මේ දිනවල “සංචාරේ” කණ්ඩායමේ සොඳුරු සංචාරක ගමනාන්තය නාවලපිටිය බව පසුගිය සතියේ අප ඔබට සිහිපත් කළෙමු. එපමණක් නොව, නාවලපිටියේ සිට ගඟ ඉහළ කෝරළයේ පිහිටි අලංකාර “අසුපිනි ඇල්ල” බලන්නට ඔබව කැඳවාගෙන ද ගියෙමු. අමතරව නාවලපිටියේ සිට දිවෙන ප්‍රවේශ මාර්ග ශ්‍රී පාදය, හැටන්, තලවාකැලේ, ගිනිගත්හේන, කිතුල්ගල, ගම්පොල, කොත්මලේ, දොළොස්බාගේ ඔස්සේ මාවනැල්ල හා බුලත්කොහුපිටිය හරහා කෑගල්ල, කරවනැල්ල ආදී ප්‍රදේශ දක්වා දිවේ. ඒ අනුව අසු පිණි ඇල්ල, කඩියන්ලෙන ඇල්ල, ගලබොඩ ඇල්ල, ලක්ෂපාන, ඇබර්ඩීන් ඇල්ල, සෙන්ට් ක්ලෙයාර්ස්, ඩෙවොන් ඇල්ල යනාදී දිය ඇලි දක්වාද ළඟාවීමේ ප්‍රවේශ මාර්ග මෙහි සිට විහිදෙන බවද අප ඔබට කීවා මතකය. ඒ අනුව හිටපු වන සංරක්ෂණ නිලධාරියකු වන නාවලපිටියේ ජී. ඩබ්ලිව්. නිමල්සිරි නොහොත් නිමල් අයියාගේ ආරාධනය පරිදි දුම්රියෙන් නාවලපිටියට ගොස්, ඔහුගේ නිවසේ ගතකරමින් මේ කියන සුන්දරත්වය විඳින චාරිකාවට අප එක්වූයේ නාවලපිටිය කේන්ද්‍ර කරගත් සංචාරක ලිපි පෙළක් මේ වනතුරුත් මාධ්‍යයක පළවූ නැති අඩුවද පිරිමසාලන අදහසිනි.
ඒ අනුව දිවයින – “සංචාරේ” කණ්ඩායම නිමල් අයියාගේ ආරාධනයෙන් නාවලපිටිය අවට සුන්දරත්වය විඳින්නට ගියේ නිමල් අයියාගේ ඥාති පුත්‍ර ඩිල්ශාන් පුතාගේ Mitsubishi 4DR5 වර්ගයේ ජීප් රථයෙනි. ඒ අනුව පසුගිය සතියේ කතා කළ පරිදි පළමුව අප ගියේ “අසු පිණි ඇල්ලේ” සුන්දරත්වය විඳීම සඳහාය. අපගේ කණ්ඩායමට ඩිල්ශාන් සහ නිමල් අයියාට අමතරව, මාධ්‍යවේදී ජයන්ත විජේසිංහ මා සමග කොළඹින් එකතු වූ අතර, ප්‍රදේශය ගැන ඉතා හොඳින් දන්නා ප්‍රදීප් මධුශංක ද ගමනට එකතු විය.
ඒ අනුව අසු පිණි ඇල්ලේ විසිතුරු විඳ ඉන් නික්මුණු අපි, මීළඟට ගමන්ගත්තේ දොළොස්බාගේ කඩමණ්ඩිය හා දොළොස්බාගේ “වීව් පොයින්ට්” වෙත ගොස් එහි අසිරිය විඳීම සඳහාය. අසු පිණි ඇල්ලට පමණක් නොව, දොළොස්බාගේ පැත්තට යෑම සඳහාත් නාවලපිටියෙන් යායුත්තේ එකම මාර්ගයකිනි. එම මාර්ගය දොළොස්බාගේ මාර්ගය ලෙස හැඳින්වූවද නිවැරදිය. මෙම මාර්ගයේ ගමන් කරන විට ගම්පොල පැත්තට දිවෙන මාර්ගයක් ද නැවත හමුවේ. අසු පිණි ඇල්ලට යායුත්තේ ඒ මාර්ගයේ ගොසිනි. නමුත්, කුරුඳුවත්ත හරහා උඩ පාරේ ගමන් කරන්නේ නම්, දොළොස්බාගේ කඩමණ්ඩිය දක්වා ඇත්තේ කිලෝමීටර් 19 කි. එතැන් සිට ගම්පොළට කිලෝමීටර් 23 කි. බුලත්කොහුපිටියට කිලෝමීටර් 23 කි. ඒ අනුව දොළොස්බාගේ පිහිටා ඇත්තේ කෑගල්ල- මාවනැල්ල- කරවනැල්ල-
ගම්පොල-නාවලපිටිය කේන්ද්‍ර කරගනිමින් පිහිටි කඳු වළල්ලක් මතය. මෙම ප්‍රදේශය කඳු පන්තිවලින් වටවූ ප්‍රදේශයක් නිසාම දොළොස්බාගේ දක්වා පැමිණෙන ගමන ගිරි දුර්ග-ජල දුර්ග අතරින් වැටී තිබේ. අරණායක-ශ්‍රී පාදය දක්වා අතීත මාර්ගය වැටී තිබී ඇත්තේද මෙම දොළොස්බාගේ කඩමණ්ඩිය ඔස්සේ බව කියනු ලැබේ. එම නිසාම සහ බි්‍රතාන්‍ය යටත්විජිත සමයේ මේ වටා තේ වැවිලි (වතු) විශාල ප්‍රමාණයක් පිහිටා තිබී ඇති හෙයින් නුවරඑළියෙන් පසු ප්‍රධානම නගරයක් ලෙස තිබී ඇත්තේ මෙම දොළොස්බාගේ නගරයයි. දැන් කඩමණ්ඩියක් පමණක් බවට පත්ව කඩ කාමර 20 -25 කට සීමාවී තිබුණත්, එකල මෙහි කඩ කාමර 70-100 කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති බව අපට කීවේ දොළොස්බාගේ කඩමණ්ඩියේ තොග සහ සිල්ලර කඩයක් පවත්වාගෙන යන නිලන්ත බණ්ඩාර විජේසිංහ වෙළෙඳ මහතාය. ඔහුට සහ ඔහුගේ සහෝදරයාටත් එම කුඩා නගරයේ ව්‍යාපාර දෙකක් හිමිය. ඔහුගේ මල්ලී මෙහි කෑම කඩයක් පවත්වාගෙන යන්නේය.
දොළොස්බාගේ මාර්ගයේ කන්ද නැගගෙන ගොස්, 11 වැනි කිලෝමීටරයේ සිට 13 කිලෝමීටරය දක්වා ගමන් කරන විට ඉතා හොඳ දර්ශන තලයක් නෙත ගැටේ. මෙම මාර්ගයේ වම් පසින් සුප්‍රකට කබරගල කඳු පන්තියත්, දකුණු පසින් තේ වතුවලට ඉහළින් ඈත ක්ෂිතිජ ඉම මායිම් කරන ගම්පොල-මහනුවර නගර ප්‍රදේශයත් දිස්වේ. එම දර්ශන තලයේ මෙහි සිට බලන විට වම් පසින් කොත්මලේ මහා සෑයත්, දකුණු පසින් අම්බුළුවාවේ නැරඹුම් කුලුනත් ඈත කඳු අතරින් ඉතා හොඳින් දිස්වේ. මෙවන් දර්ශනයක් වෙන කොතැනකට හෝ එකවර පෙනෙන්නේදැයි මම නොදනිමි. නමුත් නාවලපිටිය – දොළොස්බාගේ ගමන මෙම ඉදිකිරීම් යුගලය දැකගන්නට ඉතා හොඳ දර්ශන තලයක් බව කිව යුතුය.
එසේම, පෙර දින අප කතා කළ, බොහෝ තරුණ පිරිස් රාත්‍රී කඳවුරු අත්දැකීම් ලබාගැනීම සඳහා යන සුප්‍රකට ”කබරගල” ට යන මංසන්ධිය ද පිහිටා ඇත්තේ 13 වැනි කිලෝමීටරය ආසන්නයෙනි. මේ සියල්ල පසුකර, අපි තවත් හෝරාවකට අඩු කාලයකින් දොළොස්බාගේ කඩමණ්ඩිය වෙත ළඟාවීමු. එහි ගිය අපි පළමුව ඒ කුඩා නගරයේ ඇවිද එහි තොරතුරු විමසා බැලුවේ අවට සුන්දරත්වය ද විඳ ගනිමිනි. අනතුරුව පොඩි විජේසිංහ ගේ කෑම කඩයට ගොඩවූ අපි දහවලට එයින් සප්පායම් වීමු. දොළොස්බාගෙටම ආවේණික වූ ප්‍රණීත ඇම්බන් කෙසෙල් ගෙඩිවල රස බලන්නට ද මෙහිදී අපට අවස්ථාව උදාවිය.
අනතුරුව නිලන්ත බණ්ඩාර විජේසිංහගේ කඩයට ගොඩවුණු අපි ඔහුගෙන් මේ නගරයේ තොරතුරු විමසා බැලුවෙමු. තවමත් තරුණ විය ඉක්මවා නැති නිලන්ත බණ්ඩාර විජේසිංහ වර්තමාන දොළොස්බාගේ කඩමණ්ඩිය ගැන කලකිරීමෙන් කතා කළේය. ඒ අතීත දොළොස්බාගෙට සංසන්දනාත්මකව වත්මනේ මේ නගරයේ පවතින සංවර්ධනය ගැනය. එකල නුවරඑළියට වඩා සැලකිල්ලක් තිබූ මේ නගරයේ සුද්දන්ගේ කාලයේදී ශ්‍රී ලංකාවේ 8 වැනි රෝහල ඉදිකර ඇති බවද කීවේ ඔහුය. එම රෝහල් ගොඩනැඟිල්ල මේ වන විට පුරාවස්තුවක් ලෙස සැලකේ.
එකල තිබුණු කඩමණ්ඩිය අතහැර මෙහි සිටි වෙළෙන්දන් නුවරඑළියට, ගම්පොළට පසුබැස ගියා කියන්නේ 83 ජාති ආලය නිසාය. කඩ ගිනිතබා වැනසීම නිසා ඔවුන් දොළොස්බාගේ අතහැර ගොස් ඇත. අවසානයේ මෙහි ඉතිරිව ඇත්තේ කඩ කාමර 15-20 ක් පමණි. නමුත් මේ නගරය අතහැර යන්නට අකැමැති නිලන්ත බණ්ඩාර විජේසිංහ කියන්නේ ඉන්ධනහලක් සහ රජයේ බැංකුවක් තිබේ නම් මේ කුඩා නගරය ලොකු නගරයක් කරන්නට හැකි බවය. එනිසා එම අත්‍යවශ්‍ය පහසුකම් දියුණුකර දොළොස්බාගේ සංචාරක පුරවරයක් කරන්නට තමන් කාලයක සිට වෙහෙසෙන බවද නිලන්ත බණ්ඩාර විජේසිංහ අප සමග පැවසීය. ඔහුගේ පැතුම මල් ඵල ගැන්වෙනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. එසේ වේ නම් තවත් කාලයකදී අපට යන්නට වෙන්නේ සංචාරක පුරවරයක් බවට පත්වූ දොළොස්බාගේ නගරය වෙතය.
දොළොස්බාගේ යනු, කෝරළයක් වැනි භූමි බෙදීමක් බව අපට කීවේ ද නිලන්ත බණ්ඩාර විජේසිංහ ය. එනම්, උඩුවැලි හතර බාගේ, උඩුවැලි මැදි බාගේ සහ ගිරාඋල්ල හතර බාගේ භූමි ප්‍රදේශවල එකතුව දොළොස්බාගේ බව නිලන්ත කියයි. එසේම, අද දොළොස්බාගේ කියා හැඳින්වුවත් කඩමණ්ඩිය පිහිටි මෙම ගමේ නම ”ලේව්දෙණිය” බවද කියන්නේ නිලන්තය. එනම්, දොළොස්බාගේ යනු කෝරළයක් වැනි ප්‍රදේශයකි.
මෙවන් කතා, තොරතුරු අසා දැනගත් අපි මීළඟට ගියේ දොළොස්බාගේ “වීව් පොයින්ට්” බැලීම සඳහාය. දොළොස්බාගේ (ලෙව්දෙණිය) සිට බුලත්කොහුපිටිය යන පාරේ කිලෝමීටර් 2 ක් පමණ ගිය පසු මෙම වීව් පොයින්ට් එක නොහොත් දර්ශන තලය මුණගැසෙන අතර, වංගු කිහිපයක් බැස පහළට සේන්දුවන මාර්ගයේ සිට අවට සිරියාව හරි අපූරුවට නැරඹිය හැකිය. වැහිවළාවන් සේන්දු වන මොහොතේ මෙහි සිට පරිසරයේ සුන්දරත්වය විඳගත් අපි මීළඟට තලවාකැලේ මාර්ගයේ හමුවන ”කඩියන්ලෙන ඇල්ලේ” සුන්දරත්වය විඳින්නට යෑමට කතිකා කරගත්තෙමු.
(කඩියන්ලෙන ඇල්ලේ සුන්දරත්වය ලබන සතියේ)
සැරිසර –
ජගත් කණහැරආරච්චි
තෙවැනි ඇස –
ජයන්ත විජේසිංහ