කෙහෙළියට විරුද්ධ නඩුවේ ලිපිගොනු කිහිපයක් අතුරුදන්!

114

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවක පැමිණිල්ලේ සාක්‍ෂි ලේඛන කිහිපයක් සොයා ගැනීමට නොහැකි බව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ඊයේ (9දා) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට දැනුම් දුන්නා ය. එම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි ලේඛනයක් ලෙස නම්කර තිබූ ජනමාධ්‍ය අමාත්‍යාංශය භාරයේ තිබූ වැදගත් ලේඛනයක් අඩංගු ලිපිගොනුවක් ද මේවනවිට අමාත්‍යාංශයේ නොමැති බවද එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊයේ (9දා) එම අධිකරණයට ලිපියක් මගින් දැනුම් දුන්නේය.

රජයේ වගකිවයුතු නිලධාරීන් අධිකරණය විසින් නිකුත් කරනු ලබන නියෝග වලට අනුගත වියයුතු වුවත් අධිකරණය විසින් නියෝගයක් කළ විට පෞද්ගලිකව පෙනී සිට හෝ නියෝජිතයකු හෝ ඉදිරිපත් කර අධිකරණය විමසූ කරුණු සම්බන්ධයෙන් දැනුවත් නොකර ලිපියක් මගින් කරුණු දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව විවෘත අධිකරණය හමුවේදී අප්‍රසාදය පළකළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (09දා) දිනයට අදාළ කාර්ය සටහන් සුදුසු පියවර සඳහා එම අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා වෙත යැවීමට ද නියෝග කළේය. වගකිවයුතු රාජ්‍ය නිලධාරියකු මෙයට වඩා වගකීමෙන් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සිය අධිකරණය කනගාටු වන බවත් එහිදී පෙන්වා දුන් විනිසුරුවරයා කෙසේ නමුත් ලිපියක් මගින් අධිකරණය විමසූ කරුණු ගැන දැනුවත් කර ඇති බැවින් ඔහුට එරෙහිව වෙනත් පියවරක් ගැනීමට තම අධිකරණය උත්සුක නොවන බවද පෙන්වා දුන්නේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ එම අමාත්‍යාංශයට අයත්ව තිබූ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් දෙලක්‍ෂ තිස් දහසකට අධික මුදලක් වැයකර ඔහුගේ පෞද්ගලික දුරකථන බිල ගෙවීමට පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන අප්‍රේල් 24 වැනිදා ආරම්භ කිරීමට ද විනිසුරුවරයා දින නියම කළේය.

පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයකට සහභාගි වන බැවින් විත්තිකාර රඹුක්වැල්ල මහතා අධිකරණයට නොපැමිණෙන බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා මගින් අධිකරණයට ලිපියක් ඉදිරිපත් කොට තිබූ අතර අයෙක් විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් හීල්ලගේ මහතාගේ උපදෙස් මත නීතිඥ ප්‍රදීප් ගුණතිලක මහතා සමග නීතිඥ අසිත විපුලනායක මහතා පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment