කොළඹ පාතාලයේ ‘බඩා රංජි’ මෝදරදී වෙඩි කා නසී

616

කංජිපානි ඉම්රාන්ගේ පියා ඝාතනය කළාට පළිගැනීමක්

මෝදර රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය අසලට පෙරේදා (15 වැනිදා) රාත්‍රි කඩාවැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනකු විසින් එහි සිටි ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයකු වන ‘බඩා රංජි’ නමැත්තාට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇත.

ඉන්දියාවේ සැඟවී සිටින කංජිපානි ඉම්රාන් නමැති පාතාල නායකයාගේ නියෝගය මත කුඩු සෙල්ලි නමැති පාතාල නායිකාවගේ පුත්‍රයා ඇතුළු කල්ලියක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. ඝාතනයට ලක්වූ බඩා රංජි නමැත්තා කොළඹ පාතාලයේ කෙරුම්කාරයකු බව කියන මේ වනවිට ඉන්දියාවේ සැඟවී සිටින පූකුඩිකන්නාගේ කල්ලියේ සාමාජිකයකු බවට පොලිසිය පවසයි.

පූකුඩිකන්නාගේ පාතාල කල්ලියේ මත්ද්‍රව්‍ය අලෙවියට අදාළ මුදල් එකතු කිරීම කප්පම් මුදල් එකතු කිරීම යන කටයුතු බඩා රංජි නමැත්තාට භාරවී තිබූ බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.

මීට වසර කීපයකට පෙර කංජිපානි ඉම්රාන් නමැත්තාගේ පියා කපා කොටා ඝාතනය කර තිබූ අතර එය පූකුඩිකන්නාගේ නියෝගය මත බඩා රංජි ඇතුළු පිරිසක් විසින් කළ බව හෙළිවී තිබිණි.

එම ඝාතනයට එකට එක කිරීමක් ලෙස මොහු මරා දමන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

බඩා රංජි කලක සිට කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර පෙරේදා පැවති තෛපොංගල් උත්සවයකට සහභාගි වීමට මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණය වෙත පැමිණ ඇත. ඒ අවස්ථාවේ ත්‍රිරෝද රථයක පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබේ. බරපතළ තුවාල ලබා සිටි බඩා රංජි නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment