කෝටියකට වඩා බදු පොලු තැබූ 4479ක් නිදැල්ලේ සිටියදී ජනතාවට වැට් ගැසීම යුක්තිසහගත නෑ
ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවැනි වාර්තාව ඉදිරිපත් කරමින් පාඨලී මැති සබයේදී කියයි

ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් රජයට රුපියල් බිලියන 1066ක් (රු.කෝටි ලක්ෂයකට අධික) එකතු කළ යුතු හිඟ බදු පවතින බව පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (01දා) ප්‍රකාශ කළේය.

මේ වසරේ ජනවාරි පළමු වැනිදා වැට් බදු වැඩි කිරීම සිදු කළේ රු. බි. 600 ක් රජයට එකතු කර ගැනීමේ අරමුණෙන් වුවත්, පසුගිය අවුරුදු පහ තුළ ඉහත ආයතන විසින් එකතු කර නොගත් බදු ආදායම් ප්‍රමාණය රුපියල් බිලියන 656 ක් බව ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවැනි වාර්තාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී කෝටි 100 කට වැඩි බදු පැහැර හැර ඇති ප්‍රමාණය 92ක් බවත්, කෝටි 50-100 අතර 104 දෙනකු සිටින බවත්, මිලියන 300-400 අතර 57 දෙනකු සිටින බවත්, මිලියන 50-100 අතර 630 දෙනකු සිටින බවත් මිලියන 10 – 50 අතර 3108 දෙනකු සිටින බවත් පැවසූ රණවක මහතා රුපියල් කෝටියකට වඩා බදු පොලු තැබූ 4479 දෙනකුගෙන් අදාළ බදු ආදායම් අය කර නොගෙන රටේ සමස්ත ජනගහනයෙන් කිරිපිටි, සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන ඇතුළු සියලු දේ සඳහා වැට් බදු අය කිරීම යුක්තිසහගත නොවන බව ප්‍රකාශ කළේය.

එහිදී මන්ත්‍රීවරයා ආනයන අපනයන ගැන විශේෂ සඳහනක් කරමින් 2023 දී රු. 92ට ගෙන්වන ලද බී ලූනු කිලෝවක් ඔරුගොඩවත්තේදී රු. 365 කට අලෙවි කොට ඇති බවත් ඒවා පාරිභෝගිකයා අතට පත්වනවිට කිලෝවක මිල රු. 700කට ආසන්න වන බවත් පෙන්වා දුන්නේය. අර්තාපල් කිලෝවක් රු. 110 කට ගෙන්වා ඇතත් ඒවා අලෙවි කොට ඇත්තේ රු. 840 කට බව පැවසූ පාඨලී චම්පික රණවක මහතා ඒ භාණ්ඩ ආනයනය කළ ව්‍යාපාරිකයන් කිහිප දෙනා දළ වශයෙන් ලබා ඇති ආදායම කෝටි 8000ක් බවද ඒ අයථා ලාභ ලැබූ අයට බදු අය නොකොට ඇති බව ද පැවසූ අතර, එවැනි ආනයනය කරන ලද භාණ්ඩ ලැයිස්තුවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සභාගත කළේය.

ජාවාරම්කාර මත්පැන් ව්‍යාපාරිකයන් ගැන ක්‍රම සහ විධි කාරක සභාවෙන් හෙළිදරව් කළ පසු 2023 සැප්තැම්බර් මාසයේදී පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම කෝටි 100 කින් වැඩි වූ බව ද පෙන්වා දුන් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා, දොම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය හොර ස්කාගාරයක් වටලා එහි සේවය කළ සේවකයන් 18 දෙනකු බන්ධනාගාරගත කොට තිබුණද ඒ ආයතනයේ හිමිකරුවන්ට එරෙහිව මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව සඳහන් කළේය.

බංග්ලාදේශය වැනි රටවල් පවා මේ වනවිට ඩිජිටල් බැංකු දහයක් පමණ පවත්වාගෙන යන බවත් සියලු ගනුදෙනු බැංකුකරණය වීම තුළින් බදු ආදායම් එකතු කරගත හැකි ආකාරය පැහැදිලිව ලබාගත හැකි බවත් ශ්‍රී ලංකාව තුළද ඉලෙක්ට්‍රොනික් වේදිකාවක් සැකසීමට යෝජනා කරන අතර එමගින් දැනට බදු පැහැර හරින ලක්ෂ දහයකගෙන් බදු අයකර ගැනීමට රජයට හැකි වන බවද එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment