අපට ලැබුණු ගෞරවය ඩොලර් ලක්ෂයටත් වඩා වටිනවා

807

ජාත්‍යාන්තර ක්‍රීඩාංගණ කළමනාකරු ගොඩ්ප්‍රි දබරේරා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අධික වර්ෂාව සහිත කාලගුණයෙන් දැඩි ලෙස බාධා එල්ල වූයේද, එවැනි අවස්ථාවලදී පල්ලෙකැලේ මෙන්ම ඛෙත්තාරාම ක්‍රිකට් පිටිවල තණතීරු රැකගන්නට පිටියේ සේවකයන් කරන ලද කැපවීම් අගයා ආසියානු ක්‍රිකට් සංගමය විසින් ඔවුන් ලොව හොඳම “ග්‍රවුන්ඩ් ස්ටාෆ්” යනුවෙන් නම් කළේය.

මේ භාරදූර කටයුත්ත පිටුපස සිටිමින් ඔවුන් මෙහෙයවන නියමුවා වන ජාත්‍යන්තර ක්‍රීඩාංගණ මෙන්ම ඒවායේ තණතීරු භාරව කටයුතු කරන සුවිශේෂී චරිතය තමයි ගොඩ්ප්‍රි දබරේරා. ඔහු සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සිදුකළ සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය – අද වනවිට ලොව හොඳම ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක ඉන්නෙ ශ්‍රී ලංකාවේ කියන එක හැමෝගෙම පිළිගැනීමට ලක්වෙලා. මේ කටයුත්තේ නියමුවා හැටියට, ඔබට ඒ ගැන මොකද හිතෙන්නෙ?

පිළිතුර – මම හිතන්නෙ නෑ ඒ ඇගයීම සම්බන්ධයෙන් මම තරම් සතුටු වෙන කෙනෙක් අපේ රටේ ඉන්නවා කියලා. ඔය කතාබහ නම් අද ඊයේ එකපාරටම ඇතිවුණ දෙයක් නෙමෙයි. ඒත් මේකෙන් තමයි ලෝකයේ හොඳම ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක කියලා රෙකග්නයිස් කළේ. එහෙම කරනවා නම් මීට ඉස්සෙල්ල අපි ලංකාවේ වර්ල්ඩ් කප් තුන හතරක් කරලා තියෙනවා. මෙවර ආසියානු ක්‍රිකට් සංගමයෙන් තමයි අපිව රෙකග්නයිස් කරලා, ඔවුන්ගෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 50,000 ක ත්‍යාග මුදලක් ලැබෙන්න සැලැස්සු වේ.

ප්‍රශ්නය – ඊට අමතරව තවත් ඩොලර් 5000 ක් ලැබුණ නේද?

පිළිතුර – මොහොමඩ් සිරාජ්ගෙන් සහ රෝහිත් ශර්මාගෙන් ත්‍යාග ලෙස ඩොලර් ලැබුණ බවටත් ආරංචි පැතිර ගියා. හැබැයි සිරාජ් ලබාදෙනවා කියපු ඩොලර් 5,000 තවම හම්බවෙලත් නෑ. ඒ ගැන කිසිම කතාවකුත් නෑ. රෝහිත්ගේ කතාව නම් තනිකරම බොරුවක්. රෝහිත්ට ත්‍යාග මුදල් වශයෙන් හමු වුණානේ ඩොලර් 15,000 ක්. ඒකත් එක්ක ලැබුණ කාඩ් එක බිම තිබිලා අපේ ලේබර්ස්ල ඒක අල්ලගෙන ෆොටෝ ගහලා. ෆොටෝ ගහද්දි රෝහිත් එතනින් ගිහින්. පස්සෙ මේ කට්ටිය රෝහිත් එක්කම ෆොටෝ අරගෙන. ඒවා සෝෂල් මීඩියාවලට ගිහින් තමයි ඔය කතාව ගොඩනැඟිලා තියෙන්නෙ. මම අදාළ ලේබර්ස්ලා ගෙන්නලා ඒ ගැන අහලා බැලුව. නැත්නම් හැමෝම හිතන්නෙ තවත් ඩොලර් 15,000ක් ලැබුණා ඒක මම ගත්තා කියලා.

ප්‍රශ්නය – නොහිතපු විදියට හමුවුණ ඩොලර් 50,000 ත්‍යාග මුදල ගැන මොකද හිතෙන්නෙ?

පිළිතුර – සාමාන්‍යයෙන් අපි කාට වුණත් පුංචි තෑග්ගක් හම්බ වුණොත් හිතේ සතුටක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. මෙතෙන් දී නම් මට ඩොලර් ලක්ෂයක් ලැබුණට වඩා වටිනවා මාව රෙකග්නයිස් කරපු එක. හැබැයි මේක ග්‍රවුන්ඩ්ස්වලට ගොඩක් වටින බව මම දන්නවා.

ප්‍රශ්නය – ඔවුන්ට ඒ මුදල් ලබාදෙන්නෙ මොන විදියටද?

පිළිතුර – බොහොම හොඳ ප්‍රශ්නයක්. දැන් හැමෝටම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇති මේ ඩොලර් 50,000 කොහොමද බෙදෙන්නෙ කියලා. ඉතාමත් සාධාරණව ඒ දේ කරන්න මම හිතාගෙන ඉන්නවා. ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඒ මුදල බෙදන විදිය මම හෙළි කරනවා.

ප්‍රශ්නය – ක්‍රිකට් පිටියක හොඳ නරක මොන විදියට කතා කළත් පිටතින් දකින දේට වඩා ලොකු මෙහෙයක් ඔබ ඇතුළු පිරිසගෙන් වෙනවා?

අපට ලැබුණු ගෞරවය ඩොලර් ලක්ෂයටත් වඩා වටිනවා

පිළිතුරු – අනිවාර්යයෙන්ම පිටිය සකස් කරන්න අපි ගොඩක් මහන්සි වෙන බව පිට අය තියා බෝඩ් එක දන්නෙත් නෑ. කවුරු කොහොම කීවත් තණතීරුවක් පොතේ හැටියට හදන්න බෑ. ස්වභාව ධර්මයත් එක්ක ගැටෙමින් අපි විසින්ම ඇති කරගත්තු පළපුරුද්ද තමයි මෙතනදී වැදගත් වෙන්නෙ. කොටින්ම කිව්වොත් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දෙන වෙදර් රිපෝර්ට් එක මම සීයට සියක් ෆලෝ කරන්නෙ නෑ. ඊට වඩා අව්ව, වැස්ස, සුළඟ මොන වගේද කියලා හඳුනාගෙන ගමනක් යන්න අපිට හැකියාව තියෙනවා කියලා මම හිතනවා.

ප්‍රශ්නය – දේශීය හෝ විදේශීය ක්‍රීඩකයෝ, තරග තීරකවරු ඇතුළු ක්‍රීඩාව හා සම්බන්ධ නිලධාරීන් තණතීරු සකස් කිරීමේදී උපදෙස් දෙන්න යෝජනා ඉදිරිපත් කරන්න පෙළඹෙන්නෙ නැද්ද?

පිළිතුර – ඒවා නම් මා එක්ක කොහොමත් කරන්න හම්බ වෙන්නෙ නෑ. ප්‍රධානම දේ තමයි මම දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේම විදේශීය ක්‍රීඩකයෝ එක්ක කතාවට යන කෙනෙක් නෙමෙයි. මේ දේවල් කරන්න ප්‍රමිතියක් තියෙනව. ඒ අනුව ීටීම් මැනේජ්මන්ට් එකත් එක්ක කතාබහ කරලා පුහුණුකරු, කැප්ටන්, සී. ඕ විකට් එක ඉල්ලන විදියට ලබාදීම පමණයි මා අතින් සිදුවෙන්නෙ.

ප්‍රශ්නය – තණතීරු භාරකරු නිරත වන රැකියාවේ සේවා කාලය කොපමණද?

පිළිතුර – අවුරුදු 40 ක්. සේවා පළපුරුද්ද ගැන කතා කළොත් එක විකට් එකක් හදන්න අඩුම ගානෙ දවස් 10ක් ඒ සඳහා අවධානය යොමු කළ යුතුයි. වැස්සෙ ප්‍රමාණය අනුව තමයි අපි කවර් එක පාවිච්චි කරන්නෙ. සුළු වැස්සක් නම් යාර 30 ක ප්‍රමාණයකුත් අධික වර්ෂාවක් නම් පිටියම වැහෙන්නත් යොදනවා. ඒ හැම දේකටම යම් ප්‍රමිතියක් තියෙනවා. ඊට අනුකූලව මිසක මම කිසිම දෙයක් අරය කිව්වට මෙයා කිව්වට කරන්නෙ නෑ. කවර් එක දාන තැනට වඩා ගලවන තැනට තමයි මම සම්බන්ධ වෙන්නෙ. මගෙන් අහන්නෙ නැතුව පිටිය වහන්නත් බෑ අරින්නත් බෑ.

ප්‍රශ්නය – පිටිය සූදානම් කළ පසු ඔබ නිදහස් පුද්ගලයෙක්?

පිළිතුර – එහෙම තමයි ගොඩක් අය හිතන්නෙ. මැච් එකක් ආරම්භ වුණ මොහොතේ සිට අවසානය දක්වා මම ලයිව් බලාගෙන ඉන්න ඕන වෝකි ටෝකි තියාගෙන. ඒ ඒ රාජකාරිවල යොදවලා ඉන්න අයට හැම ටූනමන්ට් එකක්ම මම ඉන්ෆෝම් කළ යුතුයි. මැච් එක බලලා විනෝද වෙන්න බෑ. සීයට සීයක වගකීමක් තියෙනවා ඉටු කරන්න.

ප්‍රශ්නය – රැකියාව තුළ අසීරුවට පත්වූ අවස්ථාත් ඇති නේද?

පිළිතුර – අපෝ අනන්තයි අප්‍රමාණයි. සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු හරි දේ හොයන අය නෙමෙයිනෙ. ඉරිසියාවට, පළිගැනීමට, පෙත්සම් ගහන්න හපන්නු. මට විරුද්ධව අයිසීසී එකට කම්ප්ලෙන් කරලා විභාග කරන්න. අයිසීසී එකෙන් ආවා කියලා තිබුණෙ මම බුකී කාරයන්ට පිච් එක විකුණනවා කියලා. බොරු චෝදනා නිසා ඒවා කවදාවත් ඔප්පු කරගන්න බැරි වුණා. ඒ වගේම ප්‍රශංසා හිමිවුණ අවස්ථාත් ඕනෑ තරම් ඇති. මම ක්‍රිකට් ක්‍රීඩාවට යම් දෙයක් කළා මිස ක්‍රිකට් විකුණාගෙන කාපු කෙනෙක් නෙමෙයි. බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහිකරන්න කැපවීම් රාශියක් කළා. හොඳ දේවල් කළාම හොඳ ප්‍රතිඵල ලැබෙනව කියන එක බොරුවක් නෙමෙයි. කරපු සේවයට ගෞරව ප්‍රශංසා හිමිවුණ වාර අනන්තයි. කවද හරි සතුටින් මේ රැකියාවෙන් විශ්‍රාම යන්න මට හැකියාව තියෙනවා.

ප්‍රශ්නය – වසර 40 ක් තමන්ගෙ නිවසට වඩා ආදරය කරමින් ජීවත් වුණ මේ තණතීරු අතහැර යන්න ඔබේ දෙපාවලට වාරු ලැබෙයිද?

පිළිතුර – ඇත්තටම ඒක අපහසු වේවි. ඒත් බැහැයි කියලා අපිට කිසිම රැකියාවක හැමදාම රැඳෙන්න බැහැනෙ. විශ්‍රාම යන දවසට සතුටින් ඒ ගමන යනවා. එතනින් පස්සෙ මොනවද කරන්නෙ කියලා පස්සෙ තීරණය කරනවා.

සාකච්ඡා කළේ –
ධම්මික හේවාවසම්
ඡායා – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment