මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ඝාතනය: මාමා කෙනෙක් තාත්තට වෙඩි තිබ්බා

552

පුංචි පුතා ඉස්කෝලේ යන මුල්ම දවසේ පියාගේ ජීවිතය ඩැහැගනී

ආච්චිත් මමත් කෑගැහුවා

බිහිසුණු සිද්ධිය දුටු පුංචි පුතා කියූ දුක්බර කතාව

“අද මම මුලින්ම ඉස්කෝලෙ යන්න තාත්තා ඇඳුම් අන්දවන ගමන් හිටියෙ. එක පාරටම මාමා කෙනෙක් ගෙදර දොර ඇරගෙන ඇතුළු වෙලා තාත්තාව තල්ලු කරන් ගිහින් වෙඩි තිබ්බා. තාත්තා කෑගහගෙන ඉස්සරහ දොර පැත්තට දුවද්දී ඒ මාමා තාත්තාට වෙඩි දෙක තුනක් තියලා පැනලා ගියා. මමයි, ආච්චියි පුළුවන් තරම් හයියෙන් කෑගැහුවා.” යැයි පස් හැවිරිදි ඉසිර ඉඳුවර විතානච්චි පොලිස් නිලධාරීන් හමුවේ හැඬූ කඳුළින් තමන් මුහුණදුන් බියජනක සිදුවීම විස්තර කළේය.

තම බාලපුත්‍රයා ඇල්පිටිය ශාන්ත තෙරේසා විදුහලේ එක වසර පංතියට ඇතුළු කිරීමට ඔහුට ඇඳුම් අන්දවමින් සිටියදී ඊයේ (26 වැනිදා) 6.50 ට පමණ නිවසට කඩා වැදුණු සාහසික පාතාල අපරාධකරුවකු කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක දීපාල් රොෂාන් කුමාර විතානච්චි මහතා ඉතාම කෲර අන්දමින් වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණි.

පාතාල නරුමයන් තම පියා සිය දෑස් ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කරනු දුටු පස් හැවිරිදි ඉසිරි ඉඳුවර තමන් මුහුණ දුන් භීතිජනක සිද්ධිය පිළිබඳව තවදුරටත් මෙසේ කියා සිටියේය.

“මං හරිම ආසාවෙන් හිටියේ ඉස්කෝලෙ යන්න. තාත්තා උදේම මට ඇඳුම් අන්දවලා එයත් ඇඳගත්තා. ඒත් එක්කම එකපාරටම මාමා කෙනෙක් ගෙදර පැත්තේ දොර ඇරගෙන ඇතුළු වුණා. එයා තාත්තව ගේ ඇතුළට තල්ලු කරගෙන ගිහින් පොඩි තුවක්කුවකින් වෙඩි තිබ්බා.

තාත්තා කෑගහගෙන ඒ මාමගෙන් බේරෙන්න ඉස්සරහ දොර පැත්තට දිව්වා. ඒත් ඒ මාමා තාත්තට තවත් වෙඩි දෙකතුනක්ම තිබ්බා. තාත්තා එතනම බිම ඇදගෙන වැටුණා. තාත්තට වෙඩි තිබ්බ මාමා ආව දොරෙන්ම එළියට පැනල දිව්වා. ඒ එක්කම එළියෙ තිබුණු මෝටර් බයික් එකක් යන සද්දෙ මට ඇහුණා.

මේ සිද්ධිය වෙනකොට ආච්චියි මමයි ගෙදර හිටියෙ. අපි දෙන්නා උදව් ඉල්ලා හයියෙන් කෑගැහුවා. අහල පහල අය ඇවිත් තාත්තව බලලා එයා මැරිලා කියලා පොලිසියට කෝල් කළා. ටික වෙලාවකට පස්සේ පොලිසියේ මාමලා ගොඩක් ගෙදරට ආවා. ඒත් තාත්තා ඒ වෙනකොට ජීවතුන් අතර නැහැ යැයි පුංචි ඉසිර ඉඳුවර දරාගත නොහැකි වේදනාවෙන් හඬා වැටෙමින් පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියේය.

ඇල්පිටිය ප්‍රදේශයේ නීතිගරුකව රාජකාරී කරන දක්‍ෂ අවංක නිලධාරියකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන දීපාල් රොෂාන් කුමාර විතානච්චි මහතා ඝාතනයට ලක්වන විට 51 හැවිරිදි වියේ පසුවිය.

ශරීරයට විෂ සහිත ආහාර අලෙවි කිරීමට එරෙහිව දීපාල් රොෂාන් මහතා දැඩි පිළිවෙතක් අනුගමනය කළ අතර එවැනි ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් රැසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද කටයුතු කර තිබිණි.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ඝාතනය: මාමා කෙනෙක් තාත්තට වෙඩි තිබ්බා

අම්බලන්තොට ධීවර වරායේ මත්ස්‍යයන්ට ෆෝමලින් දමා පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් දීපාල් රොෂාන් මහතා දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර එම සිද්ධීන් සහ මෙම ඝාතනය අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව පොලිසිය සැක පහළ කරයි.

දීපාල් රොෂාන් මහතාට වෙනත් ආරවුල් ගැටලු කිසිවක් තිබී නැති බව ද විමර්ශනවලින් හෙළිවී ඇත. පොලිසිය සැක කරන්නේ දීපාල් රොෂාන් මහතාට ඇත්තේ නීතිගරුකව රාජකාරි කිරීම යෑමේදී ඇතිවූ ආරවුල් බවයි.

මෙම ඝාතනය සැලවීමත් සමඟම ගාල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.

මෙම ඝාතනය සිදුවූ ස්ථානය සහ ඒ අවට ප්‍රදේශවල සීසීටීවී කැමරා පරීක්‍ෂා කර ඝාතකයන් හඳුනාගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

ඝාතනය සඳහා පාතාල කොන්ත්‍රාත් මිනීමරුවන් දෙදෙනකු පැමිණ ඇති අතර ඔවුන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා ඝාතනයට මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් යොදාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර ඇල්පිටිය, අම්බලන්ගොඩ, බද්දේගම, කරන්දෙණිය පොලිස් ස්ථාන ඒකාබද්ධවද දැවැන්ත මෙහෙයුමක් ඊයේ උදෑසන සිට ක්‍රියාත්මක කර තිබේ. කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ රාජකාරි කරන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක දීපාල් රොෂාන් කුමාර විතානච්චි මහතා තිදරු පියෙකි.

කුරුඳුගහහැතැප්ම දිවිතුර ප්‍රදේශයේ පදිංචි ඒ මහතා ප්‍රදේශයේ කා අතරත් හොඳ හිත දිනාගෙන සිටි නීතිගරුක නිලධාරියෙකි.

දීපාල් රොෂාන් මහතාගේ බිරිඳ ඇල්ල ශාසනචන්ද්‍ර මහා විද්‍යාලයේ ගුරුවරියක වන අතර වැඩිමහල් පුත්‍රයා විදුර විමන්ස විතානච්චි හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහලේ 9 වසර පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටියි.

දොළොස් හැවිරිදි දියණිය කොළඹ විශාඛා විද්‍යාලයේ 07 වැනි වසරේ ඉගෙනුම ලබන ශෂිනි සෞභාග්‍යා විතානච්චිය.

මීට වසර කීපයකට පෙර පාතාල සාමාජිකයන් පිරිසක් විසින් කරන්දෙණියේ හිතහොඳ දොස්තර නමැති ජනප්‍රිය වෛද්‍ය වරයකු ඝාතනය කළ අතර එම සිද්ධිය රටේ මහත් ආන්දෝලනයට ලක්විය. මහජන සෞඛ්‍ය පරීක්‍ෂක දීපාල් රොෂාන් මහතාගේ ඝාතනයද මේ වනවිට දකුණු පළාතේ පමණක් නොව මුළු රටේම ආන්දෝලනයට ලක්වෙමින් තිබෙන සිද්ධියක් වී ඇත.

පොලිසිය පවසන්නේ කිසියම් පිරිසක් පාතාලයට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි. මෙවැනි නීතිගරුක නිලධාරීන් ඝාතනය කරන පාතාල පාපතරයන්ට ඒ මොහොතේම නියම දඬුවම ලබාදිය යුතු බව ප්‍රදේශවාසීහු කියති. එසේ නොකරන තාක් මේ පාතාල මැරයන් මේ රටේ අහිංසක නීතිගරුක මිනිසුන් ඝාතනය කිරීම නතර නොකරන බව ඔවුන්ගේ අදහසයි.

ඇල්පිටිය කොට්ඨාසයේ වැඩබලන පොලිස් අධිකාරි රමිඳු ද සිල්වා මහතාගේ උපදෙස් මත ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනුර විජේසිංහ, පොලිස් පරීක්‍ෂක වැල්ලගේ ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

හේමන්ත රන්දුණු, විදානාරච්චි කීර්තිරත්න – ඇල්පිටිය

advertistmentadvertistment
advertistmentadvertistment