සජිත්ගේ බඹරය දේශපාලන වැල්ලේ කැරකෙන අලුත් අවුරුද්දක්!

2556

වසරක් ගෙවී නව වසරක් උදාවිය. 2023 වසර නිම වී 2024 අලුත් අවුරුද්දක් ලෙස උදාවූයේ ශ්‍රී ලංකාවාසී සෑම සියලු කෙනකුගේම සිත් සතන් සුභවාදී සිතුම් පැතුම්වලින් පිරි සමාජ දේශපාලන සංස්කෘතික පසුබිමක නම් නොවීය.

ශ්‍රී ලංකාවාසී ලොකු කුඩා සෑම ජන කොට්ඨාසයකටම ඉතා දැඩි ලෙස බලපෑම් කළ ප්‍රශ්න ගණනාවක්ම තිබූ මොහොතක නව වසරක් උදාවිය. තම තමන්ගේ ආදායම් තත්ත්වය පහත වැටීම එක් අතකින් ජන ජීවිතයට මහ බලපෑමක් එක් කළ අතර ඒ බලපෑම වඩාත් තිව්‍ර සීමිත ආදායම් හා වත්කම් ප්‍රමාණයකින් අධික බඩු මිල හා බදු බර ජනතාවට දරාගත නොහැකි ආස්ථානයකට පත්ව තිබීම නිසාය.

කෙසේ වෙතත් තත්කාලීන දේශපාලන යථාර්ථය මත පදනම්ව බලනවිට ලැබුවා වූ නව වසර ඉතා සුවිශේෂී තීරණාත්මක එකක් වූයේ මෙම වසර මැතිවරණ වසරක් ලෙස බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබූ නිසාය. වසර අවසාන කාර්තුවේ නිසැක ලෙසම ජනාධිපතිවරණය පැවැත්විය යුතුව ඇත. ඒ හා සාපේක්ෂව ඊට පෙර හෝ පසුව මහ මැතිවරණයක් ද මේ රටේ පැවැත්විය යුතුය. බොහෝ දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය වූයේ එම මැතිවරණ දෙකම නිසැක ලෙස මේ වසර තුළ පැවැත්වෙනු ඇති බවයි. ජීවත්වීම අසීරු ප්‍රශ්නයක්ව ඇති මේ මොහොතේ ජනතාවගේ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණයක් ලැබීම එක් අතකින් බැලූ කල ජනතාවගේ චිත්ත පීඩාව හා චිත්තාවේගය පාලනය කරවන්නක් විය.

අලුත් අවුරුද්දේ සජිත්ට අවුරුදු තෑගි…

මේ වසර නිසැක ලෙසම මැතිවරණ වසරක් බව සනාථ කරමින් වසරේ ආරම්භක දිනයේම ලොකු දේශපාලන පෙරළියක පෙරමග ලකුණු පහළ වන්නට වූයේ රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය වෙත පිළිගත් දේශපාලන බලවේග කීපයකින් බලගතු දේශපාලන චරිත කීපයක් පැමිණීමත් සමගය. මෙසේ ජනවාරි පළවෙනිදා උදේ පාන්දර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත පැමිණ විශ්වාසය පළ කළ දේශපාලනඥයෝ අතර කැපී පෙනෙන්නට වූයේ ෂාන් විජයලාල් ද සිල්වා හා ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරු දෙදෙනාය.

ශාන් විජේලාල් ද සිල්වා යනු මුහුකුරා ගිය දේශපාලන දැනුමකින් හෙබි දකුණේ ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙකි. කිසිදා තම පක්ෂය හා මුල අමතක නොකළ අයෙකි. කලක් දකුණු පළාතේ මහ ඇමැතිවරයාවද සිටි ෂාන් විජයලාල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද බල කණුවකි. අම්බලන්ගොඩ ආසනය මුල් කරගෙන දේශපාලනයේ නිරත වූ ඔහු යම්කිසි මහජන පදනමක් නිසාද පළාතේ හොඳ දේශපාලන බලයක් හිමි දේශපාලනඥයකු ලෙස දේශපාලන කරළියේ සම්භාවනාවට ලක් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ලෙස තනතුරක් හොබවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේනගේ විශ්වාසවන්තම පුද්ගලයකු වූ ඔහු පසුගිය කාලයේ පක්ෂය බරපතළ අර්බුදවලට මුහුණ පාමින් සිටි අවස්ථාවේ නොසැලී සිටියේ නායකයා සිටි ස්ථාවරයේය. මෛත්‍රිපාල සිරිසේන දයාසිරි ජයසේකර හා ෂාන් හොඳ අවබෝධයක සිටියේය.

පසුගිය කාලයේ පක්ෂ නායකයා විසින් දයාසිරි ජයසේකරව මහලේකම් තනතුරෙන් ඉවත් කළ මොහොතේ බොහෝ දෙනා විශ්වාස කළේ ශාන් විජේලාල්ට එම තනතුර හිමිවනු ඇති බවය. මන්ද මෛත්‍රී ඇතැම් අවස්ථාවල විදේශගතවන විටදී පවා නායකයාගේ වගකීම් පවරා ගියේ ඔහුටය. එබැවින් නායකයා නිසැකවම මහලේකම් තනතුර ශාන්ට දෙනු ඇතැයි බොහෝ දෙනකු විශ්වාස කළේ ඔහු තුළ ඒ තනතුරට සුදුසුකම් ද රැසක් තිබූ නිසාය.

ඒත් පසුගිය දිනක නායකයා විසින් මහ ලේකම් තනතුරේ වැඩ බැලීමට දුෂ්‍යන්ත මිත්‍රපාල පත් කරනු ලැබීය. තතු දත් ආරංචි මාර්ග පවසන පරිදි ෂාන් පක්ෂයේ වැඩකටයුතු කෙරෙහි කලකිරෙන්නට පටන් ගන්නේ එතැන් සිටය.

ඒ වන විට සමගි ජනබලවේගයටද ගාල්ල දිස්ත්‍රික්කය සඳහා එක්තරා තීරණාත්මක ජන බලවේගයක උරුමයක් සහිත දේශපාලන නායකයකුගේ අවශ්‍යතාවය තදින් දැනී තිබිණ. එබැවින් ඊට ගාලු දිස්ත්‍රික්කයේ සිටින හොඳම සුදුස්සා ශාන් විජයලාල් ද සිල්වා හොඳම විකල්පය බවට යෝජනා විය. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එම කපුකම කිරීමේ කටයුත්ත භාර කළේ බන්දුලාල් බණ්ඩාරිගොඩ නම්වූ බද්දේගම ආසනයේ සංවිධායකවරයාටය. කලකට පෙර පළාත් සභා මන්ත්‍රීවරයකුව සිටින කාලයේ බන්දුලාල් මහ ඇමැති ෂාන් සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගෙන තිබිණි.

එම කපුකම භාරගෙන ටිකක් කල් වෙනවා යැයි බන්දුලාල් පැවසුවත් එය යථාර්ථයක් කර පෙන්වන්නට ඔහුට හැකි වූයේ 2024 වසරේ ජනවාරි පළවෙනි දාය.

මෙම දිනයේ සිදුවූ අනිත් කැපී පෙනෙන කාරණාව වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාද මෙම අවස්ථාවේ තම දේශපාලන සංක්‍රාන්තිය ගැන අදහසක් පළ කරන්නට ඉදිරිපත් වීමයි. දේශපාලන කරළියේ ඔහු ගැන විශ්වාස තබා සිටි ඇතැම් වමේ දේශපාලන බලවේග මවිතයට පත් කරමින් ඩිලාන් පසුගිය දිනක මහාචාර්ය ජී. එල්., නාලක ගොඩහේවා,’ චන්න ජයසුමන සහ ඩිලාන්’ සමගි ජනබලවේගය හා අත්වැල් බැඳගෙන සිටියහ. එදා ඒ සම්බන්ධයෙන් ඔහුට කියන්නට කාරණාවක් ද තිබිණි.

“අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග එකතු වුණේ අද ඊයේ නෙවෙයි. ඔබට මතක ඇති එදා මේ රටට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරන වෙලාවේ ඒ සඳහා ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ නම යෝජනා කළේ මහාචාර්ය ජී. එල්. පීරිස්ය. ඒ යෝජනාව ස්ථිර කළේ සජිත් ප්‍රේමදාස මැතිතුමා.” එසේ කියමින් ඔහු එවෙලේ පෙන්වා දුන්නේ මේ එකඟතාවය අලුත් එකක් නොවන බවකි.

ඩලස්ගේ ස්ථාවරය ඩිලාන් දැන සිටියාද…

එදා එසේ වචනයක් දෙකක් කියමින් මාධ්‍ය ඉදිරියේ ඇඟ බේරා ගන්නට ඩිලාන්ට හැකි වුවත් ඔහුව හඹාගෙන ආ සමාජ මාධ්‍යකරුවන්ගෙන් ගැළවෙන්නට ඔහුට නොහැකි විය. එක්තරා සමාජ මාධ්‍යයක් ඉදිරියේ ඔහු දුන් උත්තරයක් පසුදින යම් යම් වෙබ් අඩවිවල පළවිය. “ඩලස් අපිව පාවා දුන්නා, ඔහු තනිවම මාලිමාවට යාවි” යනුවෙන් එහි ශීර්ෂ පාඨය ලියැවී තිබිණි.

කෙසේ වෙතත් තමන් එක්වනවා නම් එක් විය යුත්තේ මාලිමාව සමඟ බව මීට මාස කීපයකට පෙර ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කර තිබුණේ ඩලස් නම් නොවේ. ඒ ද ඩිලාන්මය. ඒ වගත් මෙසේය…

වර්තමාන දේශපාලනයේදී මේ රට ගොඩගැනීමට නම් පාර්ලිමේන්තුවේ හුදෙකලා වූ දේශපාලන පක්ෂ කුමක් කළ යුතු යැයි කියා සාකච්ඡා කරන්නට පසුගිය දිනවල මාලිමාව හෙවත් ජාතික ජනබලවේගයත් නිදහස ජනතා සභාවත් අතර එක්තරා සාකච්ඡාවක් ඇති විය. ඒ සඳහා ඩලස්, ඩිලාන් ඇතුළු “නිදහසේ” නියෝජිතයෝ පස් දෙනෙක් අනුර කුමාර ඇතුළු කණ්ඩායම හමුවන්නට ගොස් සාකච්ඡා කර තිබිණි. ඔවුන් සාකච්ඡා කර තිබුණේ වැඩපිළිවෙළක් මත එකට එකතු වීම ගැන මිස පක්ෂ පක්ෂ අතර සන්ධානයක් ගැන නම් නොවීය.

නිදහස හා මාලිමාව අතර ඇතිවූ එම වර්ගයේම සාකච්ඡාවක් පසු කලෙක නිදහස හා සජබය අතරද පැවැත්විණි. මේ සෑම තැනකදීම ඔවුන් කතාබස් කර තිබුණේ කණ්ඩායම් ලෙස එකතු වීම කියන කාරණාවට වඩා වැඩපිළිවෙළක් මත එකඟ වීම යන කාරණාවයි.

මහාචාර්ය ජී. එල්. පීරිස්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන හා ඩිලාන් සමගි ජන බලවේගය හා අත්වැල් බැඳගෙන තිබුණේ එකී සාකච්ඡාව එසේ පැවැත්වෙමින් තිබෙන අතර වාරයේය.

කෙසේ වෙතත් අලුතෙන් ඇතිවූ වෙනස සම්බන්ධයෙනුත් ඩිලාන් ඩලස්ට කරන චෝදනා සම්බන්ධයෙනුත් අදහස් විමසන්නට මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් ඩලස්ට කතා කරන්නට උත්සාහ කළත් ඒ උත්සාහයන් වාර්ථ වූයේ මේ වන විට ඔහු බෝවන උණ රෝගයකට ගොදුරුව ප්‍රතිකාර ගනිමින් වෛද්‍ය උපදෙස් මත විවේකීව සිටින නිසාය. එය අතරේම පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ වෙනත් අයෙක්ද සිටියේය… සජබය සමඟ ගිව්සුම්ගත නොවූ නිදහසේ කණ්ඩායම වෙනුවෙන් ඔහු මෙසේ කීවේය.

“තනතුරු කේන්ද්‍ර කරගෙන පුද්ගලයන් සමග එකතු වීම මැතිවරණයක් ආසන්නයේ ඉතිහාසය පුරාම සිදු වෙච්ච අදේශපාලනික පිළිකුල් සහගත ක්‍රියාවලියක්.

නමුත් අපේ දේශපාලනය ගැටගැහිලා තියෙන්නේ වැඩපිළිවෙළක් මත මිසක් පුද්ගලයන් මත පදනම් වෙලා නෙවෙයි. මේ අද කෙරීගෙන යන, ජනතාවට අසීමිත ලෙස බදු ගහමින් ජනතාව පෙළන, රාජ්‍ය සම්පත් විකුණන, ජාතික සම්පත් විජාතිකකරණය කරන රට ණය කරවන ආර්ථික පිළිවෙත වෙනුවට විකල්ප සමාජ දේශපාලන ආර්ථික වැඩපිළිවෙළක් මත පදනම් වුණු විපක්ෂයේ පුළුල් සම්මුතියක් ඇති වැඩපිළිවෙළකට අපි යනවා. බොහෝ විට පෙබරවාරි මාසය වන විට ඔබලාට එය දැක බලා ගන්නට හැකි වේවි.”

කවුරුන් කෙසේ මොන මොනවා කීවත් අලුත් වසර ආරම්භයේ සිටම දිගින් දිගටම අපට දැකගත හැකි වූයේ විවිධ දේශපාලන බලවේග පැමිණ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා දේශපාලනිකව එකඟවන ආකාරයයි. බැලූ බැල්මට පෙනෙන්නට වූයේ නුදුරේ එන මහ ඡන්දයකට හෝ ජනාධිපතිවරණයකට සූදානම් වීමට සමගි ජනබලවේගය ඔවුන්ගේ බලවේග ඒකරාශී කිරීමේ ව්‍යාපෘතිය වේගවත් කර ඇති ආකාරයකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසර අවසානයේ දින කීපයක්ම ඉතා විවේකීව හා විනෝදයෙන් නුවරඑළියේ කල්ගත කළේ පවුලේ උදවිය හා සමීපතමයන්ද විටින් විට එක් රැස් කර ගනිමිනි. ඒ අතර ඔහු අනාගත දේශපාලන කරුණු කාරණා ගැන සාකච්ඡා කිරීමට ඇතැම් මැති ඇමැතිවරුන්ද පවුල් පිටින්ම නුවරඑළියට ගෙන්වා ගන්නට අමතක නොකළේය.

ඒ අයුරින් ශෙහාන් සේමසිංහට හා ප්‍රේමනාත් සී. දොළවත්තට ජනාධිපතිවරයා නුවරඑළියේ එන්නට ආරාධනා කළේය. සාකච්ඡාව තරුණ දේශපාලනය හා රටේ අනාගත ආර්ථික අභිවෘද්ධිය යන කරුණු කෙරෙහි යොමුවිය. ඒ හැරුණු විට පවුලේ අය සමඟ නුවරඑළියේ නිදහසේ කල්ගත කරන්නට කාලයක්ද ඔවුන්ට ලැබී තිබිණි.

මැතිනියගේ පිරිතට මහින්ද නාවේ ඇයි…

මේ අතර රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙක් පසුගිය අවුරුද්දේ අවසානය හා මේ අවුරුද්දේ ආරම්භය සනිටුහන් කරන්නට සුපුරුදු පරිදි කතරගමට ගොස් හිටියහ. එදින හවස කතරගම කිරිවෙහෙර අබියස ආලෝක පූජාව විවෘත කිරීමේ කටයුත්තට සහභාගි වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ උදවිය 31 වැනිදා රාත්‍රී දොළහට මහා දේවාලයේ පැවැත්වෙන විශේෂ අලුත් අවුරුදු පූජාවටද සහභාගි වන්නට පැමිණ සිටියහ.

එහෙත් රාජපක්ෂ පවුලේ කිසිවෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කාලාන්තරයක් තිස්සේ සංවිධානය කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයට සහභාගි වන්නට පැමිණ සිටියේ නැත… සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ආරම්භ කළ මෙම පිරිත් පින්කමට ආරම්භයේ සිටම ලංකාවේ සිටි හැම අවස්ථාවකම සහභාගි වන්නට මහින්ද රාජපක්ෂ අමතක නොකළේය. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ජගත් පුෂ්ප කුමාර, දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ සහභාගි වන මේ උත්සවයට මෙවර මහින්දලාට ආරාධනා කළේ නැතිදැයි බොහෝ දෙනා විමසා සිටියහ.

“මමනේ මේක සංවිධානය කළේ… වෙනදා වගේම මේ පාරත් මම හිටපු ජනාධිපතිතුමාට ආරාධනා කළා” අමරවීර කීවේය.

දින කීපයක නිවාඩුවක් ගත කිරීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ 31 වැනිදා දහවල් කොළඹට පැමිණියේය. කොළඹ පැමිණි මොහොතේ පටන්ම අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ පටන් ගත්තේය. 31 වැනිදා හවස එක්සත් ජාතික පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ඔවුන් එදා බොහෝවිට කතාබහ කළේ නිලධාරී මණ්ඩලය පත්වූවාට පසුව අලුතින් වැඩ ආරම්භ කිරීම හා පක්ෂයේ ඉදිරි ඉලක්ක කරා පක්ෂයේ වැඩකටයුතු සංවිධානය කිරීම ගැනයි.

වෙනත් රාජ්‍ය ආයතනවල මෙන්ම ජනාධිපති කාර්යාලයද සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් ජනවාරි පළවැනිදා වැඩ ආරම්භ කිරීමේ උත්සවයක් ජනාධිපති ලේකම් කාර්යාල සංවිධානය කර තිබුණි. බන්දුල ගුණවර්ධන ශෙහාන් සේමසිංහ, රන්ජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන ප්‍රමුඛ මැති ඇමැතිවරු කීප දෙනෙක්ද පැමිණ සිටියහ.

උත්සවයේ නිල වැඩකටයුතුවලින් අනතුරුව ආශු මාරසිංහ සමන් රත්නප්‍රිය, දිනිත් චින්තක ඇතුළු හිතවතුන් කිහිප දෙනෙක් ජනාධිපතිවරයා හමුවී සුහද කතාවක් ආරම්භ කළහ. මාතෘකාව අලුත් අවුරුද්දේ බදු හා බඩු මිල වැඩිවීම ගැනයි.

“මේ වෙලාවේ ජනතාව හුරේ දාන ජනප්‍රිය තීන්දු ගන්න මට බෑ.. මම ගන්නේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ගත යුතු තීන්දු විතරයි. මේගොල්ලෝ දැම්මට පලු යන්න බනීවි. හැබැයි අනාගතයේදී හොඳ කියාවි…” ජනාධිපති කීවේය.

ඉන් පසුව නිලධාරීන් පෙන්වා දුන්නේ මේ දුෂ්කර අවස්ථාව ගැන ජනතාව අතරට ගොස් ජනතාවට කරුණු පැහැදිලි කිරීමේ වැඩසටහනක් පටන්ගෙන ඇති බවකි.

“ජනතාවට බොරු සුරංගනා කතා කියන්නේ නැතුව ඇත්ත කියන්න ඕන. මේ වෙලාවේ මේ මාර්ගය හැරෙන්න වෙනත් මාර්ගයක් නෑ..” ජනාධිපති නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

හෙළිකොප්ටරයට පණදෙන්න ගොඩහේවා ඉඩදෙයිද…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන ශාන් විජේලාල් ද සිල්වා ඉවත්ව ගිය පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන තත්ත්වය අතිශයින් කනගාටුදායක විය. මන්ද ඒ වන විට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේනට තමන්ගේ විශ්වාසවන්තයන් කියා කිසිවකු නොමැති වීමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටීමෙන් ආණ්ඩුවේ ඇමැති ධුර දරන සියලුම දෙනා මේ වන විට වෙනම ස්ථාවරයක සිටිමින් ආණ්ඩුවේ කටයුතු කළහ. ඔවුන් එළඹෙන මහා ඡන්දයකදී හෝ ජනාධිපතිවරණයකදී පක්ෂයේ ස්ථාවරය කවරක් වුවත් නිසැකවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග වැඩ කරන බවට සැකයක් නොවූහ. ඇතැම් අය ඒ පිළිබඳව එළිපිටම අදහස් ප්‍රකාශ කර තිබිණි. එහි තේරුම අවශ්‍ය මොහොතක ඔවුන් පක්ෂය අතහැර එක්සත් ජාතික පක්ෂය හා සන්ධානගත වීමට සූදානමින් සිටින බවකි.

අනිත් පැත්තෙන් දයාසිරි තිලංග වැනි ක්‍රියාශීලී නායකයෝ කිසිවකු මෛත්‍රීපාල සමග එකඟතාවක් නොවීය. ඔවුන් දෙදෙනා ද පක්ෂයේ මතය කවරක් වුවද, රටට වඩාත් වාසිදායක සටන්කාමී කණ්ඩායම සමඟ සන්ධානගත වන්නට විපක්ෂයේ පුළුල් සන්ධානයක් බිහිකිරීමේ කාර්යභාරයට උරදෙන්නට සූදානමින්ය.

මේ අතර හෙළිකොප්ටරය හෙවත් නිදහස් ජනතා සන්ධානය යළි පණගන්වන්නටද යෝජනාවක් පැමිණියේය. එය වටා රොක් වූ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ කණ්ඩායම් ගණනාවක්ම මේ වන විට විසිර ගොස් හිටියත් යළිත් එබඳු සන්ධානයක් තුළින් එකමුතුවක් ඇති කළහොත් යම්කිසි වැඩපිළිවෙළක් මත සාමූහික ප්‍රයත්නය ගොඩනඟා ගැනීමට එකඟතාවක් ඇති කර ගත හැකි යැයි බොහෝ දෙනෙක් විශ්වාස කළහ. ඒ අනුව සමගි ජනබලවේගය සමඟ නොගිය නිදහස ජනතා පවුරේ ඩලස්ලා ඇතුළු පිරිස, විමල්, උදය, වාසු, රතන හිමි ඇතුළු කණ්ඩායම, කොමියුනිස්ට් සම සමාජ පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිලංග දයාසිරි පිල ආදී නොයෙකුත් කණ්ඩායම් වෙන වෙනම සාකච්ඡා කරමින් සිටියහ. එහෙත් මෙම කණ්ඩායමට එම ඡන්ද ලකුණින් කොතෙක් දුර යා හැකිදැයි ප්‍රශ්නයක් තිබුණි. මන්ද හෙළිකොප්ටරය නැමැති සන්ධානය බිහිකරන්නට මුල්වූ නිදහස් ජනතා පෙරමුණ නැමැති පක්ෂයේ නායකයා ආචාර්ය නාලක ගොඩහේවා වන නිසාය. නාලක ගොඩහේවා දැනටමත් සිටින්නේ සමගි ජනබලවේගය සමග බැවින් තමන්ගේ නායකත්වයෙන් පවතින නිදහස් ජනතා පෙරමුණ නැමැති පක්ෂයට වෙනත් මතයක් දැරීමට නිදහසක් දේවිද නැද්ද යන ප්‍රශ්නය මේ බොහෝ දෙනකුට තිබිණි.

ෂාන් විජේලාල් ද සිල්වා ප්‍රමුඛ ගාල්ලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලවේගය සමගි ජනබලවේගය හා එක්වීමෙන් පසු එදා දේශපාලන කරළිය ඇතුළාන්තයේ තවත් රසවත් සිදුවීම් රැසක් ද තිබිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනවාරි දෙවැනිදා කෝට්ටේ පක්ෂ කාර්යාලයේ වැඩ ආරම්භ කරන්නට සහභාගි වූයේය. පක්ෂයට අලුතෙන් එක් වූ ෂාන් විජේලාල් ඇතුළු කණ්ඩායමක් ද ඔහු සමග විය.

“ඔබතුමා විතරක් නෙවෙයිනේ… ඔබතුමා පස්සෙන් තව කණ්ඩායමක් මේ පැත්තට එනවනේ. ඊළඟට හෙට අනිත්දා එන්නේ කවුද…? මාධ්‍යවේදීන් එහිදී ෂාන්ගෙන් විමසා සිටියහ.

කෙසේ වෙතත් ෂාන් ඒ ගැන වැඩිය වචනයෙන් විස්තර කියවන්නට ගියේ නැත. ඉදිරියේදී බලාගත හැකිවනු ඇතැයි ඔහු උත්තර දුන්නේය.

මාධ්‍යවලට ලැබුණු පුවත සනාථ විය. හතරවෙනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයකු වන හිටපු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා සජිත් සමග අත්වැල් බැඳ ගැනීමට පැමිණියේය.

මේකත් මාස ගණනාවක් තිස්සේ සිද්ධ වෙච්ච ක්‍රියාන්විතයක ප්‍රතිඵලයක්. විපක්ෂ නායකතුමාගේ හොඳම යාළුවෙක් වන ලක්ෂ්මන් ෆොන්සේකා මැතිතුමා තමයි මුල් වුණේ. ඔස්ටේ්‍රලියාවේ ඉන්න රජිත ජයවික්‍රම මහත්තයා තමයි කපු කම කරලා දයාශ්‍රිත මැතිතුමාව අපේ පක්ෂයට සම්බන්ධ කළේ…” තතු දන්නා අය විස්තර කරන්නට වූහ.

ඉන් අනතුරුව ඔහුට ලබාදෙන පාර්ලිමේන්තු ආසනය කුමක්දැයි කියා ඇතුළාන්තයේ සාකච්ඡාවක් ඇති විය. පක්ෂ නායක සජිත් ගේ අදහස වූයේ ඒ පිළිබඳ නිරෝෂන් පෙරේරාගෙන් හා හෙක්ටර් අප්පුහාමගෙන් විමසා තීන්දුවක් ගත යුතු බවය. ඒ අනුව ඇතිවූ සාකච්ඡාවකින් අනතුරුව තම නාත්තණ්ඩිය ආසනය පක්ෂයේ උන්නතිය සලකා දයාශ්‍රිතට භාරදීමට චිත්‍රාල් ප්‍රනාන්දු මහතා කැමැත්ත දුන්නේය. ඒ අනුව දයාශ්‍රිත තිසේරාටද ආසන සංවිධායක කමක් හිමිවිය.

පළමුව ජනාධිපතිවරණය ලාන්සාගෙන් සහතිකයක්…

නිමල් ලංසාගේ අධීක්ෂණයෙන් මෙහෙයවුණු නව දේශපාලන සන්ධානයේ නව පක්ෂ කාර්යාලයද ජනවාරි පළවෙනිදා විවෘත විය. රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි පිහිටි මෙම කාර්යාලය විවෘත කළේ අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලංසා යන දෙදෙනා එක්වය. මෙම අවස්ථාවට පුස්තලම් දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතාද එක්ව සිටියේය.

මෙම අවස්ථාවට පක්ෂය සමග කටයුතු කරන වෘත්තීය සමිති 40ක පමණ නියෝජිතයෝ පිරිසක්ද අනුබද්ධිත ආයතන 20 ක නියෝජිත පිරිසක්ද පැමිණ සිටියහ. ඊට අමතරව කලාකරුවන්, වෘත්තීයවේදීන් හා හිටපු පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් ද පැමිණ සිටියහ.

පක්ෂ කාර්යාලයේ කටයුතු සුභ මොහොතින් ආරම්භ වූයේ කිරි ඉතිරවීමෙන් අනතුරුවය.

අනුර යාපා සහ නිමල් ලන්සා සහ පියංකර ජයරත්න මන්ත්‍රීවරුන් අතින් කිරි ඉතිරවීම සිදුවූහ.

මන්ත්‍රීවරුන් සභාව ඇමතීමෙන් පසුව කෙටි උත්සව සභාව අවසන් විය.

අනතුරුව පැමිණි සියලු දෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සූදානම් කර තිබුණි.

ඒ අතරවාරයේ මන්ත්‍රීවරුන් පැමිණ සිටි අමුත්තන් සමඟ සුහද කතාබහක නිරත විය.

“ඇමැතිතුමා, පොහොට්ටුව පටන් ගත්ත දවසේ ඉඳලා අපි ඒ පක්ෂය දිනවන්න දිවි හිමියෙන් වැඩ කළ මිනිස්සු. නමුත් ආණ්ඩු හැදුවට පස්සේ වෘත්තීය සමිති නායකයන්ට සැලකුව හැටි අපිට වඩා හොඳට ඔබතුමා දන්නවනේ. ඒ නිසා කවදාවත් ඒ දේ මෙතනටත් වෙන්න දෙන්න එපා” වෘත්තීය සමිති නායකයකු තේ කෝප්පයක රස බලන ගමන් ලන්සාට කීවේය.

“නෑ.. අපි එහෙම වෙන්න දෙන්නේ නෑ.. ඔබතුමාලා ඕනෑම කෙනකුට මේ කාර්යාලය අද ඉඳලා ඕනෑම වෙලාවක විවෘත්තයි. අපේ මන්ත්‍රීවරු කවුරු හෝ එක්කෙනෙක් හැමදාම මේ කාර්යාලයේ ඉස්සරහට ඉන්නවා. අපි

ගැටලුවලට එවෙලේම විසඳුම් දෙනවා. ඒක තමයි අපේ කණ්ඩායමේ වෙනස” ලන්සා පැහැදිලි කළේය.

“කොහොමද ඇමැතිතුමා.. ඔබතුමාලා මොනවා කිව්වත් ආයෙත් රාජපක්ෂවරුන්ට වගේ කඩේ යන දේශපාලනයක් කරනවානම් අපි නෑ ඇමැතිතුමා” ජනප්‍රිය කලාකරුවකු අනුර දෙස බලමින් කීවේය.

“නෑ නෑ කිසි දේකට බයවෙන්න එපා.. අපි කරන්නේ ජනතවට නායකත්වය දෙන එක, එහෙම නැතුව නායකත්ව වන්දනාවේ ගිය යුගය දැන් ඉවරයි, ජනතාවට ඒ දේශපාලනය එපා වුණ නිසා තමයි ගෝඨාභය මහත්තයට පස්සේ දොරෙන් යන්න වුණේ” අනුර යාපා කීවේය.

පැමිණ සිටි වෘත්තීය සමිති නායකයන් පිරිසද ලන්සා වටකර ගනිමින් ඉදිරි දේශපාලන කටයුතු ගැන විමසන්නට වූයේ ලන්සා මන්ත්‍රීවරයා ජනාධිපතිතුමාට සමීපව කටයුතු කරන නිසාය.

“මන්ත්‍රීතුමා හැමෝම කියනවා පාර්ලිමේන්තුව විසුරුවන්න හදනවා කියල. ඒ කතාවේ ඇත්තක් තියනවද” හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ලන්සාගෙන් විමසීය.

“නෑ නෑ ඉස්සරවෙලාම එන්නේ ජනාධිපතිවරණය. ජනාධිපතිතුමා ඒකට සූදානම් වෙලා ඉන්නේ” ලන්සා කීවේය.

සුපුරුදු පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ හමුව මෙම අවුරුද්දේද පැවැත්වීය. ඒ මලලසේකර මාවතේ පිහිටි නාමල් රාජපක්ෂගේ නිවසේදීය. මෙම රැස්වීමට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ද සහභාගි වී තිබිණි.

මුලින්ම මෙවර කතා කළේ එස්.එම්. චන්ද්‍රසේන හිටපු අමාත්‍යවරයා මුහුණ දුන් සිද්ධිය පිළිබඳවය. අපෝ බලපුවාම ඒක ලොකු සෙටප් එකක් කියලා පේනවා. කොහොමත් සියයට තුනේ පක්ෂෙට කරන්න පුළුවන් ඔයවගේ වැඩ කරන්න විතරයි. එසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකි. ඔව් ඔව් ඒක ඇත්ත මම බැලුවම ඕක මුලින්ම දාල තිබ්බෙ ඔය සියයට තුනේ පක්ෂයේ පේජ් එකක මන්ත්‍රීවරයකු පැවසුවේ සිනාසෙමිනි. මම බැලුවා මේකෙ ශෙයාර් එහෙම එච්චර

ගිහිල්ලත් නිතරම මුහුණු පොතේ ඉන්න ජ්‍යෙෂ්ඨයකු පැවසීය. ඔව් ඔව් මඩ බළකායට පඩි අනුර ගෙවලා නැතිව ඇති නාමල් කීවේ සිනාසෙමිනි. මේ වගේ වැඩ සංවිධානාත්මකව කරන එක වළක්වන්න සූදානම් වෙලා ඉමු, පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් එක හඬින් පැවසීය. මට විපක්ෂයේ කිහිපදෙනකුම පෞද්ගලිකව මුණ ගැහුණා. ඒ අය කියන්නේ ජවිපෙ දැන් ඡන්දය දිනනවා කියලා හිතාගෙන ඉන්නෙ නමුත් බිමේ තත්ත්වෙ ඒක නෙවෙයි. හැබැයි ජවිපෙ පරාජය වුණ ගමන් කලින් තිබ්බටත් වඩා පක්ෂය පල්ලෙහාට වැටෙනවා කියලා ඔන්න ඕක තමයි තත්ත්වෙ නාමල් පැහැදිලි කර දුන්නේය.

මෙම රැස්වීමට මෙවර බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරන නිලධාරීන් රැසක්ම සහභාගි වී සිටි අතර ඉදිරි සතියේද ඔවුන් ගෙන්වා ආර්ථිකය හා බැංකු ක්ෂේත්‍රය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට තීරණය කෙරිණි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment