ඔක්තෝබර් මැද වන තෙක් වැසි නැහැ

179

කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක
ජලය සොයා යන සතුන් දඩයම් කරන අය ගැන 1992 ට කියන්න

පවතින වියළි කාලගුණ තත්ත්වයට අනුව ඔක්තෝබර් මැද පමණ වනතෙක් සැලකිය යුතු වර්ෂාපතනයක් රටේ බලාපොරොත්තු විය නොහැකි යයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘දිවයින’ ට ඊයේ (20 දා) පැවසීය.

කාලගුණ විද්‍යාවට අනුව අදහස් ප්‍රකාශ කිරීම සාත්තර කියනවා වගේ කිව නොහැකි බවත් එය දත්ත විශ්ලේෂණය කර කිවයුතු බවත් ඒ මහතා කීය.

රටේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව මැයි 05 වැනිදා වාරිමාර්ග, විදුලිබල ඇතුළු රාජ්‍ය ආයතන 38 ක නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී දැනුවත්වීම් සිදු කළ බවත් එම අදහස් ගොවීන් සහ අනෙකුත් ප්‍රජාව වෙත රැගෙන යෑම ඒ ඒ ආයතන විසින් සිදුකළ යුතු බවත් ඒ මහතා කීය. එම පිරිස්වල නම් ගම් පවා තිබෙන බවද ඔහු කීය. කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීම දකුණු ආසියාතික රටවල්වල කාලගුණ විද්‍යා ආයතන ඇතුළු ආයතන කිහිපයකින් තොරතුරු ලබාගෙන සිදු කරන බව ද ඒ මහතා පැවසීය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (20 දා) වාර්තා කර තිබුණි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වර්ෂාව ලැබී තිබුණත් එය මිලිමීටර් 10 කට අඩුවෙන් වාර්තා වී තිබිණි.

මේ අතර දිස්ත්‍රික්ක 15 කට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් 60,990 කට අයත් පුද්ගලයින් 2,10,798 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පීඩාවට පත්ව ඇත්තේ රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම, මුලතිව්, වවුනියාව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, ගම්පහ, මාතලේ යන දිස්ත්‍රික්ක වේ.

රත්නපුරයේ පවුල් 10050 ක පුද්ගලයින් 41876 ක්, මඩකලපුව පවුල් 8892 ක පුද්ගලයින් 29508 ක්, අම්පාර පවුල් 18951 ක පුද්ගලයින් 63136 ක්, යාපනය පවුල් 21999 ක පුද්ගලයින් 70238 ක්, වවුනියා පවුල් 23603 ක පුද්ගලයින් 75287 ක් වැඩි වශයෙන් පීඩාවට ලක්ව සිටී.

පවතින වියළි කාලගුණයත් සමඟ වනෝද්‍යානවල සතුන්ගේ පරිභෝජනය සඳහා ජල පිරවුම් කටයුතු සිදු කරන බව එහි මාධ්‍ය අධ්‍යක්‍ෂ හසිනි සරත්චන්ද්‍ර මහත්මිය සඳහන් කළාය. වනෝද්‍යාන තුළ සංචාරක කලාප ආශ්‍රිත ජල පිරවුම් ස්ථාන සකසා ඇති බවත් ඒවාට බවුසර් ආධාරයෙන් ජලය පිරවීම සිදු කරන බවත් ඇය කියා සිටියාය.

සංචාරකයන්ට බාධාවකින් තොරව වන සතුන් නැරඹීමේ අවස්ථාව ලබාදී තිබෙන බවද ඇය කීවාය. වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ උඩවලව ජාතික වනෝද්‍යානයට බවත් ඇය කියා සිටියාය. යාල වනෝද්‍යානයට අවශ්‍ය ජල පිරවීම් කටයුතු මැණික් ගඟ භාවිත කරමින් සිදු කරන බව ද ඇය කීවාය.

නියඟය නිසා සිඳී ගිය වැව් සහ දියකඩිති ආශ්‍රිතව දිය වළවල් සකස් කර එම ජලයට වස මිශ්‍රකර වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් සිදුවන බවත් එසේ විෂ ශරීර ගතවී ඇති සතුන්ගේ මස් මිනිස් පරිභෝජනයට ඉතා අහිතකර යැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටී.

නියං කාලවලදී වතුර සොයා යන සතුන් දඩයම් කරන මස්වැද්දන් කොටුකර ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ වැටලීම් සිදු කරන අතර ඒ සඳහා ‘1992’ අංකයට තොරතුරු ලබාදෙන ලෙස ද ඉල්ලා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment