පුරවැසියන් රැකීමට සමාජ මාධ්‍ය තුළ නියාමනයක් ඕනෑ – බිනර ජයවර්ධන (එජාප)

82

ජනාධිපති කිසිම වාසියක් නැතිව රට වෙනුවෙන් කැපවෙනවා

කිසිම වාසියක් නැතිව රටේ අනාගතය වෙනුවෙන් පමණක් කැපවෙන නායකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව හැඳින්විය හැකි බව කඩුවෙල එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක බිනර ජයවර්ධන මහතා එජාප සිරිකොත මූලස්ථානයේ දී ඊයේ (2 දා) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

ජනාධිපතිවරයා භාරගනු ලැබුවේ බංකොලොත් වූ රටක බවද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ හෙතෙම මෙසේ ද කියා සිටියේය. විවිධ විවිධ දේශපාලන පක්‍ෂ අපි දකිනවා විවිධ මාධ්‍ය සංදර්ශන පෙන්වනවා. දේශපාලන පක්‍ෂ මේ ආකාරයට ජනතාව නොමග යවලා මේ ආකාරයට සංදර්ශන පවත්වන්නේ තමන්ගේ විශ්වාසනීයභාවයේ තියෙන අඩුකම හින්දයි. විශේෂයෙන්ම අභියෝගයක් භාරගන්න පුළුවන් කෙනෙක් රටේ නායකයා වෙන්න ඕන කියන එක අපි විශ්වාස කරන දෙයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රහස තමයි එතුමා සතු දැනුම. එතුමාගේ අවුරුදු 45ක කාලය තුළ ඇති පරිනතභාවය තුළ ලබාගත් දැනුම අනුව තමයි එතුමා ජනාධිපතිකම භාරගත්තේ. එතුමා භාරගත්තෙ විදේශ සංචිතවලින් හිඳුණු බංකොලොත් යැයි කියපු රටක්. ඒ ගැන රටවැසියන් හැටියට අපි කව්රුත් දන්න දෙයක්.

ඉදිරි අනාගතයේ දී මේ රට භාර දෙන්න ඕන ලකුණු දාගන්න අයටද වැඩ කරන අයටද? නැත්නම් කිසිම වාසි ප්‍රයෝජනයක් නොලබා පෞද්ගලිකව තමන්ගේ මුළු ජීවිතයම දේශපාලනයට යොදවා රටේ පුරවැසියන්ගේ අනාගතය වෙනුවෙන් කැපවුණු නායකයකුට ද කියා සිතන්න ඕන.

මාර්ගගත පනත ගැන විපක්‍ෂය විවිධාකාර අදහස් පළකර තියෙනවා අපි දැක්කා. පසුගිය කාලයේ විවිධ අසත්‍ය සමාජ මාධ්‍ය හරහා සමාජගත වෙනවා අපි දැක්කා. ආගම්වලට හා ජාතීන්වලට හානිවන ආකාරයේ ප්‍රකාශ සමාජ ගතවෙනවා දැක්කා. ඒ වගේම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිවන ආකාරයේ ප්‍රකාශ සමාජගත වෙනවා දැක්කා. මේ දේවල්වලින් රට හා පුරවැසියන් ආරක්ෂා කරගැනීම රජය සතු වගකීමක්. ඒ නිසා මේ රටේ සමාජ මාධ්‍ය තුළ යම්කිසි නියාමනයක් තියෙන්න ඕන.

advertistmentadvertistment
advertistmentadvertistment