කෘතහස්ත මාධ්‍යවේදී නන්දසේන සූරියආරච්චි අභාවප්‍රාප්ත වෙයි

174

ප්‍රවීණ මාධ්‍යවේදියකු හා කෘතහස්ත ග්‍රන්ථ කතුවරයකු වූ නන්දසේන සූරියආරච්චි මහතා අභාවප්‍රාප්ත වූයේය.

ඔහු මිය යන විට 78 වැනි වියෙහි පසු වූයේය. වසර 50කට වැඩි කාලයක් දිනමිණ, සිළුමිණ, දිවයින, රිවිර ඇතුළු පුවත්පත් ගණනාවක කතුවරයකු ලෙස සේවය කළ ඔහු ලියා ඇති ග්‍රන්ථ ගණන 55ක් පමණ වේ.

දකුණු පළාතේ බද්දේගම උනන්විටියේදී 1945 මාර්තු 27 වැනිදා උපන් නන්දසේන සූරියආරච්චි වැලිවිටිය මහා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක මහ විද්‍යාලය සහ හොරණ විද්‍යාරත්න විද්‍යාලය යන පාසල්වලින් අධ්‍යාපනය ලබා කැලණිය විශ්වවිද්‍යාලයට (එවක විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය) පිවිසුණේය.

1966 දී අන්තර් විශ්වවිද්‍යාලයීය කෙටිකතා තරග ජයග්‍රහණය කරමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේය. 1967 විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන සංස්කාරක ධුරයත්, එම වසරේදීම විශ්වවිද්‍යාලයීය නිදහස් පක්ෂ ශිෂ්‍ය සංගමයේ උප සභාපති ධුරයත් දැරුවේය.

සරසවි සමයේ සිටම පුවත්පත් ලේඛකයකු ලෙස කටයුතු කළ නන්දසේන සූරියආරච්චි 1969 වසරේ ‘උදය‘ පුවත්පතේ විශේෂාංග කර්තෘ ලෙස වෘත්තීය දිවියට පිවිසියේය. 1969 ලේක්හවුස් ආයතනයට බැඳුණු හෙතෙම ‘දිනමිණ‘ හා ‘සිළුමිණ‘ කර්තෘ මණ්ඩලයේ වසර 12ක සේවයේ නියුතු විය. 1981 දී උපාලි පුවත්පත් සමාගමේ ‘දිවයින‘ පුවත්පතේ ආරම්භක කර්තෘ මණ්ඩලයට එක්වී වසර 13 ක් පමණ එහි සේවය කළේය.

දේශපාලන ලිපි, කලා හා විශේෂාංග රචනයෙහි දස්කම් දැක්වූ ඔහු ලියූ ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ’, ‘දිඹුලාගල හාමුදුරුවෝ’, ‘මඩුවන්වෙල මහ දිසාව’, ‘බොරලුගොඩ දේශපාලනය’, ‘සිංහලේ සිංහයා සර්ජෝන්’ ඇතුළු පුවත්පත් ලිපි මාලා පසුකාලීනව ඉහළ ජනප්‍රියත්වයට පත් ග්‍රන්ථ ලෙස ද ප්‍රකාශයට පත්විය.

ග්‍රන්ථ කතුවරයකු ලෙස චරිත කතා, විචාර මෙන්ම නවකතා රචනා කර ඇති නන්දසේන සූරියආරච්චි පොත් 55 කට ආසන්න ගණනක් රචනා කළේය. සූරියආරච්චි මහතාගේ බිරිය ඩල්සි විශ්‍රාමික ගුරුවරියක වන අතර දියණිය යසෝදරා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරයි. පුතු ධනංජය මාධ්‍ය ආයතන ප්‍රධානියෙකි.

නන්දසේන සූරියආරච්චි මහතාගේ දේහය අංක 9, කාශ්‍යප පාර, ඇන්ඩර්සන් පාර, කළුබෝවිල නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු 30 වැනිදා සෙනසුරාදා සවස කොහුවල පොදු සුසාන භූමියේදී සිදුකරන්නට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment