ජීවිතය, කුඹුර සහ මරණය

609

තියෙන කරදර මදිවාට වසංගත රෝග කීපයක් ම හිස ඔසවන්නට පටන් ගෙන තිබේ. ඉන්ෆුවන්සා, ඩෙංගු, කොරෝනා, මී උණ, මැලේරියා යනාදිය තියෙන කරදර මදිවාට ආ අලුත් කරදරය. සාමාන්‍යයෙන් වැස්සට පසුව සාරවත් පරිසරයක් බිහිවීම සොබාදහමේ ලකුණ වී තිබේ. වැසි ජලයෙන් පෝෂණය වූ ගහකොළ දලු මල් දමමින් වැඩෙණු දැකිය හැකිය. එහෙත් මනුෂ්‍යයා විසින් සොබාදහම කෝපයට පත් කිරීම හේතුවෙන් දැන් වැස්සෙන් පසු දැකගත හැක්කේ වසංගත රෝග ය. ඊට අමතරව ගංවතුර මරණ ද වාර්තා වේ. ඊටත් අමතරව ගංවතුරෙන් අනාථ භාවයට පත් පොඩිඑකාගේ සිට මහඑකා දක්වා අය ගැන ද තොරතුරු ප්‍රසිද්ධියට පත් වේ. මැලේරියාව යනු මීට අවුරුදු විසිපහකට හෝ තිහකට පමණ පෙර මේ රටේ සම්පූර්ණයෙන් ම තුරන් කරන ලදැයි සැළකෙන උණ වර්ගයකි. දැන් අවුරුදු දෙකක පමණ සිට මැලේරියාව සැලකිය යුතු පමණින් හිස ඔසවන්නට පටන් ගෙන තිබේ. ඒ අතර මෙවර උණ වාරයේදී මී උණ වසංගතය ද ඉතා භයානක ලෙස හිස ඔසවා ඇත. මීයා යනු පරිසරයේ කොටසකි. එහෙත් උන් චූ කළ විට වැඩේ අල වෙයි. විශේෂයෙන් ම මීයා චූ කරන්නේ වෙළක, මඩගොහොරුවක හෝ ජලාශ්‍රිත තැනක නම් වැඩේ අලම අල වන බව අපි මතක තබාගත යුත්තෙමු. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය කියන පරිදි ඉකුත් අප්‍රේල් මාසය අවසන් වන විට මේ රටෙන් වාර්තා වූ මී උණ රෝගීන් ගණන 2642 කි. ගාල්ලෙන් වාර්තා වූ මී උණ රෝගීන් 326 කගෙන් රෝගීන් 19ක්ම මිය පරලොව ගොස් ඇත. මී උණ හඳුන්වන විiාත්මක නාමය වන්නේ Leptospirosis ය. නමේ හැටියට මෙය ඉතාමත් වැදගත් පෙනුමක් දෙන ලෙඩකි. මේ වැදගත්කම උපරිම තැනට ගිය විට ලෙඩා මියයයි. මී උණ යනු නගරයට එතරම් හුරුපුරුදු රෝගයක් නොවේ. මෙයින් අදහස් කෙරෙන්නේ නගරයේ මීයන් චූ නොකරන බවක් නොව, එම මුත්‍රාවල ඇති බැක්ටීරියා වර්ධනය වීමට අවශ්‍ය පාරිසරික පසුබිම නගරයේ නොමැති බව ය. මේ රෝගය පතල් උණ සහ වෙල් උණ යනුවෙන් ද ප්‍රසිද්ධ ය. සාමාන්‍යයෙන් පුරන් කුඹුරුවල මී ගුල් බහුලව තිබේ. තම ජනාවාසය අවට මුත්‍රා කිරීමේ අයිතිය මීයන්ට ඇත. Leptospirosis බැක්ටීරියාව සහිත මූෂික මුත්‍ර පුරන් වූ කුඹුරු යායේ මඩ කාගෙන යටට බසින අතර, එම කුඹුර මැදින් මඩ ගොඩේ ඇවිදගෙන යන ගොවීන්ට අදාළ බැක්ටීරියාව ප්‍රහාර එල්ල කරයි. පතල් තුළ ද මේ ප්‍රශ්නය මේ විදිහටම තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවේ මැණික් ගරන්නන් වැඩි දෙනා පතල් කපන්නේ කුඹුරුවලය. එය සහසුද්දෙන්ම තහනම් ක්‍රියාවක් වුවද, පළාතේ ජන ප්‍රධානීන් ෂේප් කරගත් විට වෙළේ පතල් කැපීම ගොඩදමා ගත හැකිය. එම පතල්වල ද අප හිතමිතුරු මීයා විසින් නිකුත් කරන බැක්ටීරියාව ඇත. මේ බැක්ටීරියාව බොහෝ විට ශරීරයට ඇතුළු වන්නේ පාදවල ඇති තුවාලවලිනි. පාදයක ඇති ඇතැම් තුවාලයක් ඇසට නොපෙනෙන තරමට ක්‍ෂුද්‍රය. මී උණ බැක්ටීරියාව ඊටත් වඩා ක්‍ෂුද්‍ර ය. ඒ නිසා වැඩි කරදරයක් නැතිව යටිපතුලෙන් පටන් ගෙන මොළය දක්වා ගමන් කිරීමේ හැකියාව Leptospirosis විෂබීජයට ලැබේ. මේ විෂබීජය සිය ටි්‍රප් එක පටන් ගත් විට මගින් නැවතීමක් නැත. බැක්ටීරියාව ශරීරගත වී දින 2 – 14 අතර කාලය තුළ රෝග ලක්‍ෂණ හටගනී. උණ, මස්පිඬු වේදනාව, ඇස් රතුවීම, හිසරදය, මුත්‍රා කහ පැහැ වීම, මුත්‍රායෑම අඩුවීම, අප්‍රාණික බව යනාදිය මේ රෝගයේ රෝග ලක්‍ෂණ වේ. ලොකුම ප්‍රශ්නය වී තිබෙන්නේ ඩෙංගු රෝගය හැදුනත් රෝගියාට මේ කියන රෝග ලක්‍ෂණවලින් සියයට 75 ක් පමණ පහළවීමය. ඊටත් අමතරව කොරෝනා හැදුනත්, ඉන්ෆුවන්සා හැදුනත් මේ රෝග ලක්‍ෂණවලින් වැඩි හරියක් මතු වේ. එබැවින් තමාට හැදී ඇත්තේ මී උණ යැයි කවුරුත් කල්පනා නොකරති. එම අනවබෝධය නිසා ශරීරය තුළ රිසි සේ හැසිරී රෝගියාට මරණය ළඟා කිරීමට Leptospirosis පුළුවන. පිටිසරබද පළාත්වල සිටින ඇතැම් ගොවි ජනතාව කිසියම් උණ රෝගයක් හැදුන විට අදටත් තෙල් මතුරා නූල් බඳිති. මේ බකපණ්ඩිත වැඩවලින් මාරයාට පමණක් ප්‍රයෝජනයක් ඇත. මේ නවීන යුගයේදී මතුරපු තෙල්වලටවත් මතුරපු නූල්වලටවත් කළ හැකි කිසිදු දෙයක් නොවේ. එවැනි ප්‍රතිකාරවල අවසානයේදී රෝගියා මාරයා සමඟ අලුත් ගමනක් ආරම්භ කිරීම ෂූවර් ය.

කෙසේ වුවද කුඹුරු ජලයේ මී උණ බැක්ටීරියාව තිබීමට එරෙහිව කිසිවක් කිරීමට ගොවියාට නොහැක. සමහර විට එම ජලයට කිසියම් බැක්ටීරියා නාශකයක් එකතු කර Leptospirosis විෂබීජය මරා දැමිය හැකිද යන්න අපි නොදන්නෙමු. සමහර විට එබන්දක් කළ හැකි ද යන්න ආණ්ඩුවේ සෞඛ්‍ය අංශ දන්නවා ඇත. එහෙත් ඒ සියලු දෙනා කිසිවක් නොදන්නා සේ සිටීමෙන් අන්තිමේදී මී උණ විෂබීජය ජය ගනී. ගොවියා කුඹුරට යා යුතුමය. ඔහු කුඹුරට නොබැස්සොත් එම කුඹුර ගොවිතැන් කළ නොහැක. කුඹුර ගොවිතැන් නොකළහොත් බත් නැත. බත් නැති කල බඩ නොපිරේ. බඩ නොපිරුණු විට ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබී ගොවියා රෝගී වී ඔහුගේ මරණය සිදු වේ. එබැවින් Leptospirosis විෂබීජය දියබුං ගසන්නේ ජීවිතය, කුඹුර සහ මරණය යන කලාප තුන අතරය.

සමහර විට අපේ පිටිසරබද ජනතාව බක පණ්ඩිතයන් වන බැවින් කිසිදු දෙයක් හරියාකාරව කර ගැනීමට නොහැකිය. සමහරු කොරෝනා සමයේදී කොරෝනා එන්නත අනවශ්‍ය බව කියමින් එය එන්නත් කරගැනීමෙන් වැළකී සිටියහ. එමතුද නොව කොරෝනා එන්නත නිසා කකුල් පණනැති බවත්, අත් පණනැති බවත් කියමින් එම එන්නතට නිග්‍රහ කළහ. අපේ රටට කෙළවීමට එක හේතුවක් වන්නේ මේ බකපණ්ඩිත කමයි. ‘බක’ යනුවෙන් හඳුන්වන්නේ ගෙම්බා ය. පුදුම වැඩේ කියන්නේ ගෙම්බන් වැඩි වශයෙන් සිටින්නේ ද කුඹුරේම වීමය.

advertistmentadvertistment
advertistmentadvertistment