රැම්සා තෙත්බිමක අසිරිය

විල්ලු මැදින් විල්පත්තුවේ සුන්දරත්වය සොයා යමු

විල්පත්තුව අපේ රටේ ඇති ප්‍රධාන පෙළේ වනෝද්‍යානයකි. එය දෙවෙනි වන්නේ යාල ජාතික උද්‍යානයට පමණි. සැබැවින්ම විල්පත්තුව සහ යාල යනු නිවුන් සහෝදරයන් දෙදෙනෙකි. අප එසේ කියන්නේ මේ දෙදෙනාම උපන්නේ එකම දිනක බැවිනි. එනම් වන ජීවී ආඥා පනත (වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත) බලාත්මක කරන ලද දිනයේ පටන් එම පනත මගින් ප්‍රකාශයට පත්කරන ලද මෙරට පළමු ජාතික උද්‍යාන යුගලය වන්නේ යාල හා විල්පත්තුවයි.

එනමුත් මීට පෙර අප සංචාරේ මගින් කතා කළ පරිදි තෙත් බිම් වටිනාකම සහිත මෙරට “රැම්සා” ජාත්‍යන්තර තෙත් බිම් අතරට එක්වන විල්පත්තුව යාල අභිබවා ජාත්‍යන්තරයට යන්නේ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් තෙත්බිමක් ලෙසිනි. නමින්ම හඳුන්වන පරිදි විල්ලු වලින් පිරි පත්තුවක් වන මෙහි පවතින ලොකු කුඩා විල්ලු, ලවණ වගුරු යනාදිය නිසා අතිශය ජනප්‍රිය තෙත් බිමක් ලෙස ප්‍රකට වන මෙහි ජලාශ්‍රිත සහ ජලජ ජෛව විවිධත්වයද ඉහළය. එමෙන්ම වන සතුන්ට හා මිනිස් ප්‍රජාවට මෙමගින් සැලසෙන සේවය සලකා විල්පත්තුව ජාත්‍යන්තර “රැම්සා” තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, අද අප සලකා බලන්නේ එසේ රැම්සා තෙත් බිමක් ලෙස විල්පත්තුවේ පවතින වටිනාකම්ය. එනිසා අපගේ “සංචාරේ” මෙවර විල්පත්තුවට සිදුකෙරෙන බැවින් එහි අසිරිය සොයා යන්නට ඔබත් එක්වීම වැදගත්ය.

බුන්දල, ආනවිලුන්දාව, මාදුගඟ, වන්කාලේ, කුමන තෙත් බිම්වලින් පසු ශ්‍රී ලංකාවේ 6 වැනි රැම්සා තෙත්බිම ලෙස 2013 දී ප්‍රකාශයට පත්කරන ලද විල්පත්තුව ශ්‍රී ලංකාවේ පවතින විශාලත්වයෙන් වැඩිම වන සත්ත්ව අභය භූමියද වේ. මෙහි විශාලත්වය අක්කර ලක්ෂ තුනකට වැඩිය.

සැබැවින්ම විල්පත්තුව ප්‍රකටව ඇත්තේ එහි පවතින විල්ලු නිසාය. මෙහි පවතින ලොකු කුඩා විල්ලු ප්‍රමාණය 40 කට වැඩිය. එහි ප්‍රධාන විල්ලු 27 ක් පමණ ඇත. විශාලම විල්ලුව ඇත්තේ පුත්තලම-මන්නාරම උද්‍යාන මාර්ගයට ආසන්නවය. එය පෙරිය විල්ලුවයි.

මෙම විල්ලු පරිසරය තම නිවහන හා ආහාර බිම් බවට පත්කරගෙන දිවි ගෙවන වන සතුන් අතරින් ප්‍රමුඛතාව ගනු ලබන්නේ ජලාශ්‍රිත කුරුල්ලන්ය. මේ එළැඹ ඇත්තේ වෙනත් ශීත රටවල සිට මෙරටට පැමිණෙන සංචාරක නොහොත් පර්යටනික කුරුල්ලන්ගේ වාරය බැවින් මේ දිනවල විල්පත්තුව තෙත්බිම් කලාපය එවැනි කුරුල්ලන්ට පාරාදීසයක් බවට පත්ව ඇත. එසේ හෙයින් කුරුල්ලන් නැරඹීමට කැමැති උදවියට මේ දිනවල විල්පත්තුවේ සංචාරය කිරීම හැම අතින්ම වාසිදායකය.

එසේම, කිඹුලන්ගේ ඉතා ඉහළ ගහනයක් විල්පත්තුවෙන් වාර්තා වන බැවින් මෙම විල් හා දිය පොකුණු ආශ්‍රිතව කිඹුලන් හොඳින් දැකගත හැකිය. මුවන් රංචු, ගෝනුන් පමණක් නොව, විල්පත්තුව ප්‍රකට කර ඇති “කොටියා” දැකගන්නටද විල්පත්තුවේ මේ විල්ලු පරිසර පද්ධති ඉතා වැදගත්ය. එනිසාම වැඩි වශයෙන් වනබද ජාතික උද්‍යානයක් වන යාල නිවුන් ජාතික උද්‍යානයට වඩා විල්පත්තුව උද්‍යානය භූමි හැඩතලය අතින් වෙනමම දර්ශන තලයක් හිමි වනෝද්‍යානයකි, නොහොත් අභයභූමියකි. එසේත් නැතිනම් වෙනමම තෙත්බිමක් යැයි කීවද වරදක් නැත. එනමුත් විල්පත්තුවේ වනාන්තර සහිත කොටසක්ද අයත් වේ. මෙහි තුරුවදුල යටින් හා අතරින් වැටී ඇති මාර්ග පද්ධතිය ඉතා අලංකාරය. විල්ලු, තණපිටි, වැලිතලා, වන වදුලු, යනාදී විෂම පරිසර කලාපවලින් යුත්, විල්පත්තුව දුටුවන් මන බන්දන වනෝද්‍යානයකි.

මෙවන් අසිරියක් සොයා මෙවර අපි විල්පත්තුවේ සංචාරයක නිරත වන අතර, විල්පත්තුවේ නවාතැන් ගැනීම, සංචාරක පහසුකම්, සෆාරි ජීප් රථ සේවා යනාදිය ගැනද කතා කළ යුතුව ඇත. උද්‍යානය තුළ සංචාරක නිවහන් 6 ක් පමණ ඇති බැවින් බත්තරමුල්ල-ජයන්තිපුර පිහිටි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් මෙම වන නිවහන් කලින් වෙන්කරවාගත හැකිය. විල්පත්තුවේ පිහිටි වන නිවහන් අතරින් “කොක්මොටේ” බංගලාවට හිමිවන්නේ ඉහළ සංචාරක අකර්ෂණයකි. ඒ එම නිවහන දැවයෙන් තනා, ආකර්ෂණීය ගෘහ නිර්මාණ කලාවකින් නිමකර ඇති නිසාය.

විල්පත්තුව ජාතික උද්‍යානයට ප්‍රධාන ප්‍රවේශ දොරටු දෙකක් ඇත. එනම්, උද්‍යාන මූලස්ථානය පිහිටි හුණුවිලගම දොරටුව හා පුත්තලම-මන්නාරම් පාර පැත්තෙන් ඇති එළුවන්කුලම (කලාඔය) පිවිසුම වශයෙනි. එසේම, මන්නාරම-සීලාවතුර-අරිප්පු ඔස්සේ වැටී මාර්ගයෙන් (උතුරු දෙසින්) මෝදරගම් ආරු ඔස්සේ උද්‍යානයට පැමිණීමටද ප්‍රවේශ මාර්ගයක් ඇත. ඒ ඔස්සේ පැමිණ විල්පත්තුවේ සුප්‍රකට කුදිරමලේ තුඩුව හා ඉපැරණි පාෂාණ සහිත කලාපයට ළඟාවිය හැකිය. මුහුදු ඉමේ අඩි 50-60 ක් ඉහළ වේදිකාවක් වැනි භූමියක පිහිටි කුදිරමලේට ගියවිට ඍජුවම බටහිර මුහුදේ ක්ෂිතිජ ඉමේ සුපරික්ෂාවෙන් බැලුවහොත් සුප්‍රකට “බත්තලංගුණ්ඩුව” දූපත් සමූහය දැක බලාගත හැකිය. එනම් බත්තලංගුණ්ඩුව, සින්නගුණ්ඩුව හා පල්ලියවත්ත දූපත් පේළිය මෙහි සිට දැකබලාගත හැකිය.

විල්ලු මැදින් විල්පත්තුවේ සුන්දරත්වය සොයා යමු

කුදිරමලේ අතිශය අලංකාර ස්ථානයකි. මෙහි සිට මුහුදේ අතිශය පළල් ප්‍රදේශයක් දැකබලාගන්නට හැකි අතර, නැගෙනහිර, උතුරු හා දකුණු දෙසින් විපත්තු වනයේ වියන් ස්ථරය බලාගන්නටද සුදුසු සැබෑම වේදිකාවකි. මෙහි තැන තැන පවතින තඹ වර්ණයෙන් යුත් වැලි කඳු මගින් නිරූපණය කෙරෙන්නේ අතීත දවසක මෙරටට ගොඩ බැස්සේ යැයි කියන “විජය” කුමාරයා “තම්බපන්ණිය” මෙය බවය. එසේම ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පාෂාණ පිහිටීමක් දැක බලාගන්නට කුදිරමලය ඉතා හොඳ තැනකි.

ඒ හැරෙන්නට විල්ලු පරිසරය අවට සැරිසැරීමෙන් ඉතා හොඳ ජෛව විවිධත්වයක් අපට අත්විඳිය හැකිය. මෙවර විල්පත්තු සංචාරයෙන් අප බලාපොරොත්තු වූයේ එවැනි විසිතුරු අත්විඳීමය.

ශ්‍රී ලංකාවේ දිවිගෙවන සියලුම ලොකු කුඩා ක්ෂීරපායින් පාහේ මෙහිදී දැක බලාගැනීමට හැකිවීමද විල්පත්තුවේ විශේෂත්වයකි. එනම්, උද්‍යානයේ පෙරියවිල්ලුව පිහිටා ඇති ප්‍රදේශයේ වැඩි වශයෙන් වන අලින් දිවිගෙවනු දැකගත හැකිය. තබ්බෝව අභයභූමිය දෙසින් විල්පත්තුවට එන අලි-ඇතුන් වැඩි වශයෙන් දිවි ගෙවන්නේ මෙම කලාපයේය. විල්ලු ආශ්‍රිතව මෙන්ම, හුණුවිලගම දෙස සිට උද්‍යානයට පිවිසෙන මාර්ගය දෙපස කොටියන් (ශ්‍රී ලංකානු දිවියන්) දැක බලාගන්නට හැකිය. එසේම, වළසුන් දැකගන්නටද විල්පත්තුව ඉතා හොඳ තෝතැන්නකි. කුළු හරක්, මුවන්, ගෝනුන් ඇති පදම් උද්‍යානය තුළදී දැකගන්නට හැකි බව මෙවර “සංචාරේ” දී අප අත් දුටු කාරණාය.

මෙවන් අසිරිය මැදින් විල්පත්තුවේ ගත කළ දින දෙකක කාලය නිමවූ අතර, වනෝද්‍යානයේ පහස ඉතා හොඳින් අපට විඳ ගන්නට හැකි විය. විශේෂයෙන්ම පෙබරවාරි මස දෙවෙනි දාට (02) යෙදෙන ජාත්‍යන්තර තෙත්බිම් දිනයද සිහිපත් කරමින් මේ දිනවල තෙත්බිම් චාරිකාවක නිරත සංචාරේ අපි ශ්‍රී ලංකාවේ දෙවෙනි රැම්සා තෙත්බිම් චාරිකාව ලෙස මෙසේ විල්පත්තුවට පැමිණියේ මෙහි සුන්දරත්වය විඳ, මීළඟට තවත් රැම්සා තෙත්බිමක චාරිකාවකට එක්වීමේ අරමුණ ඇතිවය.

සැරිසර – ජගත් කණහැරආරච්චි
ඡායාරූප – වාසල සේනාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment