රනිල් අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධීයි ආණ්ඩුව පිහිටුවන්න සජිත්ට ඉඩදිය යුතුයි

254
  • ඕමල්පේ සෝභිත හිමි

ජනතා අභිලාසය සමග කරන සූදුව නවත්වන්න – කාදිනල්තුමා

අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට ජනපති ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී මෙන්ම සදාචාර විරෝධී යැයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (12 දා) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ.

මහජනතාවගේ අභිලාෂයට පිටින් වැඩ කිරීමට ජනපතිට කිසිම අයිතියක් නැතැයි ද උන්වහන්සේ පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියෝ මෙසේ ද කීහ.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කිරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම ජනතා අභිලාෂයට පිටුපෑමක්. ජනතාව ඉල්ලන්නෙ එකක් දෙන්නෙ තව එකක්.

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් නිකුත් කළ විශේෂ නියමයන් ගණන් නොගෙන කටයුතු කර තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයෙන් පරාජය වුණා. ජාතික ලැයිස්තුවට හිමි එකම මන්ත්‍රී ධුරයටයි ඔහු පත් වුණේ. මහජන කැමැත්ත ඇති අයෙකු යටතේයි අන්තර්වාර පාලනය පිහිටුවිය යුත්තේ.

මෙම පත් කිරීම රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව සඳහා ගත් පියවරක්. එක පුද්ගලයකුට බලයක් දෙනවා වෙනත් පක්ෂවල මන්ත්‍රීවරු මුදලට බාගෙන සංයුතිය හදා බලයට පත් වීමට. මෙය සාමකාමී අරගලය නොසලකා හැරීමක්. මේ පත් කිරීම් මගින් රට තවත් නරක අතට යන්න පුළුවන්. යහපත් පාලන ප්‍රතිසංස්කරණ මෙවැනි පාලනයක් මගින් කිසිසේත් බලාපොරොත්තු වන්න බැහැ. සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් ඇති කරන්න. මේ පාලනය පත් කරන්න එපා.

මේ වනවිට විපක්ෂනායකතුමා නව ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. වහා එය පිළිගත යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මෙසේ පැවසීය.

මල්වතු මහා නාහිමියන් ප්‍රමුඛ මහා නාහිමිවරුන් ඉදිරිපත් කළ යෝජනාවල අන්තර්වාර පාලනයට නිර්පාක්ෂික අයෙකු පත් කරන ලෙස සඳහන් කර තිබුණා. ඒ යෝජනාවලට මොකද වුණේ.

ජනතා අභිලාෂය සමග කරන සූදුව නතර කරන්න. ජනතාව බලාපොරොත්තු වූ වෙනස මෙය නොවෙයි. ජනතාව අතින් ප්‍රතික්ෂේප වූ අයෙකු ඊට පත් කිරීමට ගන්නා උත්සාහය හා ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරනවා.

රට ගොඩනඟනවා වෙනුවට මේ පියවරෙන් රට තව තවත් අගාධයට යනවා. අවුල් ජාලාවක් බවට පත් වෙනවා. රටේ කලබලකාරි තත්ත්වය වෙනස් කරන්න නම් අනිවාර්යයෙන්ම මෙතරම් දුරට මේ කාලයෙ සිදු වූ දේ බැලිය යුතුයි. නව ක්‍රමවේදයක් ඇති නොකර බොරුවට දැන් කියන තත්ත්වයට පත් කිරීම අපි පිළිගන්නේ නැහැ.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment