හැමෝම එකතුවී දැන් රට ගොඩනගමු – නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත වූ මොහොතේ ජනපති කියයි

145

සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට සැමට යළි අරැයුම්
● ජාතික සභාවක් පිහිටුවනවා● තෙල් පෝලිම්වල පාතාලයට ඉඩ දෙන්නේ නෑ
● ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජෙකු හෝ දෙවියෙකු නොවේ
● මා සියලුම ලාංකිකයන්ගේ ජනාධිපති
● ජේ.ආර්. කියූ කතාවට සමාන කතාවක් රනිලුත් කියයි

හැමෝම එකතුවී දැන් රට ගොඩනගමු - නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත වූ මොහොතේ ජනපති කියයි

වත්මන් අර්බුදයෙන් මිදී සමස්ත ජාතිය ඉහළට ඔසවා තැබීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වයන්ගෙන් යළිත් පාර්ලිමේන්තුවේදී  ඊයේ (04 දා) ඉල්ලා සිටියේය.

නව වැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සැසිවාරය අභිමානවත් එහෙත් චාම් ලෙස විවෘත කිරීමෙන් අනතුරුව සිය ප්‍රතිපත්ති පිළිබඳ සභාව දැනුවත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. රට ගොඩනැංවීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකට එක්වී කටයුතු කිරීම මේ අවස්ථාවේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තුව බව ද ඒ මහතා මෙහිදී කීය.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීම සඳහා ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ඔහුගේ උපදෙස් මත කටයුතු යොදා තිබූ අතර ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි කිසිවක් පැවැත්වුණේ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරයක් පිරිනැමීම සිදු කෙරිණ. මෙහිදී ජනාධිපතිවරයාගේ ධජය එසවීමක් සිදු නොවුණු අතර ජාතික කොඩිය පමණක් එසවීම සිදුවිය.

ඊයේ පාර්ලිමේන්තුවට පෙරවරුවේ 09.30 පමණ සිට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවූ අතර, එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පැමිණීම, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පැමිණීම සිදු වූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වූයේ ඉන් අනතුරුවය. එහිදී කථානායක සහ මහ ලේකම් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපතිවරයා පිළිගැනීම සිදුවිය.

පසුව ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරය පිරිනැමීමෙන් අනතුරුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවා ගෙන යෑමෙන් පසුව ප්‍රධාන ද්වාරය අසල දී කොළඹ, දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියෝ විසින් ජයමංගල ගාථා ගායනා කර, ජනාධිපතිට ආශිර්වාද එක් කළහ.

පසුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා කථානායක අසුන වෙත පැමිණි අතර එම අසුනේ ජනාධිපති නිල ලාංඡනය වෙනුවට රාජ්‍ය ලාංඡනය සවිකර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් රටේ පවතිනවා වැනි ආර්ථික අර්බුදයක් මෙරට ඇති නොවන පරිදි ශක්තිමත් පදනමක් දැමීම සඳහා අවශ්‍ය වාර්තා, සැලසුම්, නීති – රීති, අණ – පනත් සහ වැඩසටහන් දැන් සකස් කර ගෙන යන බව ද හෙතෙම කීය. ඉදිරි වසර 25 සඳහා ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරන බවද 2025 වෙද්දී ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් ඇති කරගැනීම ආණ්ඩුවේ ඉලක්කය බව ද ඒ මහතා පැවසීය.

එම ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ, රටත්, ජාතියත්, ගොඩ නැංවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියොත්, 2048 වසරේ, 100 වෙනි නිදහස් සංවත්සරය සමරන අවස්ථාවේ, පූර්ණ සංවර්ධිත රටක් බවට පත් වීමට හැකි බව ද ජනාධිපතිවරයා කීය.

මේ අතර රට ඉල්ලා සිටින සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සියලු දෙනාගේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරන බව ද රට තුළ අවිහිංසාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සාමකාමී ලෙස අරගලයේ යෙදීම මූලික මිනිස් අයිතිවාසිකම තමා පිළිගන්නා බව ද සඳහන් කළේය.

සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් තමා විශේෂ කාර්යාංශයක් පිහිටුවන බවත් අරගලකරුවන්ට සිදුවන අසාධාරණ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට විශ්‍රාමික විනිසුරුතුමකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පිහිටුවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

කෙසේවෙතත් චේතනාන්විතව නීතිය උල්ලංඝනය කරනන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා බවත් කී ජනාධිපතිවරයා “නීතිය ඔබටත්, මටත්, සියලු දෙනාටත් එකයි” යනුවෙන් ද සඳහන් කළේය.

එබැවින් තමා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අනවසර ස්ථානයන්හී තවදුරටත් රැඳී නොසිට ඉන් ඉවත් වී, නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සහාය දක්වන ලෙස මම සාමකාමී අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා ඉල්ලීය.

ඊට අමතරව ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතුද? රටට වඩාත්ම ගැළපෙන ක්‍රමය කුමක්ද? ආණ්ඩු ක්‍රමය කවරාකාරයේ ප්‍රතිසංස්කරණයන්ට ලක් විය යුතුද? ආදී සියලු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජන සභා පිහිටුවා ඒ ඔස්සේ පොදු ජාතික එකඟතාවන්ට එළැඹෙන බව ද ජනාධිපති කීය.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරුතුමා, උපරිමාධිකරණ විනිසුරුවරුන්, නීතිපතිතුමා, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර තිබිණ.

මේ අතර එදා 1978 වසරේ දී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අවසන් වතාවට කියන ලද්දේ තමා තමන්ට පහනක් වන ලෙසය. ඔහුගේ බෑණා කෙනකු වන වත්මන් ජනාධිපතිවරයා ද ඊට සමාන අදහසක් දරමින් “තමා තමාට දීපයක් වෙන්න. අපි අපිටම දීපයක් වෙමු. ඒ දීපාලෝකයෙන් ශ්‍රී ලංකාද්වීපය ආලෝකවත් කරමු” යැයි සඳහන් කිරීම දෛවෝපගත කාරණයකි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment