හූනියමට (මුර පද) “පාස්වර්ඩ්” ය.

අන්තර්ජාල “තොවිල් බඩු”

අෂ්ට කර්මයේ හෝඩිය නොදන්නා උදවියගේ අමුතු තොවිල්

මීට දශකයකට හමාරකට පෙර සිට මම හූනියම් බඩු වශයෙන් ප්‍රකට සත්ව, ශාක සහ පාෂාණ කොටස් සහිත මවිසින්ම සකසා ගත් තුන්ඩුවක් රැගෙන ගොස් මහරගම, කඩවත හා ගම්පහ තොවිල් බඩු අලෙවි කරන බව පැවසෙන වෙළෙඳ සල් කිහිපයකට දී ඇත්තෙමි. “මේවා ඔක්කොම නම් නෑ …. කීපයක් ගන්න පුළුවන්” මා දුන් තුන්ඩුව කියැවූ ඇතැම් ව්‍යාපාරිකයෙක් කීය. ඒ අතර තවත් ව්‍යාපාරිකයකු කියා සිටියේ “මේවා දෙන්න පුළුවන්; නමුත් අද නම් බෑ” යනුවෙනි. ඒ අතර සැපයුම්කරුවන් ලවා ලබා ගෙන ඒවා දිය හැකි බැවින් ඒ සඳහා අත්තිකාරම් මුදලක් තබා යන ලෙස පැවසූ ව්‍යාපාරිකයෝ ද වූහ. ඒ අතර තවත් ව්‍යාපාරිකයකු මගෙන් පෞද්ගලික වත ගොත විමසා මේවා ගැන ඔබගේ ගම් ප්‍රදේශවලින් නොවිමසා මෙපමණ දුරක් පැමිණියේ මන්දැයි විමසා සිටියේ මා පිළිබඳ කිනම් හෝ සැකයකින් මෙනි.

අතීතයේ ගම්බද ප්‍රදේශවල වැඩිපුර දක්නට ලැබුණු සිංහල බෙහෙත් බඩු කඩ මේ වන විට නාගරික ප්‍රදේශවල වැඩි වැඩියෙන් දක්නට ලැබේ. වැඩිපුර දක්නට නොලැබුණුද ඒ සිංහල බෙහෙත් බඩු කඩවල “තොවිල් බඩු” යනුවෙන් සඳහන් වෙනම කොටස් ද මේ වන විට සැකසී තිබේ. ඒ තොවිල් බඩු අතරේ ද “හූනියම් බඩු” වශයෙන් සම්මත සත්ව, ශාක සහ පාෂාණ කොටස් අතීතයට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් වැඩි මිල ගණන්වලට විකිණෙන බව බොහෝ දෙනකු නොදත් සත්‍යයකි. ඒ වර්තමානයේ හූනියම නාගරික සමාජයේ ජනකාන්ත බවට පත්ව ඇති පසුබිමකය.

සව් ගම් නියම් ගම්

හූනියම් යනු අන්ධ ගැමි විශ්වාසයක් බවට මීට දශක කිහිපයකට ඉහත පැවැති නාගරික සමාජ මතය මේ වන විට උඩු යටිකුරු වී තිබේ. ඒ මේ වන විට ගම්මුන්ට සාපේක්ෂව නාගරිකයන් අන වින හදි හූනියම් වශයෙන් සැලකෙන කෘෂ්ණභිචාර (ඊක්ජන ඵ්ටසජ) කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇති බැවිනි. එමෙන්ම ඉතා අප්‍රකට ලෙස ඔවුන් එම කටයුතු වල යෙදෙන බව ද පෙනේ. මේ වන විට අසීමාන්තිකව ඉහළ නැංවී ඇති සමාජමය තරගය ඊට හේතු වී ඇති බව නොරහසකි. ඒ අනුව ඉහළ මධ්‍යම පාන්තික සමාජයේ දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් සේම ඇතැම් වෘත්තිකයන් ද තම ආර්ථික සහ සමාජමය තරගකරුවන් පැරදවීම වෙනුවට වනසා දැමීමට මෙම ගුප්ත උපාය මාර්ග යොදනු පෙනෙයි. අතීතයේ යකැදුරන්ගේ මඟ පෙන්වීම මත ඒවා සිදු කරන්නවුන් වාණිජ නොවන ක්‍රම මඟින් උපයා සපයා ගත් හූනියම් බඩු මේ වන විට විශාල ඉල්ලුමක් සහිත වාණිජ භාණ්ඩ හා ද්‍රව්‍ය බවට පත්ව තිබේ.

ව්‍යවහාරික වශයෙන් හූනියම් ලෙස සමාජගතව ඇති සූනියම් යන්නෙහි අදහස යමකුගේ හෝ යම් දෙයක විනාශය උදෙසා කරනු ලබන කටයුතු හෙවත් ශුන්‍ය කර්මයන් ය. මෙය සූනි+කම්, සූනියම් හූනියම් යනුවෙන් සිංහල ව්‍යවහාරයට පැමිණ තිබේ.

මෙම සූනියම් යන වදන හා බැඳුණු දෙවි කෙනෙක් ද සිටියි. ඒ සිද්ධ සූනියම් ගම්බාර දෙවියන් ය. ඒ නම අනුව බොහෝ දෙනකු සිතනුයේ එම දෙවිඳුන් තුළ පවත්නා නපුරු දරදඬු ස්වභාවය අනුව ඒ දෙවිඳුන් සූනියම් නමින් හැඳින්වෙන බවකි. එහෙත්, එම දෙවිඳුන් ඉහත සඳහන් ආකාරයේ සූනියම් හෙවත් ශුන්‍ය කර්ම කරන්නෙකු ලෙස කිසිදු තැනක සඳහන් නොවේ. සූනියම් දෙවිඳුන්ට ද ඒ නම පටබැඳී ඇත්තේ ‘සව් ගම් නියම් ගම්’ යන වදන් ලොප් වීමෙනි. ගම් යනු කෘෂිකාර්මික ජනාවාස වන අතර නියම් ගම් යනු ඊට වඩා තරමක් විශාල හා වැඩි ජනගහනයක් විසූ වෙළෙඳ කටයුතු කළ ගම්මානයන් ය. සංස්කෘත භාෂාවේ ‘න්‍යාම ග්‍රාම’ යන්න සිංහලයේ “නියම් ගම්” ලෙස සලකනු ලැබේ. ඒ අනුව අතීතයේ පැවැති මහා නියම් ගමක් අද වන විට මානියම්ගම ලෙස හඳුන්වයි. එය පිහිටා ඇත්තේ අවිස්සාවේල්ල සමීපයේ ය.

පැරණි භූත විද්‍යා හෙවත් ගුප්ත ශාස්ත්‍ර අතරට එන අෂ්ට කර්මය වශී, ආකර්ෂණ, මෝහන, ස්ථම්භන, ශාන්ති, විද්වේෂණ, උච්චාටන සහ මාරණ වශයෙන් හැඳින්වෙන අතර මාරණ යනු එහි දැක්වෙන එකම අවර ගණයේ ගුප්ත ශාස්ත්‍රීය කටයුත්ත බව පෙනේ. අණ වින, හදි හූනියම් වශයෙන් හැඳින්වෙන මෙම මාරණ කර්මය අණවින, කොඩිවින, භූමි පාළු, අංගම්, කාලම්, පිල්ලි, යක්ෂ බන්ධන ආදී විවිධාකාර ලෙසින් විස්තර කෙරේ. නමුදු මේ සියල්ලේ එක් පොදු අරමුණක් තිබේ. එනම් මේවා මගින් යම් පුද්ගලයකු හෝ වත්කමක් මුළුමනින් විනාශයට පත් කිරීම ය. මෙසේ සිදුවන විනාශයට අන්තයක් නොමැති බවත් උච්චාටන කර්ම වශයෙන් සැලකෙන එම හූනියම් ආපිට කැපීමකින් තොරව එය යථා තත්ත්වයට පත් නොවන බවත් පොදු ජන විශ්වාසයයකි.

සෑම ගුප්ත කර්මයක් උදෙසාම ඒ සඳහා වන විශ්වීය බලයක් අවැසි බවට මතයක් තිබේ. ඒ අනුව මෙම මාරණ කර්මය සඳහා වන විශ්වීය බලය කාලී දෙවඟනගේ අවතාරයක් වන සොහොන් කාලී වෙතින් ලබා ගත යුතු බවට ජන විශ්වාසයක් පවතී. දකුණු පළාතේ ඇතැම් පාරම්පරික යකැදුරන් පවසා සිටිනුයේ වෙසමුණිගේ බලය, ශක්තිය වුව මේ සඳහා යොදා ගත හැකි බව ය. නමුත් වෙසමුණි බලය අවසානයේ බුද්ධ අණට යට වන බව ද තොවිල් ඇදුරෝ කියති.

බකමූණකු හඬන ගසකින් පොත්තක් ලබා ගැනීම

මෙම අණවින, හදි හූනියම් සම්බන්ධ තොරතුරු රැසක් සහිත පැරණි පුස්කොළ පොත් තිබේ. ඒවායින් බොහොමයක් මහනුවර රාජධානි සමයේ ලියැවුණු බව පෙනේ. ඒ ඇතැම් පුස්කොළ පොත් පෞද්ගලික සන්තකයන් ලෙසත් තවත් කොටසක් ජාතික කෞතුකාගාර පුස්තකාලය ඇතුළු විශ්වවිද්‍යාල පුස්තකාල සන්තකයන් ලෙසත් ආරක්ෂා කෙරේ.

මීට වසර තිහකට පමණ පෙර එවක ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂව සිටි ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ සූරීන්ගේ කාරුණික අනුග්‍රහය යටතේ කෞතුකාගාර පුස්තකාලයේ තිබූ එවැනි පැරණි පුස්කොළ පොත් කිහිපයක් පරීක්ෂා කිරීමේ අවකාශය මා වෙත උදා විය.

ඉන් එක් පුස්කොළ පොතක සඳහන් වූයේ ශනි දිනෙක ශනි හෝරාවේ ශනි පංචම කාල හෝරාවේ ශනි සූක්ෂ්ම කාල හෝරාවේ පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද හෝ මා යන නැකතකින් මැදියමින් පසු කුකුළා හැඬලීමට පෙර දවස් හතකට වඩා පැරණි නොවූ මිනී වළක් මත ‘දපා’ (වැතිරී) මැතිරිය යුතු මන්ත්‍රයකි. ඒ සඳහා යොදාගත යුතු රතු මල්, නර කෙස්, මිනී අළු, මිනී ඔළු ආදී පූජා භාණ්ඩ රැසක් සහ අනුගමනය කළ යුතු වත් පිළිවෙත් රැසක් ද එහි සඳහන්ව තිබිණි. සේතුහාමිගේ මන්ත්‍ර ගුරුකම් පොත යනුවෙන් සඳහන් එම පුස්කොළ පොත ශකවර්ෂ 1787 (ක්‍රි.ව. 1867) උක්කුරාල නමැත්තකු විසින් පිටපත් කරන ලද බව ද එහි ලියැවී තිබූ මුත් මේ සේතුහාමි සහ උක්කුරාල යනු කවුරුන් දැයි සොයා ගැනීමට මට නොහැකි විය. නමුදු ඒවායේ සඳහන් විස්තර පිළිබඳව සියුම් ලෙස විමැසීමේ දී පෙනී යනුයේ ඒවා ප්‍රායෝගික වශයෙන් කළ නොහැකි දේ ලෙසිනි. සරල නිදසුනක් ලෙස කිව හොත් කිවි දිනෙකට යෙදෙන අව අටවක පෝ දාක අසවල් හෝරාවේ බකමූණකු හඬන ගසකින් පොත්තක් ලබා ගැනීම වැනි “මෙලෝ යකකුට” කළ නොහැකි දේවල් මේවායේ තිබේ. එමෙන්ම ඇතැම් හූනියම් සඳහා යොදා ගත යුතු දේ අතරට උණහපුළු කඳුළු වැනි දෑ ද එක් කොට තිබේ. සමහරුන් පවසන අන්දමට මෙවැනි නම් වලින් හැඳින්වෙනුයේ වෙනත් ද්‍රව්‍යන් හා භාණ්ඩයන් ය. තවත් ලෙසකින් කිව හොත් මේ යෙදුම් මුර පද හෙවත් “පාස්වර්ඩ්” ය.

වර්තමාන මාධ්‍යම පාන්තික සමාජය තුළ මෙම අණවින, හදි හූනියම් පිළිබඳ විශේෂ උනන්දුවක් පවතින බැවින් රුපියල් මිලියන ගණන්වලට මේවා සිදු කිරීමට ‘කොන්තරාත්තු’ ගන්නෝ ද වෙති. එහෙත්, මෙම අවර ගණයේ කර්ම සිදු කිරීමෙන් අත්විය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳව ද එම ඇතැම් පැරණි ලේඛනවල ද විස්තර දක්වා තිබේ. ඒ අතුරින් මුල්ම අහිතකර ප්‍රතිඵලය වනුයේ කුමක් හෝ හේතුවක් මත ඒ මාරණ කර්මය ඉලක්ක ගත පුද්ගලයා කෙරෙහි යොමු නොවුණහොත් ඒකාන්ත වශයෙන් එය කළ හෝ කරවූ තැනැත්තා වෙත ‘ආපිට කරකැවී’ එන බව සඳහන් වීම ය. එම උවදුරින් ගැලවීම පිණිස එය කරන සහ කරවන දෙදෙනා සම්බන්ධ වෙනම ආරක්ෂක ක්‍රියාවලියක් පිළිබඳව ද සඳහන් වෙයි. නමුත් ඉතා සුළු අත්වැරදීමකින් අතපසුවීමකින් පවා ඒ ආරක්ෂක ක්‍රියාවලියේ ද බල බිඳිය හැකි බව ද විශේෂයෙන් අවධාරණය කෙරේ.

වර්තමානයේ දුම්වැටි පැකට්ටුවල එම දුම්වැටිය පානය කිරීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය තර්ජන පිළිබඳ සඳහන් වන්නාක් මෙන් මෙම ඇතැම් පුස්කොළ පොත්වල ද එම වින බන්ධන කිරීමෙන් සිදුවිය හැකි අහිතකර පල විපාක පිළිබඳ අනතුරු අඟවා තිබේ. ඉන් එක් පුස්කොළ පොතක සඳහන්ව තිබුණේ “නිවන් දක්නා ජාති දක්වාම පටිසන් දෙන පාපකර්මයක්” වශයෙනි. ඒ අනුව මේවායේ සත්‍යතාව කෙසේ වුව මේවා රචනා කළ අතීත සමාජය තුළ පින් පව් කෙරෙහි පැවැති අචල විශ්වාසය ද මනාව වටහා ගත හැක. නමුත් ඉහත සඳහන් කරුණු සියල්ල විමසා බලන විට අපට හැඟී යන දෙයක් තිබේ. එනම් ඉහත සඳහන් ලේඛන වලින් පළ වන යම් දාර්ශනික අරුතක් ඇති බව ය. ඒ අරුත වනුයේ “හූනියම් කිසිදා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැංවිය නොහැක” යන්න ය.

මිනිස් සමාජය තුළ නිරතුරුව හටගන්නා පුද්ගල, ප්‍රජා බද්ධ ගැටුම් මත ජනතාව පුද්ගල හා ප්‍රජාමය වශයෙන් එකිනෙනාට එරෙහි වෙති. එමෙන්ම ඔවුනොවුන් අතරේ හට ගන්නා වෛරී සහ දේවේෂ සහගත හැඟීම් ආවේග මත ඔවුනොවුන් නසා වනසා දැමීම් කෙරෙහි ද ඇතැමුන් ගේ සිත් යොමු විය හැක. එහි දී බොහෝ විට සාපරාධී ක්‍රියා කෙරෙහි යමකු හෝ යම් පිරිසක් පෙළඹීමට පුළුවන. ඒ සඳහා පාතාල කණ්ඩායම් යොදා ගැනීම ද අද සුලබව කෙරෙන්නකි. නමුදු එසේ නොකොට මෙබඳු ගුප්ත ක්‍රම මඟින් සතුරන් වනසා දැමිය හැකිය යන විශ්වාසය යමකු තුළ ඇති වුවහොත් ඒ තැනැත්තා සාපරාධී ක්‍රියා වෙනුවට ඒ සඳහා මෙම හූනියම් මාධ්‍ය යොදා ගනු ඇත. නමුදු ඉන් කිසිදු ප්‍රායෝගික ප්‍රතිඵලයක් නොලැබුණ ද එම ක්‍රියාවෙන් පසු ඒ තැනැත්තා ගේ මනැස භාව විශෝධන (ක්‍්එය්රිසි) ක්‍රියාවලියකට නතු වීම සිදු වෙයි. ඒ අනුව හූනියම යනු සාපරාධී චේතනාවකින් සිදු කෙරෙන අපරාධ නිවාරණ ක්‍රියාවලියක් වශයෙන් ද හඳුනා ගන්නට පුළුවන.

සමාජ ජාල ඇදුරෝ

නමුදු නූතන සමාජමය පෙරැලියත් සමඟ මෙම හූනියම් කලාවේ ද විපරිනාමයක් සිදු වී තිබේ. ඒ අන වින, හදි හූනියම් ආදී ගුප්ත ක්‍රියාවන් සිදු කළ පාරම්පරික ඇදුරු පරපුර නූතන සමාජ නවීකරණයන් සමඟ මේ වන විට මුළුමනින්ම පහේ වඳ වී යෑමත් සමඟිනි. එහෙත්, එවන් තත්ත්වයන් තුළ පවා මෙම අන වින හදි හූනියම් කෙරෙහි නාගරික සමාජය තුළ මෙවන් ව්‍යාප්තියක් ඇති වීමට හේතුව ඒවා අසාම්ප්‍රදායික ප්‍රෝඩාකාරී ව්‍යාජ ඇදුරු පරපුරක් අතට පත් වීමය. ගුප්ත ශාස්ත්‍ර අතරට එන අෂ්ට කර්මයේ හෝඩියවත් නොදැන යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ එම ගුප්ත ක්‍රියාකාරකම් පිළිබඳ බොරු පුරාජේරු දොඩන මේ හොර ඇදුරන් එමගින් ගනුදෙනු කරුවන් බරපතළ ලෙස ගසා කෑමේ සංවිධිත යාන්ත්‍රණයක් අනුගමනය කරන බව අදටත් බොහෝ දෙනෙක් නොදනිති.

“මේවා හොඳට විස්වාසවන්ත විදිහටම ඕනේ හින්දා අහවල් ටවුමේ අහවල් කඩෙන්ම ගන්න” ඔවුහු එම හූනියම් බඩු ලැයිස්තුව දී තම ගනුදෙනු කරුවන්ට කියති. ඒවා අතර මිනිස් හිස් කබල්, අඳුන් දිවි සම් ආදී සන්තකයේ තබා ගැනීම සපුරාම නීති විරෝධී දේ ද තිබේ. එහෙත්, ඒවා සොයා ඇදුරා පවසන වෙළෙඳ සලට යන ගනුදෙනුකරුට ඉන් දැන ගන්නට ලැබෙනුයේ ඒවායින් කොටසක් පමණක් එහි අලෙවි කෙරෙන බවකි. නමුදු අනෙක් කොටස් පිළිබඳ තොරතුරු දැන ගත හැකි ජංගම දුරකථන අංකයක් ද ඒ වෙළෙඳ සැලෙන් ගනුදෙනු කරු වෙත ලැබේ. ඒ අනුව ගනුදෙනු කරුගේ එම උත්සාහයේ අවංක බව වටහා ගන්නා සැපයුම්කරු ගනුදෙනුකරු කිසියම් රහසිගත ස්ථානයකට ගෙන්වා රුපියල් ලක්ෂ දෙක තුනක ඇතැම් විට හතර පහක මුදලකට ඒවා ප්‍රදර්ශනය කරනුයේ ඒවා ළඟ තබා ගැනීම සපුරා නීති විරෝධී බැවින් ඒ හූනියම් බඩු රහසිගතව ඇදුරා අතට පත් කිරීමට පොරොන්දු වෙමිනි. ඒ අනුව එම භාණ්ඩ සියල්ල අඩු නොමැතිව තමන් වෙත ලැබුණු බව ඇදුරා වෙතින් දැන ගන්නා ගනුදෙනුකරු ඉන් පූර්ණ සෑහීමකට පත් වීමේ අරුමයක් නැත. මා ද පසුගිය කාලයේ තොවිල් බඩු අලෙවි කරන තැන්වලට ගොස් උත්සාහ කළේ එම සිදුරින් රිංගා හැකි තාක් ඇතුළට යෑමට ය. එහෙත් මා ඔවුනට දුන් තුන්ඩුව සැක සහිත නිසා දෝ ඒ සමහරක් ව්‍යාපාරිකයන් මා එම යාන්ත්‍රණය තුළට පිවිසුවා නොගන්නට ඇත. එහෙත්, මෙහි ඇත්තම කතාව අනෙකකි. මෙම නූතන සමාජ ජාල ඇදුරෝ තම ඇදුරුකම සඳහා අය කරන මුදලට අමතරව මෙම තොවිල් බඩු සැපයුම්කරුගෙන් වෙනම කොමිස් මුදලක් ද ලබා ගනිති. එමෙන්ම ගනුදෙනු කරුට සැපයුම්කරු හඳුන්වා දෙන තොවිල් බඩු වෙළෙන්දාට ද යම් සන්තෝසමක් ලැබේ. එහෙත් නිරතුරුවම මෙසේ රුපියල් ලක්ෂ ගණනකට අලෙවි වනුයේ එකම මිනිස් හිස් කබලක් සහ අඳුන් දිවි සමක් බව ගනුදෙනුකරු නොදනී.

නමුත් සෑම සිංහල බෙහෙත් බඩු සහ තොවිල් බඩු අලෙවි කරුවකුම මෙම වංචනික ක්‍රියාදාමයට එක් වන බව තහවුරු කළ හැකි කිසිදු මූලාශ්‍රයක් අප සතුව නැත. එමෙන්ම මෙම හවුල් ජාවාරමට එක් වන හා එක් නොවන ව්‍යාපාරිකයන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමේ ප්‍රබල අසීරුවක් ද පවතී. හූනියම් මඟින් මෙලෙස අසරණයන් ගසා කෑම සම්බන්ධයෙන් එවක ජාතික රූපවාහිනියේ “යථා රූප” වැඩසටහනක් මඟින් යම් විවරණයක් කළ මම හැකිනම් මා විනාශයට පත් කළ හැකි නිශ්චිත දින කාල වකවානු දක්වා මට හූනියමක් කරන මෙන් අප රටේ සියලු හූනියම් කරුවන්ට විවෘත අභියෝගයක් කළෙමි. ඊට දින කිහිපයකට පසු මා ඇමතූ එක් ඇදුරෙක් සැමට එක සේ හූනියම් නොවදින බවත් නෛසර්ගික වශයෙන්ම මිනිස් මල අනුභව කරන බැවින් සුනඛයන්ට ද හූනුයම් නොවදින බවත් කීය. ඒ න්‍යායට අනුව මට ද හූනියම් වැදීමට ඉඩ කඩක් නොමැති බව ඔහු කියා සිටියේ මා ඔවුන් ගේ කූට වංචනික ක්‍රියාදාමයේ සමාජය හමුවේ හෙළි කිරීම ඔවුන් ගේ මළ අනුභව කිරීමක් බව ව්‍යංගයෙන් කියා පාමිනි. නමුදු අද වන විට මෙම හූනියම් ක්‍රියා දාමය නිරන්තරයෙන් රුපියල් ලක්ෂ කෝටි ගණනක මුදල් සංසරණ ක්‍රියාවලියක් බැවින් ඒවාට එරෙහි වන්නවුන් හූනියම් මඟින් නොව මිනිස් යක්ෂයන් ලවා විනාශ කරවීමේ පැහැදිලි අවදානමක් පවතින බව ද කිව යුතුම ය.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment