ප්‍රවේශමෙන්! මිථ්‍යාව වපුරන කපු වෙද්දු

1893

මෙම කතාව සිදුවන්නේ 2016 වර්ෂයේ පෙබරවාරි මාසයේදී පොතුවිල් ප්‍රදේශයේදීය. එක්තරා පවුලක දියණියක් කළුකුමාර දිෂ්ටිය වැටී ඇති බවට සැක කළ ඇගේ දෙමාපියෝ ඇයගේ එම දෝෂය ඉවත්කර ගැනීම සඳහා වීවරධාරියකු වෙත යොමු වන්නාහ. මෙම චීවරධාරියා අපලවලට ගුරුකම් කිරීමට දක්‍ෂයකු බවට පැතිර ගිය ආරංචි ඔස්සේ එම දෙමාපියෝ මෙම කපුවා සොයාගෙන එහි ගොස් ඇත. එහිදී මෙම චීවරධාරි කපුවා පවසා ඇත්තේ දියණියගේ ඇඟේ පවතින කළුකුමාර දිෂ්ටියට ඉවත් නොකොළොත් ඇයගේ අධ්‍යාපනය පවා විනාශ විය හැකි බවයි. කපුවාව විශ්වාස කළ මෙම දෙමාපියෝ කපුවා ගුරුකම් කරන කුටියක් වෙත තම දියණිය රැගෙන ගොස් තිබේ. එම අවස්ථාවේදී මෙම චීවරධාරී කපුවා අණකොට ඇත්තේ ශාන්තිකර්මය කරන අතරතුර මෙම දියණිය පමණක් කුටියේ රැඳී සිටිය යුතු බවයි. ඊට කීකරු වූ මෙම මෝඩ දෙමාපියෝ තම දියණිය කපුවා සමග කුටියේ තනිකර එළියට පැමිණ ඇත. එම අවස්ථාවේදී මෙම කපුවා මෙම දියණියට දුමක් අල්ලා සිහිවිකල් තත්ත්වයට පත්කොට ඇයට අතවර කර තිබේ. මෙම සිද්ධියට අදාළ නඩුව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී විභාගයට ගැනුණු අතර එහිදී පැමිණිල්ල මෙහෙයවූ එවකට ජාඇල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ රංජිත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ මෙම චීවරධාරියාට එරෙහිව මෙවැනි තවත් කාම අපරාධ දෙකක් සම්බන්ධයෙන් නඩු දෙකක් පවතින බවයි.

සාක්ෂරතාව අතින් අප රට ඉහළ තැනකට පැමිණ තිබුණ ද නූගත් මෝඩ ගෝත්‍රිකවාදී අදහස් ඇති මිනිසුන් තවමත් අප රටේ සිටින බව ඉහතින් සඳහන් කළ පුවත අනුව පැහැදිලිය.

කාලය ඉක්ම ගියත් තාක්‍ෂණය අතින් අප ඉහළ තලයකට පැමිණියත්, සාපේක්‍ෂව ගත් කල අප රටේ හොඳ වෛද්‍ය සේවයක් තිබුණත් යාග හෝම විශ්වාස කරන මෝඩ තකතීරු මිනිසුන් තවමත් අප රටේ සිටින බව පෙරේදා (29දා) අතුරුගිරිය පොලිසියෙන් ඇසුණු කතාවෙන් පැහැදිලිය.

එම කතාව කෙටියෙන් මෙසේ පෙළගැස්විය හැක.

හෝමාගම ප්‍රදේශයේ 34 හැවිරිදි අයකු කපුවකු ලෙස ප්‍රසිද්ධය. ඔහු යාග හෝමවලින් රෝගීන් සුවපත් කරන බවද පැවසේ. මේ ගැන විශ්වාස තැබූ දෙමාපිය යුවළක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තම දියණිය මෙම කපුවා ළඟට රැගෙන යන්නේ යාග හෝම සිදුකර තම දියණිය සුවපත් කර ගැනීමටයි. එහිදී මෙම කපුවා තම නිවසේ නේවාසිකව රඳවාගෙන දියණියට ප්‍රතිකාර ලබාදීමට දෙමාපියන් කැමති කරවාගෙන ඇත. ඇය එලෙස මාස තුනක් තිස්සේ රඳවාගෙන අතවර කර ඇති බව වාර්තා වෙයි. ඇය ගැබිනියක් වී ඇති බවට සැක කළ කපුවා දෙමටගොඩ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගෙන ගොස් ඒ පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙසට ඉල්ලා සිටි අවස්ථාවේදී එම වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කළ පිරිස උපක්‍රමශීලීව කටයුතු කර එය පොලිසියට දැනුම් දුන් නිසා මෙම කපුවාගේ ක්‍රියාකලාපය හෙළිදරව් කිරීමට හැකි වී තිබේ.

අප රටේ මොන තරම් අර්බුද තිබුණ ද නිදහස් සෞඛ්‍ය සේවය නිසා ඕනෑම තරාතිරමක අයකුට නොමිලේ ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව හිමිව තිබේ. ඕනෑම කායික රෝගයකට මෙන්ම හදවත, මොළය ඇතුළු අතිශය සියුම් ස්ථාන පවා ශල්‍යකර්මවලට භාජනය කරමින් මිනිස් ජීවිත බේරා ගන්නා අති දක්‍ෂ වෛද්‍යවරු අපට සිටිති. එසේම කායික රෝගවලට මෙන්ම විවිධ මානසික රෝගවලට ද ප්‍රතිකාර කරන සුවිශේෂී වෛද්‍යවරු ද අප රටේ සිටිති. එනිසාම තම දරුවකුට කායික හෝ මානසික රෝගයක් වැළඳුණු කල අප යා යුත්තේ කට්ටඬින් වෙත නොවන බව වැඩිහිටියෝ තේරුම් ගත යුතුය. මිථ්‍යා මත විශ්වාස කරමින් ඒ මත යැපෙන අපේ ඇතැම් වැඩිහිටියෝ නිසා අපේ දරුවන් අමාරුවේ වැටෙන අවස්ථා තිබේ. අප ඉහතින් සඳහන් කළ සිදුවීම් දෙකම ඊට නිදසුන්ය.

මිථ්‍යාව වපුරමින් මිථ්‍යාව විකුණමින් අන් අයගේ ජීවිත විනාශ කරන මෙවැනි දෙකයි පනහේ වෙද්දු අප රටේ තවත් අනන්තවත් සිටිති. මොවුන්ගේ පැවැත්ම රඳා පවතිනුයේ විද්‍යාත්මක දේ විශ්වාස නොකර නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරන මිනිසුන් නිසාවෙනි. අප රටේ රෝගීන් සුවපත් කිරීම සඳහා අතීතයේ සිටම විවිධ සරල ශාන්තිකර්ම පැවතිය ද ඉන් ජනතාවට විපතක් අත්නොවිණි. එහෙත් අද වනවිට බිහිවී සිටිනුයේ තනිකරම දොලපිදේණිකාරයන් සෙට් එකකි. ලෙඩ්ඩු සුවපත් කරන බව පවසා අතේ ඇති පිච්චියත් කොල්ලකන මෙම සෙට් එක අවසානයේ දියණියන්ගේ මව්වරුන්ගේ, බිරින්දෑවරුන්ගේ ආත්ම ගෞරවයත් විනාශ කරති. එනිසාම අප මහත් ඕනෑකමික් වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනුයේ ලෙඩක් දුකක් හැදුණු විට තම දරුවන් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු කරන ලෙසයි.

කුමන තත්ත්වයක් යටතේ වුවද කුමන අවස්ථාවකදී වුවද මිථ්‍යාවට යට නොවී ජීවත්වීමට අප පුරුදු විය යුතුය. බෞද්ධයන්ගේ මහත් භක්ත්‍යාදරයට මෙන්ම ගෞරවයට පාත්‍ර වූ අවුකන පිළිම වහන්සේට සිවුරු පොරවා අපල දුරකර ගන්නට ඇතැමුන් උත්සාහ කරන්නේ මිථ්‍යාවට යටව සිටින නිසාවෙනි. අවුකන පිළිම වහන්සේට අලුතින් සිවුරු පෙරවිය යුතු නැත. ඒ උත්තරීතර නිර්මාණයේ ඊට ගැලපෙන සිවුරක් නිර්මාණය කර තිබේ. එනිසා අප යළි යළිත් අවධාරණය කරනු ලබන්නේ මිථ්‍යාවෙන් නොව බුද්ධියෙන්, ප්‍රඥාවෙන් තමන්ට එන ගැටලු ලිහා ගැනීමට ජනතාව ක්‍රියාකළ යුතු බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment