අමරවීර – අලගියවන්න – දුමින්ද ශ්‍රීලනිප තනතුරුවලින් නෙරපීමට උසාවියෙන් වාරණයක් – මෛත්‍රී ඇතුළු විත්තිකරුවන්ට නොතිසි

111

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීම ලබන 8 වැනිදා දක්වා වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (01දා) වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, වැඩබලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා හා මහියංගණය ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධන යන මහත්වරුන් විත්තිකරුවන් කරමින් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායක යන මහත්වරුන් ගොනු කර තිබූ නඩු තුනක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා එම නියෝගය කළේය.

එදිනට අධිකරණය හමුවේදී පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා අතුරු තහනම් දැන්වීම් හා නොතිසි විත්තිකරුවන් වෙත යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

පසුගිය 30 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍යම කාරක සභාවේ විධායක සභාවේ සාමාජිකයන්ගේ සහ ආසන හා දිස්ත්‍රික් සංවිධායකයන්ගේ රුස්වීමකදී තමන් එම තනතුරුවලින් ඉවත් කොට එම තනතුරුවලට වෙනත් පුද්ගලයන් තිදෙනකු පත්කර ඇති බවත් පැමිණිලිකාර පාර්ශ්වය එමඟින් අධිකරණයට පෙන්වා දී තිබිණි. තමන් එකී තනතුරුවලින් ඉවත් කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බැවින් තමන් ඉවත් කිරීමේ තීරණය හා වෙනත් තිදෙනකු එම තනතුරුවලට පත්කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙසට ද පැමිණිලිකාර පාර්ශ්වය දිසා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා, ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර යන මහත්වරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment