අගනා ධර්මපාලනයක් ඕනෑ කර ඇත

565

(අනගාරික ධර්මපාලතුමන්ගේ 159 වැනි ජන්මදිනය නිමිත්තෙනි)

ගතවූ සියවස තුළ මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් අතර ඉහළින්ම අනගාරික ධර්මපාල යන නාමය කියැවෙයි. ඔහු සිය නමට ගැළපෙන සේ දිවි ගෙව්වා පමණක් නොව අනුනද ඒ සඳහා යොමු කොට අනාගත පරම්පරාවටද නිසි ගමන් මග කියා දුන්නෙකි. ධර්මපාල තුමාගේ සුවිශේෂීත්වය වූයේ ඉන්දියානුවන්ටද රැක, අනාගත පරම්පරාවට උරුම කර දීමට නොහැකිව තිබූ ශ්‍රී සම්බුද්ධ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට දැක්වූ අපරිමිත දායකත්වයයි. ධර්මයේ ආරක්ෂකයා වෙමින් ඔහු ඇති කළ බෞද්ධ පුනරුදය සමස්ත ලෝකයටම ආභරණයක් වී අවසන්ය. ධර්මපාලතුමා නොසිටියේ නම් ලෝක උරුමයක් වන බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සිදු වූ බුද්ධගයාව බෞද්ධයන්ට වන්දනා මාන කිරීමට හෝ තිබූ තැනක් හෝ සොයා ගැනීමට නොහැකි වනු ඇත. එසේ නම් ඒ උතුම් වූ පුදබිම අන්‍යාගමික මහන්තාවරයාගෙන් මුදා ගැනීමට කවරකු නම් පෙරමුණ ගනු ඇත්ද?.

ශ්‍රී ලංකා රාජ්‍යය විදේශීය ආධිපත්‍යයට නතුව පැවති සමයක, රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන්, අභීතව පෙනී සිටි අනගාරික ධර්මපාලතුමන් කළ කැපවීම ඓතිහාසිකය. ඔහු මෙරට තුළ නව බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළා පමණක් නොව දේශීයත්වයට මුල් තැන් දීමට පෙරමුණ ගත්තේය. හරක් මස් කෑමට විරුද්ධව ඔහු රට පුරා ඇවිද්දේය. මත්පැන් පානයෙන් සිදු වන අගතිය කල් තියාම ප්‍රකාශ කළ ඔහු මත්පැන් පානය තදින්ම විවේචනය කළේය. දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කිරීමට පෙරමුණ ගත්තේය. පන්සිල් රැකීම ජාතික වගකීමක් කළේය.

කෙසේවෙතත් කුඩා කල සිටම කතෝලික දහම සෙවනේ හැදී වැඩුණු සහ අධ්‍යාපනය ලද එවකට දොන් ඩේවිඩ් හේවාවිතාරණ බෞද්ධ වූයේ කෙසේද? යන්න කා තුළත් ඇති වූ පැනයකි. ඔහුගේ එම වෙනස්වීමට බලපෑ ප්‍රධානම හේතුව වූයේ ඔහුගේ දෙමාපියන් අචල ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් වීමය. නව හැවිරිදි වියේදී, සිය පියා විසින් කුඩා හේවාවිතාරණ සිල් සමාදන් වීම පිණිස පන්සලට යොමු කර ඇති අතර පුරා දිනක් සිල් ගැනීම ඔහුගේ ජීවිතය වෙනස් කිරීමට හේතුවක් වී තිබේ.

කාලයාගේ ඇවෑමෙන් අනගාරික ධර්මපාල වූ ඔහු දුරාචාරයන් වැළඳගෙන සිටි සිංහල මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමට මහත් වෑයමක් ගත්තේය. ඒ ඔහුගේ චතුර කථිකත්වය තුළින්ය. හොඳ ව්‍යාපාරික පවුලකින් පැවත ආ ඔහු විටෙක දේශීය ව්‍යවසායකයන්ට අත්වැලක් විය. මෙරට ප්‍රමුඛතම බෞද්ධ පාසලක් වන ආනන්ද විද්‍යාලය ඇතුළුව බෞද්ධ පාසල් ආරම්භ කිරීමෙහිලා පුරෝගාමියෙක් ද වූ ඔහු සිංහල ජනතාවට දැහැමෙන් සෙමෙන් ජීවිත ගත කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නෙකු විය. ධර්මපාල වැන්නන්ගේ අවශ්‍යතාව අදටත් ජාතියට දැනී ඇත. අද අපගේ ජාතිය ඉබාගාතේ ඇවිද යනවා වැනිය. අරමුණක් නැති ජාතියකට ධර්මපාල වැනි හිසක් අවශ්‍ය වී ඇත. ඔහු සතු වූ දැක්ම ඉතා පුළුල් විය. එවැනි දැක්මක් අදටත් අවශ්‍ය වී ඇත. ඔහු එදා රට ජාතිය, ආගම වෙනුවෙන් සියලු කාර්යයන් කරන ලද්දේ විදේශිකයන්ට යටත් වූ රටක පුරවැසියකු ලෙසය. ඔහුට රාජ්‍ය බලයක් හෝ වෙනත් කිසියම් හෝ පිහිටක් නොවීය.

අද වන විට රාජ්‍ය බලය සහිත නායකයන්, ආණ්ඩු විවිධ මුහුණුවරින් පත් වුණද ජනතාවගේ සිතුම් පැතුම් රජ වී නැත. එදා වසර ගණනාවක් තිස්සේ සිය අරමුණු සඵල කර ගැනීමට වෙහෙස වූ ධර්මපාල නම් අභීත වීරයා පසුව පැවිදි දිවියට ඇතුළත් විය. අපටද අවශ්‍ය වී ඇත්තේ සිය රාජකාරිය නිසි ලෙස ඉටු කරමින් විශ්‍රාම ගන්නා රාජ්‍ය පාලකයන්ය. රාජ්‍ය නිලධාරීන්ය. එහෙත් වර්තමානයේ සිටින නායකයන් කටයුතු කරන්නේ සිය විශ්‍රාම වයස සිර ගෙදරින් අවසන් කරන්නට මෙනි. එය ජාතියේම අභාග්‍යක්ය.

advertistmentadvertistment
advertistmentadvertistment