ඉදිරියේදී ආයෝජකයන්ටත් පාරිභෝගිකයන්ටත් ප්‍රතිලාභ අත්වෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර “හරිත තාක්ෂණ සංසදය” අමතමින් කියයි

79

ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ආයෝජනයට සුදුසුම කාලය මෙයයි

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත් ඉදිරි දශක කිහිපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවටද එමගින් සැලකිය යුතු ප්‍රතිලාභ අත්වන බවට කිසිදු සැකයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ සඳහා ඉදිරිපත් වන ආයෝජකයන්ට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා රජය සහතික කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර 15දා පැවති “හරිත තාක්ෂණ සංසදය” අමතමිනි. ස්විස් – ආසියානු වාණිජ මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබිණි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

කෘෂිකාර්මික නිෂ්පාදනය අඩාල කරමින් නියං කාල සීමාව සාමාන්‍ය කාල සීමාවට වඩා දීර්ඝ වන විට අපගේ ආහාර සුරක්ෂිතතාව අනතුරේ වැටෙනවා. එසේම මෝසම් වැසි ප්‍රමාද වීම නිසා ජල විදුලි ජනනයට බාධා ඇතිවන විට අපේ බලශක්ති සුරක්ෂිතතාව අවදානමට ලක්වනවා. බොහෝවිට නියඟය අවසානයේ ගංවතුර තත්ත්වයන් ඇතිවෙනවා. විශේෂයෙන්ම එය සාමාන්‍ය ජන ජීවිතය මෙන්ම ඔවුන්ගේ ජීවනෝපායන්ද කඩාකප්පල් කරනවා. සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අහිතකර ප්‍රතිඵල මඟින් සිදුවන බලපෑම අසමානුපාතික බව මෙයින් ඉතා පැහැදිලියි. මෙමගින් දේශගුණික යුක්තිය පිළිබඳ ප්‍රශ්නය සඳහා මෙන්ම ගෝලීය දකුණේ රටවලට දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනය වීමේ සහ ඒවා අවම කිරීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් දියුණු ආර්ථිකයන්ගෙන් සිදු විය යුතු වඩාත් ප්‍රබල දායකත්වයක අවශ්‍යතාවය පෙන්නුම් කරනවා.

පුනර්ජනනීය බලශක්තිය සඳහා අපගේ ඇති උත්සාහය පිළිබඳව මම ඔබගේ අවධානයට යොමු කිරීමට කැමතියි. ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් බව ඔබ දන්නවා. නිදහසින් පසු ශ්‍රී ලංකාව ජල විදුලි බලය සඳහා පුළුල් ජාලයක් නිර්මාණය කළ අතර 1950 වර්ෂයේදී එහි පළමු ප්‍රධාන ජල විදුලි බලාගාරය ආරම්භ කළා. අදටත් ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදන ධාරිතාවෙන් 40% ක් පමණ පවතින්නේ ජල විදුලියයි. ජල විදුලිය බොහෝ දුරට ප්‍රශස්ත මට්ටමින් යොදා ගෙන ඇති නිසා සුළං සහ සූර්ය බලශක්ති උත්පාදනය ජාතික විදුලි බල පද්ධතියට එක් කර ගැනීම සඳහා වැඩි උත්සාහයක් ගෙන තිබෙනවා. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම සහතික කිරීම වෙනුවෙන් රජය මේ වන විට මෙම ක්‍රියාවලිය වේගවත් කරමින් සිටිනවා. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 11.5ක් දක්වා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත්, මෑතක් වන තුරුම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා පැවති රාමුව එතරම් හිතකර තත්ත්වයක පැවතියේ නැහැ. පසුගිය වසර 2 තුළ රජය විසින් මෙම අඩුපාඩු නිවැරදි කිරීමට සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රශස්ත ආයෝජන සහිත වාතාවරණයක් ඇති කිරීම සඳහා පියවර කිහිපයක් ගෙන තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් මෙගාවොට් 350 ක සුළං විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්ව සිටින අතර එය 2025දී ආරම්භ කිරීමට අපේක්ෂිතයි. මෙම සමාගම තවත් ඩොලර් මිලියන 750ක් සුළං බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සුළං බලය මඟින් ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් සැලසෙනවා. විශේෂයෙන් වෙරළාසන්න සුළං බලයට ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට වඩා වැඩි බලයක් උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව ලෝක බැංකුවේ මෑත කාලීන වාර්තාවක් පෙන්වා දී තිබෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කරගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ප්‍රගතිශීලී අදියරක තිබෙන බව කිව යුතුයි. විශේෂයෙන් ඉන්දියාවේ දකුණු කොටසෙහි වේගයෙන් වර්ධනය වන කාර්මික කලාපය වෙත ශ්‍රී ලංකාවේ අතිරික්ත විදුලිය අපනයනය කිරීමට එමගින් අවස්ථාව සැලසෙනවා.

සූර්ය බලශක්තිය සඳහාද ඉහළ විභවයක් පවතිනවා. එය ගිගාවොට් 40ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. වහලය මත රඳවන සූර්ය පැනල මඟින් උත්පාදනය කරන බලශක්තිය හැරුණු කොට සූර්ය බලශක්තියේ විභවය ගිගාවොට් 200 ක් පමණ වෙනවා. ඒ අනුව මුළු ප්‍රමාණය තවත් වැඩි විය යුතුයි. මෙය ශ්‍රී ලංකාවේ සුළං බලයට වඩා වැඩි ප්‍රමාණයක්. ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා සතුව පවතින විභවය පිළිබඳව ද අප සොයා බලනවා.

ශ්‍රී ලංකාවට සිය තිරසර, හරිත සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු සහගත සැලසුම් පවතිනවා. 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කරගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්ම මෙම සමස්ත ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වන අතර එය බලශක්ති සුරක්ෂිතභාවය කරා යන මාවතෙද අත්‍යවශ්‍ය පියවරක් වෙනවා. වර්තමානයේ වියළි කාලවලදී ශ්‍රී ලංකාවට අධික මිල සහිත ඉන්ධන මත යැපීමට සිදු වී ඇති නිසා, මෙම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් ජනන පිරිවැය අඩු කර ගැනීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තියේ දිශානතිය සඳහා විවිධ අභිප්‍රේරණයන් හා පාර්ශ්වකරුවන් විසින් සහාය දක්වන බව පැහැදිලියි. එබැවින් ආයෝජකයින්ට මෙම ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් අපේක්ෂා කළ හැකියි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙය වන අතර, එවැනි ආයෝජන ඉදිරි දශක කිහිපය තුළ එහි පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට ද සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා දෙන බවට මට කිසිදු සැකයක් නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment