අවදියෙන් සිටීම යහපතට හේතුවකි

935

පසුගිය සිකුරාදා කාත්තන්කුඩි පොලිස් වසමේ පාලමුණු – ආරියම්පති ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සහරාන් හෂීම්ගේ මස්සිනා ඇතුළු 30 දෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. සිකුරාදා දින අලුයම් කාලයේදී කාත්තාන්කුඩි පොලිස් වසමේ පාලමුණ – ආරියම්පති ප්‍රදේශයේ තාවකාලිකව ඉදි කළ මඩුවක් වැනි ස්ථානයක පුද්ගලයන් 30ක පමණ රැස්ව සිටින බවට කාත්තන්කුඩි පොලිසියට තොරතුක් ලැබී තිබුණි. පසුව එතැනට ගිය පොලිස් නිලධාරීන් එහි සිටි පුද්ගලයන් 30 දෙනකු යම් අපරාධ ක්‍රියාවක් හෝ රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සිදුකිරීමේ අරමුණින් රැස්ව සිටින බවට වූ සැකය මත අත්අඩංගුවට ගෙන තිබුණි. මේ සැකකරුවන් අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ නැගණියගේ ස්වාමිපුරුෂයා හා ඔහුගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනකුද සිට ඇත. ඇත්තෙන්ම මේ කණ්ඩායම ඇප මත මුදාහැරියද මොවුන් කුමක් සඳහා සූදානම් වන්නේද යන්න ගැන නිරන්තරව සෙවිල්ලෙන් සිටීම බුද්ධි අංශවල කාර්යභාරය විය යුතුය. සහරාන් 2019 අප්‍රේල් ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගැනීමට හැකි වූවානම් සියල්ල ආපසු හැරෙන බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් හොරා පොලිස් සෙල්ලම් නිසාම පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට හැකිවූ අතර තවමත් මහමොළකරු සෙවීමට ආගමික කණ්ඩායමක් උත්සාහ කරයි.

සහරාන් හෂීම්ගේ මස්සිනා නැවත ආගමික අන්තවාදය උත්සන්න කිරීමට උත්සාහ ගන්නේද? නැත්නම් ජිහාඩ් යුද්ධයක සිහින දකින්නේද යන්න ගැන අපට සැකයක් ඇතිවේ. රට ස්ථාවරව පවතින විට ඒ සාමකාමී වාතාවරණය විනාශ කරන්නට යම් කණ්ඩායමක් උත්සාහ ගන්නේ නම් එය වැළැක්විය යුතුය. පාස්කු ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් විය. නමුත් දැන් එය වේගයෙන් හිස ඔසවයි. නැවත අන්තවාදී ත්‍රස්තවාදයකට ඉඩ දියයුතු නැත. රට බංකොලොත්වීමටද පාස්කු ප්‍රහාරය නිසා ආර්ථිකයට එල්ල වූ බලපෑම කෙළින්ම බලපෑ බව පැහැදිලිය. පෙබරවාරි මාසයේ පමණක් මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවා ඇති අතර මේ වසරේ මුල් මාස දෙක තුළ ලැබූ සංචාරක ආදායම ඩොලර් මිලියන 700 ඉක්මවා තිබේ. එනිසාම අප මේ සාමකාමී වාතාවරණය සුරක්ෂිත කළ යුත්තේ රට ඉදිරියට ගෙන යෑම පිණිසය. සහරාන්ගේ මස්සිනාට අවශ්‍ය කුමක්ද? ඒ ගැන සොයා බලා නිසි පිළිතුරු ලබා දීම ආරක්ෂක අංශවල වගකීමකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවට අනුව වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ගේ ඉහළම අගය වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදීය. 2018 වසරේදී සංචාරකයන් විසි තුන් ලක්ෂ තිස් තුන්දහස් හත්සිය අනූ හය (2,333,796) දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය සංචාරකයන්ගේ පැමිණීමේ 10.3% වර්ධනයක් බව මහ බැංකුව පවසයි. එසේම ‘ලෝන්ලි ප්ලැනට්‘ (Lonely Planet) විසින් 2019 වසරේ සංචාරය කිරීමට හොඳම රට ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ලැබුවේ 2018 වසර අගදීය. නමුත් සහරාන්ගේ ප්‍රහාරය නිසා මේ සියල්ල සමතලා විය. පාස්කු බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමග අත්‍යවශ්‍ය කරුණකට හැරුණු කොට වෙනත් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවේ සංචාරයේ නොයෙදෙන ලෙස එක්සත් රාජධානිය ඇතුළු රටවල් ගණනාවක් සිය පුරවැසියන්ට උපදෙස් දී තිබිණි. දැන් මේ සියල්ල ආපසු සමථයකට පත්ව ඇත. දැන් දිනකදී සංචාරකයෝ දස දහසක් පමණ මෙරටට පැමිණෙති. එනිසාම රටේ සාමකාමිත්වය සුරක්ෂිත කිරීම සියලු බලධාරීන්ගේ වගකීම වේ. එනිසාම සහරාන් ගෝලයින්ගේ ක්‍රියාකාරකම් ගැන බුද්ධි අංශ වෙනදාටත් වඩා සුපරික්ෂාකාරී විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment