විගණකාධිපතිට ‘විදුලිය පාවිච්චි කරන්නන්ගෙන්’ කරුණු 4ක චෝදනා පත්‍රයක්

108

මූලික කරුණු හතරක් යටතේ විගණකාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දෝෂදර්ශනයට ලක් කරමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඊයේ (29) විගණකාධිපති කාර්යාලයට චෝදනා පත්‍රයක් භාර දුන්නේය.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

ඉන්ධන මිල සූත්‍රය ගැසට් නොකර රජය ඉන්ධන මිල ගණන් වැඩි කළත් විගණකාධිපතිවරයා කිසිදු විගණනයක් ඒ සම්බන්ධයෙන් කර නැතැයි ද එමගින් චෝදනා කර ඇත. එසේ විගණනයක් කළේ නම් ඉන්ධන මිල මෙතරම් වැඩි වන්නේ නැතැයි ද එම සංගමය සඳහන් කරයි.

පසුගිය මාස අට තුළ ගෑස් මිල සියයට 300කින් වැඩිකර සමාගම් වර්තමානයේ ලාභ ලබන පසුබිමකත් විගණකාධිපතිවරයා ගෑස් මිල සම්බන්ධයෙන් විගණනයක් කර නැතැයි ද එමගින් චෝදනා කර තිබේ. අඩුම වශයෙන් රජයේ ගෑස් සමාගම හෝ විගණනය කිරීමට විගණකාධිපතිවරයා කටයුතු කර නැතැයි ද එම සංගමය කියයි. එසේ විගණනය කළේ නම් සමාගම් ලබනා අසීමිත ලාභයේ තරම රට හමුවේ හෙළිවනු ඇතැයි ද එම සංගමය සඳගන් කර ඇත.

රුපියල් කෝටි 1600 ක් සොරාගත් සීනි බදු වංචාව සම්බන්ධයෙන් නිසි විගණනයක් කිරීමට විගණකාධිපතිවරයා කටයුතු කර නැතැයිද සඳහන් කරන විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඒ හරහා විගණකාධිපතිවරයා දූෂිතයන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇතැයි ද චෝදනා කර ඇත.

විදුලිය මිලදී ගැනීම් හා විදුලිය සඳහා ඉන්ධන මිල දී ගැනීම් සම්බන්ධයෙන් විගණනයක් නොකිරීම නිසා කූට ව්‍යාපාරිකයන් ආරක්ෂා වී ඇතැයි ද සහඳන් කර ඇති විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විදුලි බල මණ්ඩලයේ විගණකාධිපති වාර්තා වසර දෙකකින් ඉදිරිපත් කර නැතැයි ද විගණකාධිපතිවරයාට චෝදනා කරයි.

විදුලිය මිලදී ගැනීම් විගණනය නොකිරීම නිසා අයථා ගනුදෙනු හෙළි නොවීමෙන් රුපියල් මිලියන දසදහසක පාඩුවක් විදුලිබල මණ්ඩයට සිදුවී ඇතැයි ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කර ඇත. වසර දෙකක් පුරා විදුලි බල මණ්ඩලයේ විගණන වාර්තා ළඟ තබාගෙන සිටින විගණකාධිපතිවරයා ඒ සඳහා තවමත් අත්සන තබා නැතැයි ද එම සංගමය චෝදනා කර සිටියි.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment