ඩුබායි පැන්න මහ ජාවාරමාගේ මත්කුඩු ලංකාව පුරා බෙදුව ‘ජානා’ වලානට කොටු

119

ඩුබායි හි රැඳී සිටිමින් මෙරට තුළ මහ පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දේවේන්ද්‍ර නමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරු වන ‘මාදංගහවත්තේ ජානා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා රුපියල් ලක්‍ෂ 50 කට වැඩි වටිනාකමින් යුත් මත්කුඩු තොගයක් සමග වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොනරාගල කුඩාඔය ප්‍රදේශයේදී (12 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරම්කරු යුක්තියේ මෙහෙයුමට බියෙන් මොනරාගල කුඩාඔය ප්‍රදේශයේ රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

මෙම ප්‍රධාන ජාවාරම්කරු තවත් ගෝලයන් තිදෙනකු මාර්ගයෙන් ගල්කිස්ස, රත්මලාන, මොරටුව, පානදුර, කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදාහරින බවට ලැබුණු තොරතුරු මත ඔවුන් තිදෙනා ද මොරටුවේදී පොලිස් කණ්ඩායම් තුනක් යොදවා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20 කට ආසන්න ප්‍රමාණයක්, අයිස් ග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක්, මුදලින් රුපියල් 234,480 ක් හා යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන ඇත. ජානා නමැති ප්‍රධාන ජාවාරම්කරුට, මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් 2023 ජුනි 06 වැනිදා විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති අතර, මොහුට එරෙහිව අරගල සමයේ මොරටුව අලුත් පාර මත්පැන් හලක් කොල්ලකෑම සම්බන්ධයෙන් මොරටුව අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග හා උපදෙස් මත එම බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහේන්ද්‍ර, පොලිස් පරීක්‍ෂක සම්පත්, උප පොලිස් පරීක්‍ෂකවරුන් වන සඳරුවන්, රත්නායක, චතුරංග, ජයවීර, පොලිස් සැරයන්වරුන් වන (34950) සම්පත්, (38713) ක්‍රිශාන්ත, (428) ජයලාල්, (1445) බටුවත්ත, (409) විජේරත්න, (75056) ඉන්දික, පොලිස් සැරයන් රියැදුරු (11919) අජිත්, පොලිස් කොස්තාපල්වරුන් වන (77090) බාලසූරිය, (84889) උදයකුමාර, (87119) අමිල, (39850) අශාන්, (91305) රශ්මික ඇතුළු නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ. සැකකරුවන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට මොරටුව සහ කුඩාඔය පොලිස් ස්ථාන වෙත භාරදී තිබේ.

හේමන්ත රන්දුණු – චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment