මැතිවරණය ප්‍රකාශ කළ වහාම රට ගොඩනඟන වැඩපිළිවෙළ ඉදිරිපත් කරනවා – ජාජබ විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය

158

මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්වූ පසුව ජාතික ජන බලවේගයේ රට ගොඩනඟන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවත් ඊට පසුව ඒ පිළිබඳ සංවාද කළ හැකි බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවැසුවාය.

පසුගියදා පැවැති කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ආචාර්ය අමරසූරිය මහත්මිය මේ බව කියා සිටියාය. මෙහිදී වැඩිදුරටත් කතා කළ හරිනි අමරසූරිය මෙසේද කීවාය.

මේ රටේ ප්‍රතිපත්වලින් අඩුවක් නැහැ. ප්‍රතිපත්ති සම්පාදනයට සම්බන්ධ වුණු කෙනෙක් හැටියට මටත්, සීතා සහෝදරියටත් එවැනිම අත්දැකීම් තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදනයට අපට ආරාධනා කරනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ, ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක්, ඒකට අදාළ පාලනයක් රටේ බිහිවෙලා නැති නිසා. මේ රටේ පාලකයන්ට ප්‍රතිපත්ති අනුව වැඩ කරන්න බැහැ. ප්‍රතිපත්තිවලට අනුව වැඩ කළොත් ඒගොල්ලන්ට හොරකම් කරන්න, දූෂණයේ යෙදෙන්න, නාස්ති කරන්න බැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ප්‍රතිපත්ති අදාළ නැහැ. ඔවුන් දේවල් ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ හිතමිතුරු චෞර වළල්ලේ වුවමනාවට. විද්‍යාව, දත්ත, විශ්ලේෂණය, ජනතා සහභාගිත්වය තුළින් හැදුණු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නොවෙයි. ඒ නිසා අපි හිතනවා ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක වෙන රටක් හදන්න නම්, දේශපාලන වෙනසක් අවශ්‍යයි. ඒ දේශපාලන වෙනස වෙනුවෙන් තමයි මේ සියලු‍ දෙනාම පෙළගැසෙමින් යන්නේ. ඒ දේශපාලන වෙනසට තමයි මහජන නියෝජිතයනුත්, පුරවැසියනුත් අතර අලු‍ත් සමාජ සම්මුතියක් සඳහා මේ සාකච්ඡාව ගෙනියන්නේ. මේ සියලු‍ දෙනාම එකතු කරන්නේ. ඒ අලු‍ත් සමාජ සම්මුතිය අනුව තමයි අපි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පාලනයක් අපි ගොඩනගන්නේ. මේ දේශපාලනය පරිවර්තයන කිරීමට නම් අපි සියලු‍ දෙනාගෙන් ඉටුවිය යුතු කාර්යයක් තිබෙනවා. අපිට තීරණාත්මක මැතිවරණයක් එනවා, ඒ මැතිවරණය අපි දිනනන්න ඕනෑ. ඒ වගේම ඒ ජයග්‍රහණය අපි ආරක්ෂා කර ගන්න ඕනෑ. නායක මණ්ඩලය පමණක් නොවෙයි, අප නියෝජනය කරන දේශපාලන සංස්කෘතියත්, දේශපාලන භාවිතාවත් අපි ආරක්ෂා කරන්න ඕනෑ. ඒ වෙනුවෙනුත් අපි මේ වෙලාවේ සූදානම් විය යුතුයි.

ඔබ බැලු‍වොත් මීට පෙර මේ රටේ සිදුවුණු සියලු‍ම මැතිවරණවලින් පස්සේ පත්වුණු හැම ආණ්ඩුවක්ම මොකක්ද කළේ? ප්‍රතිවාදියාගෙන් පළි ගන්නවා. තමන්ට පක්ෂපාතී රාජ්‍ය නිලධාරීන් ළංකර ගන්නවා. තමන්ට වෙනස් අදහස් දරන රාජ්‍ය නිලධාරීන් එළවා ගන්නවා. තමන්ට වැඩ කළා කියන පාක්ෂිකයන්ට වරප්‍රසාද බෙදනවා. අනෙක් අය කොන්කරනවා.

ශිෂ්ට සම්පන්න රටක ආණ්ඩුවක් පත්වුණාම ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන් විතරක් නොවෙයි, මුළුරටම වෙනුවෙන්. නමුත් අවුරුදු 76ක් තුළ ආණ්ඩු පත්වුණේ ඒ ආණ්ඩු හිතවතුන් වෙනුවෙන් විතරයි. ඒ පළිගැනීමේ දේශපාලන සංස්කෘතිය අවසන් කරනවා. අපේ ආණ්ඩුව තුළ අපි බලන්නේ නැහැ කාටද උදවු කළේ, කවුද අපට උදව් කළේ කවුද අපට ඡන්දෙ දුන්නේ, කවුද අපිත් එක්ක වැඩ කළේ, ඒ ගොල්ලන්ට විශේෂ වරප්‍රසාද නොවෙයි. ආණ්ඩුව පත්වුණාට පස්සේ සියලු‍ දෙනාටම සාධාරණව, සියලු‍ පුරවැසියන්ට සමානව සලකනවා. හැබැයි නීතිය ක්‍රියාත්මක කරනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවුල් පසුබිම, පක්ෂපාතිත්වය අදාළ වෙන්නේ නැහැ. නීතිය කැඩුවා නම් ඒකට ක්‍රියාත්මක වෙන්න පොලීසිය, අධිකරණය තිබෙනවා. ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න අපේ ආණ්ඩුව බාධාවක් වෙන්නේ නැහැ. ඒකත් මතකයේ තබා ගන්න.

ගැහැනු අපට මේක අතිශයින්ම වැදගත්. ඒ පළිගැනීමේ දේශපාලන සංස්කෘතිය තුළ බොහෝ විට බැට කෑවේ අපි. මේ රට ලේ විලක් බවට පත්වුණු අවස්ථා ගණනාවක් තිබෙනවා. ඒවායේ වැඩිම බලපෑම් ආවේ ගැහැනු අපට. ඒ නිසා ගැහැනු අපි විශ්වාස කරනවා මේ රටට සුවපත්වීමක් අවශ්‍යයි. මැර බලයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් පළිගැනීම නිසා දුක්වින්දා ඇති. අපේ දරුවන්, සහෝදරවරුන්, සහෝදරියන්, ආදරවන්තයන් නැතිවුණා හොඳටම ඇති. මේ රට ලේ හැලු‍වා හොඳටෝම ඇති. මේ රට සුවපත් කිරීමේ හැකියාව තිබෙන්නේ ගැහැනු අපට. ඒ නිසා අපේ නායකත්වය මේ සමාජ පරිවර්තනයට අතිශයින්ම වැදගත් වෙනවා. අපි සියලු‍ දෙනා තුළම ඒ හැකියාව තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය සීතා බණ්ඩාර

මේ දවස්වල ලස්සන කෙටි නාට්‍ය බලන්න පුළුවන්. ඔබේ දරුවගේ ආහාර වේල ඉස්කෝලෙන් හම්බවෙනවා. අම්මගේ තාත්තාගේ වැටුප එක අතකින් බදු වශයෙන් කොල්ලකමින් දේශපාලනඥයා පාසලට ඇවිත් අනෙක් අතෙන් කෑම වේල දෙන්නේ ඔබටවත්, දරුවටවත් ආදරේ හින්දා නොවෙයි; ඔවුන්ට ඡන්ද නැති හින්දයි. දරුවා බඩගින්නේ එසෙම්බ්ලියේදි කලන්තේ දාලා වැටෙද්දී, දරුවගේ බත් එකෙ මැල්ලු‍මයි, බතුයි තිබෙද්දී, ඔබ බත් ටිකක්, මිරිස් කුඩු ටිකක්, ලු‍නු ටිකක් ඉහගෙන කද්දි කිසිම දේශපාලනඥයෙකුගේ ඇස් ඇරුනේ නැහැ. ඡන්දයක් ළඟ එනකොට ඔවුන්ට දරුවන්ගේ කුසගින්න දැනෙන්න පටන් අරගෙන. ඔබ සිතිය යුත්තේ තමන්ගේ දරුවාට පෝෂණීය ආහාර වේලක් දෙන්න පුළුවන් විදිහට අම්මගේ තාත්තාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් නායකත්වයක් ගැනයි. දැන් විවිධ විදියේ සංවිධාන හැදෙමින් පවතිනවා. ඔබට සහල් කිලෝ දහය ගානේ අප්‍රේල්, මැයි මාසෙට ලැබෙන්න නියමිතයි. තව බොහෝ දේවල් ලැබේවි.

advertistmentadvertistment
advertistmentadvertistment