අලුතින් ගේන්න හදන ත්‍රස්ත පනතේ භයානකකම නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට කියති!

ජනතාව බේරා දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

ත්‍රස්ත විරෝධී පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය පසුගිය සතියක් තිස්සේ පැවැත්වුණේ, නීතිඥවරුන්ගේ තියුණු තර්ක ගණනාවක් අධිකරණය ඉදිරියේ මතු කරමිනි. ශ්‍රී ලංකාව නිදහස් දිනය සමරන්නට සූදානම් වන මොහොතේ, මේ පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණයේදී නිරාවරණය වූ කරුණු බොහොමයකින් පෙනී යන්නේ සාමාන්‍ය ජනතාව ‘ත්‍රස්ත සැකකරුවන්’ කරමින් පුද්ගල නිදහස සම්පූර්ණයෙන් සීමා කර දැමීමට රජය ගන්නා උත්සාහයයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඒ.එච්.එම්.ඩී. නවාස්, විජිත් මලල්ගොඩ, අර්ජුන ඔබේසේකර සහ ශිරාන් ගුණරත්න මෙම පෙත්සම් විමර්ශනය සඳහා අයත් වන පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජිකයන්ය.

මෙම සටහන සකසා ඇත්තේ, ජනවාරි 26 සිට පෙබරවාරි 02 දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කරන ලද පෙත්සම් 38ක් වෙනුවෙන් නීතිඥවරුන් ඉදිරිපත් කළ වාචික සහ ලිඛිත කරුණු දැක්වීම් ඇසුරෙනි.

ත්‍රස්ත පනත් ඉතිහාසය

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ නීතිඥවරුන් බොහෝ දෙනකු මතු කළ ඉතාම වැදගත් කාරණය වුණේ, දැනටමත් පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කුමන කරුණක් සඳහන් වුණත්, ඒ තිබුණ පමණින් ඒ වගන්ති පවා අලුත් නීතියකට සරල බහුතරයකින් ඇතුළත් කළ නොහැකි බවයි. එයට හේතුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත බිහි වූ සන්දර්භයයි. මේ සන්දර්භයේ ස්වභාවය විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්ද තමන්ගේ ප්‍රශ්න විමසීම්වලදී මතු කරනු දක්නට ලැබිණ.

1979 ජුලි මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත හඳුන්වාදෙන විට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එය මාස හයක පමණ කාලයකට හඳුන්වාදෙන තාවකාලික පනතක් බව සඳහන් කළේය.

ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු මතු කළේ මෙලෙසය. ‘ත්‍රස්ත විරෝධී නීතියක ඉතිහාසය වැදගත්. පනතක් පිළිබඳ විශේෂ මතය ප්‍රකාශ කිරීමක් උදෙසා වන නඩුවකදී, කලින් නීතියක් තිබීමම එම නීතිය ව්‍යවස්ථානුකූල බව කීමට පාවිච්චි කළ නොහැකියි. එමෙන්ම, 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ගෙන එන විට ප්‍රකාශ කළා, එය තාවකාලික පනතක් බවත්, හදිසි ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් ගෙන එන බවත්, එම පනත තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත කරන බවත්.’

විනිසුරු නවාස් අවස්ථා දෙකකදී සිහිපත් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත 1979 දී සම්මත වූ අවස්ථාවේ, මාස හයකින් ත්‍රස්තවාදය ‘මුලිනුපුටා දමන’ බව කියමින් හමුදා නායකයකු උතුරට යැවූ සිදුවීමයි. අධිකරණයේදී නම නොකියැවුණත්, මෙම සිදුවීම වන්නේ, ත්‍රස්තවාදය මාස හයකින් මුලිනුපුටා දමන්නෙමැයි කියමින් බ්‍රිගේඩියර් තිස්ස වීරතුංගව උතුරට යැවීමත්, විශේෂ හමුදා මෙහෙයුම් ත්‍රස්තවාදය මර්දනයට යැයි ක්‍රියාත්මක කිරීමත්ය. එයින් උතුරේ සන්නද්ධ දේශපාලනය තවත් තියුණු කෙරුණා මිස දුර්වල කෙරුණේ නැත. බොහෝ අය කොටි සංවිධානයට බැඳුණේ මෙම පනත අවභාවිත කළ ආකාරය ගැන කලකිරීමෙනි.

එම තාවකාලික පනත දශක හතරක් ක්‍රියාත්මක වූ පසු, අධිකරණයට පිටින් ක්‍රියා කිරීම සඳහා බලය දීමේ ආදීනව රට හමුවේ ඇතැයි නීතිඥවරුන් සිදුවීම් ඇසුරෙන් පෙන්වා දුන්නේය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඒ පිළිබඳ මෙසේ ප්‍රකාශ කර තිබුණි.

‘අද මෙම පනත් කෙටුම්පත හඳුන්වා දෙන්නේ රික්තයක් තුළ නෙවෙයි. සන්දර්භයක් තුළ’ මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත මෙන්ම, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත පවා රාජ්‍යය විසින් අවභාවිත කර තිබෙනවා.

මෙම පනත යටතේ සිදු වීමට ඉඩ තිබෙන හැකි දේවල් පිළිබඳ අවධානය යොමු කිරීමේදී නීතිමය චින්තන පර්ෂද දෙකකින් අපට කරුණු ලබාගත හැකියි. එකක් වන්නේ 1997 ශ්‍රී ලංකා විකාශන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව.

‘යම් දේවල් සිදු නොවිය හැකියි, එහෙත් සිදු වීමටත් ඉඩ තිබෙනවා මන්ද යත්, ඒ ක්‍රියාවන් සඳහා අනුමැතිය (පනත් කෙටුම්පතෙන්) සපයා ඇති බැවින්. නැවැත්විය යුතු වරද වන්නේ, එසේ සිදු වීමට ඉඩ තිබෙන දේවල්ය.’ යන අදහස එම තීන්දුවේ සඳහන් වෙනවා.

එහෙත් එම තීන්දුවට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වෙනස් වූ ස්ථාවරයන් ගෙන තිබෙනවා.

‘පැහැදිලි වෙනසක් සිහිතබාගත යුතුය. එනම්, නීතිය සහ නීතිය ක්‍රියාවට නැංවීම අතර වෙනසය. අසාධාරණ ලෙස ක්‍රියාවට නංවනු ඇතැයි බියක් පවතින නිසා, නීතියක් අසාධාරණ ලෙස සඳහන් කරමින් ඉවත් කර නොහැක. එම නීතියෙන් ලැබෙන බලය අවභාවිත කිරීමට ඇති හුදු ඉඩකඩක් පමණක් යම් නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කිරීමට ප්‍රමාණවත් නොවේ’ යන අදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි සංශෝධනය පිළිබඳ ලබා දුන් තීන්දුවේ සඳහන් වෙනවා.

යම් නීතියකින් ලැබෙන බලය අවභාවිත කිරීමට ඇති ඉඩකඩ පරීක්ෂාවට ලක් කිරීමේදී, අපි එම තීන්දු දෙකෙන් කුමක් අනුව සලකා බැලුවත්, මෙම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත බලය අවභාවිත කිරීමට යොදාගත හැකි බව පෙන්වාදිය හැකියි. මෙරට මූලික අයිතිවාසිකම් නඩු ගණනාවක්, තව බොහෝ නඩු අයැදුම්පත් ගණනාවක් විසින් ත්‍රස්ත විරෝධී පනත තුළින් බලය අවභාවිත කිරීමේ හැකියාව ගැන මනාව තහවුරු කරනවා. එය බලය අවභාවිත කරන්නට ඇති හුදු ඉඩකඩක් පමණක් නොව, සැබෑ ලෙසම සිදුවිය හැකි අවභාවිතයක් බව මනාව තහවුරු කරන්නට කරුණු තිබෙනවා.

සුභසාධක ප්‍රතිලාභ පනත් කෙටුම්පතේ සඳහන් වෙනවා යම් පනතකින් බලය අවභාවිත වීමට ඇති ඉඩකඩ පිළිබඳ ආරක්ෂණයන් තිබීමේ වැදගත්කම. මා කියා සිටින්නේ, මෙම පනත තුළ එවැනි ආරක්ෂණයන් නොමැති බව.’

ත්‍රස්තවාදයට ත්‍රස්තය අවශ්‍යයි

මෙම පනත පිළිබඳ තර්ක කිරීමේදී බොහෝ අය එහි තුන්වැනි වගන්තිය, එනම් ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය අභියෝගයට ලක් කළේය.

ත්‍රස්තවාදය පිළිබඳ අර්ථකථනය ඇත්තේ පනතේ තුන්වැනි වගන්තියේයි.

එහෙත් පනතේ තුන්වැනි වගන්තිය අපැහැදිලි, සීමාව ඉක්මවා යන, හිතුවක්කාර ලෙස ක්‍රියාත්මක කළ හැකි, අත්තනෝමතික එකක් බවය. වෙනත් අපරාධ නීතිවලින් දඬුවම් කළ හැකි වැරදි පවා, මෙම පනතේ අර්ථකථනයට ඇතුළත් කළ හැකිව තිබෙන බව නීතිඥවරුන් තර්ක කළේය.

ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න සහ නීතිඥ අර්මිසා ටීගල් ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් නිර්දේශ ගැන අදහස් දැක්වීය. අර්මිසා ටීගල් පෙන්වා දුන්නේ යම් ක්‍රියාවක් හුදෙක් සාමාන්‍ය අපරාධයක් නොවී, ත්‍රස්ත ක්‍රියාවක් වීමට නම් සම්පූර්ණ කළ යුතු කරුණු තුනක් ඇති බවයි. එමෙන්ම, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පෙන්වා දුන්නේ ත්‍රස්තවාදය පවතින්නට නම්, ‘ත්‍රස්තය’ පැවතිය යුතු බවයි. ත්‍රස්ත කිරීමක් නොමැතිව ත්‍රස්තවාදයක් පැවතිය නොහැකි බවයි.

ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය කළ නොහැකි සුළු වැරදිවලට පවා පනතේ 4 වැනි වගන්තියෙන් දඬුවම් කිරීමේ හැකියාව ලබා දී තිබෙන නිසා නීතිය අයුක්තිසහගත සහ අසාධාරණ ලෙසින් ක්‍රියාවේ යෙදවිය හැකි බවත් නීතිඥවරුන් තර්ක කළේය. ඒ අතර ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ රුෂ්ඩි හබීබ්, නීතිඥ ශාන්ත ජයවර්ධන වැනි අය වූහ.

ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න පෙන්වා දුන්නේ, මෙම පනතේ අර්ථකථනය අනුව නෙල්සන් මැන්ඩෙලා පවා ත්‍රස්තවාදියකු විය හැකි බවයි. එමෙන්ම, මෙම පනත සම්මත වුවහොත් සියලුම සෞඛ්‍ය වර්ජන ත්‍රස්ත ක්‍රියා වනු ඇති බව ඔහු කීය.

එමෙන්ම, නීතිඥ අර්මිසා ටීගල් පෙන්වා දුන්නේ, මෙම නීතිය මගින් එකිනෙකට සමාන්තර අපරාධ නීති පද්ධති දෙකක් හඳුන්වාදෙන බවයි. එම කරුණ මත පදනම්ව නීතිඥ ස්වස්තිකා අරුලිංගම් වැඩිදුර කරුණු දැක්වූ අතර, නීතිඥ හෙජාස් හිස්බුල්ලා කීවේ, එලෙස නීති පද්ධති දෙකක් එකවර පැවතීම නිසා කුමන නීතිය පාවිච්චි කරන්නේද යන අයිතිය විමර්ශන නිලධාරියාට හිමිවන බවත්, එය අධිකරණමය බලයක් බවත්ය.;

‘යම් නීතියක් අපැහැදිලි, විෂය පථය ඉක්මවන, අවිෂද (පුරවැසියාට නීතියෙන් ස්ථාපිත වන වරද හරිහැටි අවබෝධ නොවන) එකක් වන්නේ නම්, එහි වාසිය ඇත්තේ වරදකරුවන්ට පමණයි.’ කියා නීතිඥ නුවන් බෝපගේ ප්‍රකාශ කළේ, ත්‍රස්තවාදය පිළිබඳ වැරදි අර්ථකථනයකින් වාසිය සැලසෙන්නේ ත්‍රස්තවාදීන්ටම බව පෙන්වා දෙමිනි.

ශාන්ත ජයවර්ධන නීතිඥවරයා, මෙම නීතිය අවභාවිත කළ හැකි තරම පෙන්වා දෙමින් අසූ ගණන්වලදී පාසලක විදුහල්පතිවරයකුගේ දියණියට ලිපියක් ලීමෙන් පසු එම විදුහල්පතිවරයාගේ ඥාති ආරක්ෂක අංශ සාමාජිකයකු ලවා වධහිංසා කිරීමේ සිදුවීමක් සිහිපත් කළේය. ත්‍රස්ත පනත යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ නිර්දේශ මත ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා රැඳවුම් නියෝග නිකුත් කරන අතර අනාගතයේ ඩීඅයිජී කෙනකුගේ දියණියකට පෙම් බඳින කෙනකුට පවා ත්‍රස්ත චෝදනා එල්ලවීමේ අවදානමක් ඇතැයි එම නීතිඥවරයා අවධාරණය කළේ, ඒ තරම් මෙම පනත අවභාවිත කළ හැකි බව කියමින්ය.

එම කරුණ ඉදිරියට ගෙනයමින් නීතිඥ හෙජාස් හිස්බුල්ලා කීවේ, ඩීඅයිජී කෙනකුගේ දියණියක නොව පොලිසියේ, හමුදාවේ හෝ වෙරළාරක්ෂක අංශයක ඕනෑම සාමාජිකයකුගේ දියණියකට පෙම් බැන්දොත් ත්‍රස්තවාදියකු වීමේ ඉඩ ඇති බවය.

නීතිඥ නුවන් බෝපගේ වැඩිදුරටත් මෙසේ කීය. ‘ත්‍රස්ත ක්‍රියා පමණක් නෙවෙයි, මේ පනතෙහි නිර්වචනය වන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම පවා වැරදි ලෙස සඳහන් කරනවා.

මුද්‍රිත, අන්තර්ජාල, ඉලෙක්ට්‍රොනික සහ අනෙකුත් මාධ්‍ය ඉලක්ක කරනවා.’

නීතිඥ ස්වස්තිකා අරුලිංගම් පෙන්වා දුන්නේ, තොරතුරු එකතු කිරීම පවා මෙම පනත යටතේ වරදක් විය හැකි බවය.

‘පනතේ 9 වැනි වගන්තිය අනුව තොරතුරු රැස් කිරීම වරදක් ලෙස සඳහන් කරනවා. එය 10.1

වගන්තිය සමග කියවූ විට මුද්‍රිත මාධ්‍ය, අන්තර්ජාලය, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හෝ වෙනත් ආකාරයක ප්‍රසිද්ධ මාධ්‍ය ඇතුළත් වෙනවා. ඊට අමතරව පනතේ පැහැදිලිව විස්තර කර නොමැති ත්‍රස්තවාදය නම් වූ වරද සිදු කරන හෝ එය උත්කර්ෂයට නංවන ආදී වශයෙන් වැරදි නම් කරලා තියෙනවා.

ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය අපැහැදිලියි. රාජ්‍යය විසින් ඇතැම් විප්ලවීය ක්‍රියාමාර්ග නිත්‍යානුකූල ලෙස පිළිගත යුතුයැයි මා සිතන්නේ නෑ. එහෙත්, අදහස් ප්‍රකාශනයේදී කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් වැනි කෘතියක් ගැන කරුණු දැක්වීමත් ත්‍රස්තවාදී ප්‍රකාශනයක් ලෙස කල්පනා කිරීමට ඉඩ තිබෙනවා.’

රැඳවුම් නියෝග

ඇත්ත නැත්ත පැත්ත ගහන ත්‍රස්ත විරෝධී පනත…

පනතේ 31 සිට 46 දක්වා වගන්තිවල රැඳවුම් නියෝග පිළිබඳ කරුණු සඳහන් වේ. ‘පොලිස්පතිවරයා හෝ පොලිස්පතිවරයා විසින් තත් කාර්යය සඳහා බලය ලබා දෙන ලද නියෝජ්‍ය පොලිස්පති ධුරයට නොඅඩු ධුරයක් දරන යම් නිලධරයකු විසින් ආරක්ෂක අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත තත් කාර්යය සඳහා ලිඛිතව කරනු ලබන ඉල්ලීමක් මගින්..’ රැඳවුම් නියෝග ඉල්ලා සිටිය හැක. එවැනි ඉල්ලීමක් ලැබීමෙන් පසු, ‘ආරක්ෂක අමාත්‍යවරයාගේ ලේකම්වරයා විසින් සෑහීමට පත් වන්නේ නම්, ඔහු විසින් අනුමත රඳවා තබා ගැනීමේ ස්ථානයක, අනුමත රඳවා තබාගැනීමේ කොන්දේසි යටතේ සැකකරු රඳවා තබා ගැනීමට බලය ලබා දෙමින් රැඳවුම් නියෝගයක් නිකුත් කළ හැක.’

මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කරමින් පුද්ගලයෙක්ව මාස 12ක් දක්වා රඳවා තබා ගත හැකි බවත්, එසේ රඳවා තබා ගැනීමේදී මුල් මාස දෙකක් රඳවා ගැනීමට මහෙස්ත්‍රාත්වරයකුට සිය අධිකරණමය මනස මෙහෙයවමින් මැදිහත් විය නොහැක. ඒ වෙනුවට දේශපාලන පත්වීමක් ලැබූ රජයේ නිලධාරියකුට, රටේ අධිකරණමය බලය පවරාගෙන පුද්ගලයන් රඳවා තැබීමේ හැකියාව ඇත. ඊට අමතරව මෙලෙස රඳවා තබා ගන්නා පුද්ගලයන් පිළිබඳ රහසිගත වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර, සාමාන්‍ය අපරාධ නීතිය යටතේ ලබා දෙන ‘බී’ වාර්තා ලබා දීමේ අවශ්‍යතාව නොමැත. එමෙන්ම, මෙම පනත යටතේ සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙන් පොලිසියට දිවුරුම් පෙත්සම් ලබාගැනීමේ හැකියාවද ලබා දේ.

මෙලෙස රැඳවුම් නියෝග ලබා දීමට ඇති බලය, පෙර කී ත්‍රස්තවාදය පිළිබඳ ලිහිල් අර්ථකථනය සමග එක් වූ කල ඉතා පුළුල් බලතල ලැබෙන අතර සුළු වැරදි කළ අයව පවා සිරගත කර තැබීමේ අත්තනෝමතික බලයක් හිමි වේ. මෙම බලතල වඩාත් බරපතළ වන්නේ, නීතිපතිවරයාට යම් සැකකරුවකුට බලපෑම් කරමින් නඩු පැවරීම කල් දැමීමේ හැකියාව හිමිවීමත්, මහාධිකරණ නඩුව විභාග වන කාල සීමාවේදී ‘යම් ස්ථානයක’ රඳවා තබා ගැනීමට හැකියාව ලැබෙන බව සඳහන් වීම නිසා ඕනෑම තැනක පුද්ගලයෙක්ව රඳවා තබා ගැනීමට ඉඩකඩ සලසා තිබීමය. එනම්, විධිමත් සිර කඳවුරක් හෝ පොලිස් ස්ථානයක් නොව, ඕනෑ තැනක රඳවා තැබීමට ඉඩ ලැබේ.

ජනාධිපතිගේ විශේෂ නියෝග නිකුත් කිරීම් බලය

පනතේ 79 වැනි වගන්තියේ ජනාධිපතිවරයා විසින් තහනම් නියෝග නිකුත් කළ හැකි බව සඳහන් වේ. ඒ අනුව සංවිධාන තහනම් කිරීම සඳහා අත්තනෝමතික බලයක් හිමි වේ. පනතේ 81 වැනි වගන්තියෙන් ඇඳිරි නීති නියෝග නිකුත් කිරීම සඳහා බලතල හිමි වේ. 82 වැනි වගන්තියෙන් ස්ථානවලට ප්‍රවේශ වීම තහනම් කිරීමට බලය ලැබේ. මෙම බලයද ඉතා අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසෙන ආකාරයෙන් කෙටුම්පත් කර ඇත.

හමුදාව ලිහා දැමීම

පනතේ 19 වැනි වගන්තියේ සඳහන් වන්නේ ‘පොලිස් නිලධාරීන්, සන්නද්ධ හමුදා සාමාජිකයන් සහ වෙරළ ආරක්ෂක නිලධාරීන්ට’ සිරභාරයට ගැනීමේ බලතල හිමි වේ.

මේ පිළිබඳ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙසේ කරුණු ඉදිරිපත් කළේය.

‘දැනට මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කරන නියෝග මත පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමේ බලතල හමුදාවට ලබා දී තිබෙනවා. පනතේ 12 වගන්තිය අනුව සම්පූර්ණ හමුදාව හෝ කොටසක් කැඳවිය හැකියි. දැනටමත් ජනාධිපතිවරුන් හමුදාව මහජන සාමය පවත්වාගෙන යෑම වෙනුවෙන් කැඳවීම සඳහා නියෝග නිකුත් කරනවා. ඒවා මාසිකව අලුත් කරනවා.

පරීක්ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීම යන පොලිස් කාර්යභාරයන් හමුදා නිලධාරීන් සතු කිරීමට හැකියාව ඇතත්, එයට මහජන ආරක්ෂක පනතේ සීමා පවතිනවා. උදාහරණයක් ලෙස එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා මහජන ආරක්ෂක පනතේ 21 වගන්තිය අනුව යොමු කළ යුතුයි.

එහෙත්, එම පනත යටතේ හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම ව්‍යතිරේඛයක්. එදිනෙදා සාමාන්‍ය තත්ත්වය නෙවෙයි. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අනුව එලෙස හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා.

අපි දන්නවා යම්කිසි හදිසි කැරළි තත්ත්වයකදී, පොලිසියට පාලනය කළ නොහැකි තැනකදී මහජන ආරක්ෂක පනත යටතේ හමුදාව කැඳවීම සිදු කළ හැකි ව්‍යතිරේඛ තත්ත්වයක්. ඒ වගේම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය අවසන් වූ විගස, සහරාන් කල්ලිය අත්අඩංගුවට ගැනීම් සඳහා හමුදාව යොදාගැනීම අපි විරුද්ධ වූ තත්ත්වයක් නෙවෙයි.

එහෙත්, පොලිසියට යම් පුහුණුවක් තිබෙනවා අත්අඩංගුවට ගත හැක්කේ කාවද, නොහැක්කේ කාවද කියා. පුහුණුව තිබියදී තමයි පොලිස් අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ගැටලු පවතින්නේ. එහෙත්, මෙම පනත අනුව හමුදා සෙබළුන් සිවිල් කටයුත්තක් වන අත්අඩංගුවට ගැනීමේ කටයුතුවල යෙදීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වේවි.

හමුදාව මේ වෙද්දීත් කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය ආදියෙහි යෙදෙනවා. මෙම පනත සම්මත වුවහොත් ඉදිරියේදී එදිනෙදා සිවිල් කටයුත්තක් වූ පොලිස් රාජකාරියේත් නිරත වේවි.’

තුනෙන් දෙකකුත්, ජනමත විචාරණයක් ඉල්ලයි

අදහස් දැක්වූ නීතිඥවරුන් සහ නීතිඥවරියන් සියලු දෙනාම පාහේ පනත සඳහා තුනෙන් දෙකකුත් ජනමත විචාරණයක් ඉල්ලා සිටියේ, මෙම පනත සමස්තයක් ලෙස ව්‍යවස්ථාවට පටහැණි බව තර්ක කරමිනි. නීතිඥවරුන් සියල්ලන්ම මෙන්, තමන්ගේ සහෝදර නීතිඥවරුන් සහ නීතිඥවරියන් ඉදිරිපත් කළ තර්ක සමග තමාද අනන්‍ය වන බව ප්‍රකාශ කළ නිසා, එය පනතට එරෙහිව අදහස් දැක්වූ එක් නීතිඥවරයකු හැර අනෙකුත් සමස්ත නීතිඥවරුන්ගේ මතය බවත් කිව හැක.

එම නිසා මෙම පනත මූලිකව 11 වැනි ව්‍යවස්ථාව, 12 වැනි ව්‍යවස්ථාව, 13 වැනි ව්‍යවස්ථාව 14 වැනි ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත්, එහි ප්‍රථිපලයක් ලෙස 3 සහ 4 ව්‍යවස්ථා උල්ලංඝනය කරන බවත් ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ. ‘කිසිම තැනැත්තකු වධහිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුතුය.’

12 (2) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේය.’ යන්නයි.

13 වැනි ව්‍යවස්ථාව තුළ ‘අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස’ ආරක්ෂා කර ඇත.

14 වැනි ව්‍යවස්ථාව තුළ භාෂණය, රැස්වීමේ නිදහස, සමාගමයේ නිදහස ඇතුළු අයිතිවාසිකම් සඳහන් කර ඇත.

මෙම ව්‍යවස්ථාවන් උල්ලංඝනය කරන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථාවන් ඉබේම උල්ලංඝනය කෙරෙන බව මීට පෙර තීන්දු ගණනාවකින් පෙන්වා දී තිබේ. 22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේ මේ බව සඳහන් වන ආකාරය ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් සිහිපත් කළේය. 3 වැනි ව්‍යවස්ථාවේ ‘පරමාධිපත්‍යය ජනතාව සතු බවත්’, 4 වැනි ව්‍යවස්ථාව පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව ඇතුළු ආයතනවලින් ක්‍රියාත්මක කරන ආකාරයත් සඳහන් කරයි. ව්‍යවස්ථාවේ 82 වැනි ව්‍යවස්ථාව අනුව 1 සිට 11 දක්වා ව්‍යවස්ථාවන් උල්ලංඝනය කරන්නට ඉඩ සලසන ඕනෑම නීතියක් ජනමත විචාරණයක් නොපවත්වා සම්මත කළ නොහැක.

අශිෂ්ටයි, මේ පනත ජනමත විචාරණයටවත් එපා

පෙර කී පරිදි සියලු නීතිඥවරුන් තුනෙන් දෙක හා ජනමත විචාරණය ඉල්ලද්දී, එක් නීතිඥවරයකු පැවසුවේ අඩු තරමේ එම ක්‍රියාවටවත් සුදුසු නැති තරම් මෙම පනත අශිෂ්ට, ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් බවය. ඒ නීතිඥ සංජය විල්සන් ජයසේකරය. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ඓතිහාසික, පෙර නොඇසූ මට්ටමේ තීන්දුවකි.

නීතිඥ ජයසේකර පෙනී සිටියේ මාස ගණනාවක් සිරගත කර සිට, මෑතකදී කිසිදු චෝදනාවක් නොමැතිකමින් නිදහස් වූ අහ්නෆ් ජසීම් නම් තරුණ කවියා, ගුරුවරයා වෙනුවෙනි. ජසීම්ගේ නම අවස්ථා කිහිපයකදී නීතිඥවරුන් කිහිපදෙනකු සිහිපත් කළේය. ජසීම් දෙමළින් ලියූ කවි තේරුම් ගන්නට නොහැකි වීමෙන් ඔහු සිරගත කර තැබීය.

මෑත ඉතිහාසයේ නීති අවභාවිත කරමින් සිරගත කර තැබූ කිහිපදෙනකු වෙනුවෙන් අවස්ථා කිහිපයකදී අධිකරණ ඉදිරියේ පෙනී සිට ඇති නීතිඥ සංජය විල්සන් තර්ක කළේ, ඇතැම් නීති කෙතරම් අශිෂ්ටද යත් ඒවා ජනමත විචාරණයටත් නුසුදුසු බව තීන්දු කළ යුතු බවයි. ප්‍රජාතන්ත්‍රවාදයට යම්කිසි ශිෂ්ට මට්ටමක් පැවතිය යුතුය. අධිකරණ ශාලාවෙන් පිටතදී ඔහු ලියුම්කරු සමග විමසුවේ, හෙට දිනයේ මිනිසුන්ට ගල් ගැසීමේ නීතියක් වුව අධිකරණ භාෂාවකින් ලියා, ගැසට් කළොත් ශිෂ්ට සමාජයක් එය භාරගත යුතුද කියායි.

පීටීඒ ප්ලස්, 1979 මයිනස්

පනත වෙනුවෙන් අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දැක්වූයේ නීතිඥ හෙජාස් හෙස්බුල්ලාය. මෙය වසර පහකුත් මාස කිහිපයකට පෙර, මෙම ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාව තුළම විභාග වූ, 2018 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය පිළිබඳ නඩුව සිහි ගන්වන සිදුවීමක් විය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනීතිකව පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාග කරන ලද එම නඩුවේදීත් අවසානයේ කතා කළේ නීතිඥ හෙජාස් හිස්බුල්ලාය.

මෙවර නීතිඥ හෙජාස් හිස්බුල්ලා අදහස් දැක්වීමම ඓතිහාසික වන්නේ නීතිඥ හෙජාස් හිස්බුල්ලා පෙර කී නඩුවෙන් මේ කී නඩුව දක්වා කාලසීමාව තුළ මුහුණ දුන් අත්දැකීම් නිසාය. වසරකට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන, දේශපාලනඥයන් සහ ඇතැම් ජනමාධ්‍යවේදීන් විසින් එල්ල කරන ලද ‘පාස්කු ප්‍රහාරයේ මහමොළකරු’ යන චෝදනා ලබා, පසුව එම චෝදනා ඔප්පු කිරීමේ අසීරුතාව මත වත්මනෙහි නැවත සිය වෘත්තියෙහි යෙදෙන නීතිඥයකු වන ඔහු, මෙවර පෙනී සිටියේ තමා මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගනු ලැබ නිදහස් වූ වින්දිතයන් කිහිප දෙනකු වෙනුවෙනි.

ඔහු විශේෂයෙන් සලකා බැලීම්වලට ලක් කළේ, 1979 දී මෙම පනත සම්මත වූ මොහොත, 2009 දී යුද්ධය අවසන් වීම සහ 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය යන සිදුවීම් මාලාව ඇසුරෙන් වත්මන් පනත් කෙටුම්පතේ ඇති වගන්ති සාධාරණීකරණය කරනවාද යන්නයි. ඔහු පෙන්වා දුන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙනුත් පෙන්වා දුන් පරිදි, පාස්කු ප්‍රහාරයට හේතු වූ සාධක මෙම පනතේ වගන්තිවලින් ආවරණය කරන කරුණු නොවන බවයි. දරුණු යුද්ධයක් පැවති කාලයක පවා අවශ්‍ය නොවූ ඇතැම් බලතල විධායකයට ලබා දෙන්නේ කුමන වුවමනාවටදැයි ඔහු විමසීය. මෙය පීටීඒ ප්ලස් හෙවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතට එහා යෑමක් වන නමුත්, වත්මන් තත්ත්වය 1979 මයිනස් හෙවත් එම පනත හඳුන්වාදුන් වර්ෂයට වඩා අඩු ත්‍රස්ත අවදානමක් පවතින මොහොතක් බවත් කීය.

එමෙන්ම, ඔහු ඉල්ලා සිටියේ බටහිර රටවල ත්‍රස්ත නීති සහ ලංකාවේ ත්‍රස්ත නීති සංසන්දනය නොකරන ලෙසයි. බටහිර රටවල ආණ්ඩු, අප්‍රිකානු සහ මැදපෙරදිග ආදී කලාපවල සිදුකරන ක්‍රියාවන් නිසා ඒ රටවල් ත්‍රස්තවාදයේ ඉලක්ක වන නමුත් ලංකාවේ ආණ්ඩුවලට එවැනි අවදානමක් නොමැති බව පෙන්වාදුන් ඔහු, අප වැනි රටවල ත්‍රස්ත ක්‍රියා සිදු වන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයන් තුළ බවත්, මෙම පනතෙන් ඒවාට පිළිතුරු සොයා නොමැති බවත් පෙන්වා දුන්නේය.

විනිසුරුවරුන්ගේ වගකීම

ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු ඉදිරිපත් කළ නීතිඥවරුන් අතරින් තිදෙනෙක්, තමන්ගේ කාලයෙන් කොටසක් වැය කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ මේ මොහොතේ ත්‍රස්ත විරෝධී පනතෙහි භයානක ලක්ෂණවලින් ජනතාව ආරක්ෂා කිරීමට අධිකරණය සතුව ඇති වගකීම සිහිපත් කිරීමටය. පනතේ ඇතුළත් වන කරුණුවල අඩුපාඩු පෙන්වාදීමට අමතරව, මෙම නඩුව විභාග කළ අවස්ථාවේදී අධිකරණය ඉදිරියේ පුරවැසි නිදහස ආරක්ෂා කරන ලෙස අයැද සිටි ආකාරය ඉතා විශේෂ අවස්ථාවක් බව නීති විශාරදයෝ කිහිප දෙනකු පැවසූහ.

එලෙස අධිකරණය සතු වගකීම වඩාත්ම අවධාරණය කළේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, නීතිඥ තනුක මාධව නන්දසිරි සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ය. තිදෙනාම තෙයාකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සතුවත් මේ පනත සම්මත වී, එය අවභාවිත කළහොත්, එයට අදාළ වගකීමක් ඇති බව ආයාචනාත්මකව අවධාරණය කරන්නට කටයුතු කළේය.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු තමන්ගේ අවධාරණය කිරීමේදී ප්‍රකාශ කළේ, පාලකයන් මේ වෙද්දී ජනතාවට ‘ෂටප් ඇන්ඩ් සිට්ඩවුන්’ කියමින් සිටින බවයි. මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රේෂ්ඨාධිකරණය සතු බවට තර්ක කළ ඔහු, ‘ජනතාව බේරා දෙන’ ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටියේය.

නීතිඥ තනුක මාධව නන්දසිරිද පෙන්වා දුන්නේ, මෙම පනත අධිකරණයට වගකීමක් ලෙස සම්මුඛ වී ඇති බවය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය සතු වගකීම ගැන මෙලෙස තර්ක කළේය.

‘මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය වසර ගණනාවක් තිස්සේ, බ්‍රේස්ගර්ඩල් සිදුවීම, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, ආර්ථික අපරාධ ආදී නඩු තීන්දු ගණනාවක් තුළින් අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, මහජන විශ්වාසය පිළිබඳ සංකල්පය (Doctrine of public trust) හඳුන්වා දුන්නා.

මහජන විශ්වාසය පිළිබඳ සංකල්පය අධිකරණයටත් අදාළ වෙනවා. තවත් අවුරුදු 40කට පසු ත්‍රස්ත විරෝධී පනත අවභාවිත කළ බව ප්‍රකාශ කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ. නීතිඥ සංගමයේ හිටපු සභාපති HW Jayawardene විශ්‍රාම යන මොහොතේ, හිටපු අගවිනිසුරු වික්ටර් තෙන්නකෝන් ප්‍රකාශ කළා, අධිකරණය සතු වගකීම ගැන.

ඒ අනුව පසුව වැරදි නිවැරදි කිරීමට නොව, මේ මොහොතේ මෙම පනත පිළිබඳ නිගමනය කළ යුතු වෙනවා.’

ඊටත් අමතරව මෙම පනත පිළිබඳ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා වන නීතිඥ රවුෆ් හකීම් හා දෙමළ ජාතික සන්ධානයේ ඉහළම නායකයකු වන ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ අතර, එහිදී අධිකරණය තුළ මෙම පනතේ භයානකකම ගැන තීරණාත්මක තීන්දුවක් ලැබීමේ අවශ්‍යතාව ඉස්මතු කරනු දක්නට ලැබිණ. පාර්ලිමේන්තුව තුළදී මෙම පනත් කෙටුම්පතේ භයානක ලක්ෂණ පරාජය කරන්නට ඇති අවම ඉඩකඩ එම මැදිහත්වීම් තුළ දක්නට තිබුණි.

පනතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් 38 අතර දේශපාලන පක්ෂ, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වැනි ආගමික නායකයන්, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන පසුව නිදොස්කොට නිදහස් වූ පුද්ගලයන්, මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනකු පනතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පනතට එරෙහිව පෙත්සම් 38ක් තරම් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත්තේත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයකු, වත්මන් නීතිඥ සංගමයේ නායකත්වය වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය රැකගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත්තේත්, මන්ත්‍රීවරුන් පැමිණ පනතේ භයානකකම ඉස්මතු කර ඇත්තේත්, නීතිඥවරුන් මෙම පනත ජනමත විචාරණයකවත් ඉදිරිපත් නොකරන ලෙස අධිකරණයෙන් අයැද සිටින්නේ එම පනත අවභාවිත කිරීමට ඇති භයානක ඉඩකඩ පිළිබඳ මනා අවබෝධයක් ඇති නිසා බවත්, පනතේ භයානකකම පරාජය කිරීමට හැකියාව ඇත්තේ අධිකරණය තුළදී බව විශ්වාස කිරීමත් නිසා බව පෙනේ.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment