අනාගත පරපුරේ කුසලතා වර්ධනය කිරීම නව පත්වීම්ලාභී ගුරු භවතුන්ගේ වගකීමක්- අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

117

විද්‍යාපීඨ 19ක පුහුණුව ලද ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 7342ක් සඳහා ගුරු පත්වීම් ලබා දීමට හැකි වූ බවත් ඒ සඳහා අඩිතාලම වැටුණේ, 1980 දශකයේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 1985 වසරේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමෙන් අනතුරු ව 1986 වර්ෂයේ දී විද්‍යා පීඨ පනත හඳුන්වා දී විද්‍යාපීඨ පද්ධතියක් බිහි කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට එවක සිදු කළ සේවාව නිසා බවත් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ විද්‍යාපීඨ ගුරුපත්වීම් ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී පැවති ප්‍රධාන වැඩසටහනට එක් වෙමිනි. එහි දී බස්නාහිර පළාත් හා ජාතික පාසල්වලට අදාළ ගුරු පත්වීම් 2355ක් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයාගේ හා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ඉතිරි විද්‍යාපීඨ පත්වීම් ප්‍රදානය කිරීම ද ඊට සමගාමීව පළාත් පළාත් 8ක සිදු විය.

ඉදිරියේ දී මෙම විද්‍යා පීඨ ශික්ෂණ ඩිප්ලෝමාව සිව් වසරක් දක්වා දීර්ඝ කර උපාධි පාඨමාලාවක් දක්වා සංවර්ධනය කරන අතර දැනට ඩිප්ලෝමාව සම්පූර්ණ කළ ගුරුවරුන්ට එය උපාධියක් දක්වා වර්ධනය කරගැනීමේ අවස්ථාව සලසා දෙන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය. ඒ සඳහා මීපේ පිහිටුවා ඇති දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය මගින් ඉදිරියේ දී ලබා දෙන පශ්චාද් උපාධි පාඨමාලා උපස්ථම්භක වන බවත් ජාතික අධ්‍යාපන ආයතනය හා ගුරු අභ්‍යාස විද්‍යාල වැනි අදාළ ආයතන සමග එක් ව එම වැඩසටහන් සංවිධානය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

අනාගත පරපුරේ කුසලතා වර්ධනය කිරීම නව පත්වීම්ලාභී ගුරු භවතුන්ගේ වගකීමක්- අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

ශීඝ්‍රයෙන් දැනුම වර්ධනය වීමේ වේගය දෙගුණ වන ලොවක නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේද සමග ගළපාගත් තාක්ෂණය හා මුසු වූ කෘත්‍රීම බුද්ධි විෂය ඇසුරින් අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් හරහා 2030 වන විට සපුරාගත යුතු තිරසර ඉලක්ක හඹා යන ගුණාත්මක අධ්‍යාපනයක දරුවන් නිරත කරවීමේ නියමුවන් ලෙස අද පත්වීම් ලබන ගුරුභවතුන් අධ්‍යාපන පද්ධතියට පිළිගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

අනිවාර්ය අධ්‍යාපනය අවුරුදු 15 දක්වා ලබා දෙමින් සංවර්ධිත රටකට සමාන ප්‍රතිශතාත්මක අගයක් රඳවාගැනීමට ද අපට හැකියාව පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය. අවශ්‍ය ආයතන පිහිටුවීම හා නව තාක්ෂණය භාවිත කිරීම ඒ සඳහා මනා පිටුබලයක් ව ඇති බවත් රජය විසින් ක්‍රියාවට නංවා ඇති රාජ්‍ය හා සෙසු සේවා ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් කොටස ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකසා ඇති බවත් මෙහි දී අමාත්‍යවරයා පැවසී ය. වෙසෙසින්ම දැනුම අතින් ඉදිරියෙන් සිටින අපට ආකල්පමය වෙනසකටත් වඩා අත්‍යවශ්‍ය ව ඇත්තේ කුසලතා වර්ධනයක් බවත් ඒ සඳහා අනාගත පරපුර රැගෙන යාම නව පත්වීම්ලාභී ගුරු භවතුන් වෙත පැවරෙන පැහැර හැරිය නොහැකි වගකීමක් බවත් සිහිපත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment