මහජන බැංකුව 2023 ARC‍ සම්මාන උළෙලේදී රනින් පිදුම් ලැබූ එකම ශ්‍රී ලාංකීය බැංකුව බවට පත් වෙයි

129
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා සහ මූල්‍ය ප්‍රධානී අසාම් ඒ. අහමත් යන මහත්වරුන්

මහජන බැංකුවේ 2022 වසරේ වාර්ෂික වාර්තාව පසුගියදා පැවති ජාත්‍යන්තර ARC සම්මාන උළෙල 2022 දී සම්මාන 5කින් පිදුම් ලැබිය. වසර 30කට අධික ඉතිහාසයකට හිමිකම් කියන ARC සම්මාන උළෙල, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාව විසින් වාර්ෂික වාර්තා ක්ෂේත්‍රයේ ඔස්කාර් සම්මාන උළෙල ලෙස හඳුන්වයි. මේ සඳහා රටවල් 90කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් වාර්ෂිකව අයදුම්පත් 1600කට වැඩි ප්‍රමාණයක් ලැබෙන අතර, ඒ අතුරින් මහජන බැංකුව අංශ කිහිපයකින්ම ගෞරවයට පාත්‍ර වූයේ 2023 වසරේ රන් සම්මානයකින් පිදුම් ලැබු ශ්‍රී ලංකාව නියෝජනය කළ එකම බලපත්‍රලාභී බැංකුව බවට පත් වෙමිනි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘මූල්‍ය තොරතුරු, නිර්මාණශිලිව වාර්තා කිරීමට මහජන බැංකුව සතු විශිෂ්ට හැකියාව පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස මෙම සම්මානය හඳුන්වා දිය හැකියි. සංඛ්‍යා ලේඛනයන්ගෙන් ඔබ්බට යමින් බැංකුවේ උපාය මාර්ගික දිශානතිය, ජයග්‍රහණ හා ව්‍යාපාරයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක අංශයන් ආවරණය වන පරිදි වාර්ෂික වාර්තාව සකස් කිරීමට අප නිරන්තරයෙන්ම කැප වෙනවා. මේ ඒ කැපවීම ඇගයිමට ලක්වූ අවස්ථාවක්.

එමෙන්ම ආයතනික වාර්තාකරණයේ ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කිරීම සහ ඒවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය තුළ මහජන බැංකුව දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ බව මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතුයි.’

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘මහජන බැංකුව මෙවර සම්මාන උළෙලේදී ඕනෑම කාණ්ඩයකින් රන් සම්මාන වලින් පිදුම් ලැබූ එකම ශ්‍රී ලාංකේය බැංකුව බවට පත්වීම පිළිබඳව අප ඉතාමත් සතුටට පත්වනවා. ආයතනික සන්නිවේදනය, වාර්ෂික වාර්තා හා ආයෝජන සම්බන්ධතාවන්හි විශිෂ්ටත්වය මෙහිදි ඇගයීමට ලක්කරන අතර, මේ සම්මානයට පාත්‍රාවීම තුළින් අප බැංකුව, සියලුම පාර්ශ්වකරුවන් සමඟ විවෘත හා විනිවිදභාවයෙන් යුත් ඵලදායි සන්නිවේදනයක් පවත්වාගෙන ගොස් ඇති බව තහවුරු වනවා.

මෙවර ARC සම්මාන උළෙල සඳහා ජාත්‍යන්තරව බැංකු ආයතන විශාල ප්‍රමාණයක් සිය මූල්‍ය වාර්තා ඉදිරිපත් කර තිබූ අතර, ඒ අතුරින් මහජන බැංකුව හිමි කරගත් මෙම සුවිශේෂී පිළිගැනීම තුළින් ව්‍යාපාරික මෙහෙයුම්හි සෑම අංශයකම විශිෂ්ටත්වයේ සහ කාර්ය සාධනයේ නිම් වළලු පුළුල් කිරීම සඳහා වන අපගේ අභිලාෂයන් තව තවත් ශක්තිමත් කරනවා’.

මහජන බැංකුවේ මූල්‍ය ප්‍රධානී අසාම් ඒ. අහමත් මහතා ‘ඒකාබද්ධ වාර්තාකරණ ක්ෂේත්‍රයේ නව මං සොයා යන අප ගමනේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස මෙම ජයග්‍රහණය හැඳින්විය හැකියි. පෙර නොවූ විරූ අභියෝග හා වෙනස්වීම් සහිත වසරක් තුළ ඉතා දුෂ්කර අවස්ථාවන්හිදි රටට සහ බැංකුවේ සියලු පාර්ශ්වකරුවන්ට සහාය වීම සඳහා වූ මහජන බැංකුවේ කාර්යභාරය අපගේ 2022 වසරේ ඒකාබද්ධ වාර්තාව තුළින් පිළිඹිබු වනවා. මීට අමතරව බැංකුවේ සියලු අංශයන්හි තිරසර බව වෙනුවෙන් පාරිසරික, සමාජීය හා යහපාලන සාධක කෙරෙහිද ඒ තුළින් වැඩි අවධානයක් යොමු කළා. අවසාන වශයෙන් දුෂ්කර අවස්ථාවන්හිදී අපට සහයෝගය ලබා දුන් සියලු පාර්ශ්වකරුවන්ට මාගේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

දිවයින පුරා ශාඛා හා සේවා මධ්‍යස්ථාන 747කට හා ස්වයං සේවා ඒකක 290කට හිමිකම් කියන මහජන බැංකුව සතු ගනුදෙනුකරුවන් ප්‍රමාණය මිලියන 14.7කට අධිකය. මහජන බැංකුව රුපියල් ට්‍රිලියන 3.0කට ආසන්න ඒකාබද්ධ වත්කම් හා රුපියල් ට්‍රිලියන 2.5ක ඒකාබද්ධ තැන්පතු සහිත ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම මූල්‍ය සේවා සපයන්නා ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment