ජනතා ජයග්‍රහණයකින් පසු සාධාරණ දියුණු රටක් ගොඩනඟන්නට ජවිපෙ සූදානම්

102

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියයි
52 වැනි අප්‍රේල් සමරුව කළුතර උත්සවය

ධනවාදය දැන් මහලුයි. දුබලයි. මේ පාලකයන්ට ජනතා බලයක් නෑ. එදා 71 දී මේ රටේ බුද්ධිමත් තරුණ පිරිසක් එකතුවෙලා ගොඩනඟපු ජනතා විමුක්ති පෙරමුණ ජනතා ජයග්‍රහණයකින් පසු යුක්ති සහගත, සාධාරණ දියුණු රටක් ගොඩනඟන්නට සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කළුතර නගර ශාලාවේ ඊයේ (05 දා) පැවති 52 වැනි අප්‍රේල් විරු සමරුවේ ප්‍රධාන දේශනයට එක්වෙමිනි.

71 අරගලයේ දී දිවිපිදූ ජවිපෙ සගයන් සිහිකර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන සැමරුම් උත්සව තුනක් මාතලේ, කළුතර හා වැල්ලවාය ප්‍රදේශයේ සංවිධානය කර තිබිණි.

කළුතර පැවති අප්‍රෙල් විරු සමරුවට එක්වෙමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද පැවසීය.

1971 අරගලයට වසර පනස් දෙකක් ගතවෙලා. අඩසියවසකට මඳක් වැඩි කාලයක්. සියවස්

ගණනාවක් ගියත් ඒ අරගලය අමතක කරන්න බෑ. මර්දනයට, පීඩනයට එරෙහිවයි ඒ අරගලය සිදු වුණේ. ධනේශ්වර ක්‍රමයට එරෙහිව සන්නද්ධ පළමු අරගලය එයයි. අරගලය අවශ්‍ය යුගයක තමයි අදත් අපි ඉන්නේ. ඒ අරගලය කැපවීම් වඩ වඩාත් අවශ්‍ය කාලයක් මේක. 1971 අරගලය විසින් සමාජය තුළ තිබූ බලාපොරොත්තු තාමත් එලෙසමයි. 1971 අරගලයේ සටන් වැදී දිවිපිදූ සිරගත වූ යුක්තිගරුක, සංවර්ධිත මිනිස් අයිතිවාසිකම්, සුන්දරම දියුණුම සමාජය

ගොඩනැඟීමේ අරමුණක් තමයි තිබුණේ. අප්‍රේල් විරු සගයන් බලාපොරොත්තු වූ රට අපි ඉතා ඉක්මනින්ම සෑබෑ කරනවා.

1971 අරගලය නිර්මාණය වුණේ අයුක්ති සහගත සමාජයට එරෙහිවයි. පවිත්‍ර අරමුණු ඇතිවයි ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය වුණේ. ධනේශ්වරයන් විසින් ඒ පක්‍ෂය මර්දනය කරන්න උත්සාහ කිරීමත් සමගයි ඒ අරගලය ඇති වුණේ. ජවිපෙ පිහිටුවලා වසර හයකින් ඒ අරගලය ඇතිවුණා.

චේ ගුවේරා කියන නම තමයි අපට දාලා තිබුණේ. පක්‍ෂය ගැන බොහෝ අය දැනගෙන හිටියේ නෑ. මේ ළදරු ව්‍යාපාරය විනාශ කරන්න උත්සාහ කළා. මර්දනයට එරෙහිවයි ජවිපෙ සන්නද්ධ අරගලයකට ගියේ. මේ අරගලය හිතුවක්කාරී තීරණයක් නෙවේ. තරුණ පිරිසක් දේශපාලනය කිරීමට තිබූ අයිතිය නැති කිරීමට ආව ප්‍රතික්‍රියාවක් පමණයි. දසදහසකට අධික ිපිරිසක් දිවි පිදුවා. සිරගත වුණා. අපේ දැක්ම, අරමුණ, ප්‍රතිපත්ති වඩාත් නිවැරැදි කරගෙන අද දක්වා පැමිණ සිටිනවා.

ධනවාදය හදපු අයට මේක තේරුම් ගන්න බෑ. තමන් ගැන පමණක් හිතන, තමන් පමණක් වරප්‍රසාද භුක්ති විඳින පිරිස අතර සමාජය ඇහැරවන්න ඒ අරගලයට හැකිවුණා. ධනපති ආණ්ඩුවට සිද්ධවුණා. මහ රැජින තමයි එදා මේ රටේ ප්‍රධානියා හැටියට හිටියේ. 1971 අරගලය ඉඩම් ප්‍රතිසංස්කරණයට බලපෑවා. තරුණ කොමිසන් දාන්න බලකළේ ඒ අරගලයයි.

මේ තියෙන්නේ ඒ දේශපාලන පක්‍ෂයයි. අපි ජයග්‍රහණයට ආසන්නවයි ඉන්නෙ. අද සමාජයේ සාතිශය ජනතාවත් අප සමග එකතු වී සිටිනවා.

සමාජ පරිවර්තනයකට වඩා අද ඒ ගමන ඉදිරියට ඇවිත්. සිස්ටම් චේන්ජ් එක ක්‍රමය වෙනස් කිරීම අවශ්‍යයි කියල මුලින්ම රටට කීවේ 1971 අරගලයයි. ජනතාවත් අවදි කරවගෙන අපි ගමන පැමිණ සිටිනවා. මේ සමාජය දැන් වෙනස් වෙලා. ධනවාදී අර්බුදය අද දරුණුවෙලා. පාලකයෝ අද දුබලයි. දුර්වලයි. ධනපති ආණ්ඩුවලට පරණ ආකාරයට රට පාලනය කරන්න බැරිවෙලා. ජන බලයක් නැති නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ. මහින්ද රාජපක්ෂලාට අද ජනතා සහායක් නෑ. එළියට බහින්නවත් බැරිවෙලා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ වටා සමස්ත ජනතාවම ඒකරාශී වෙලා.

ධනවාදය මහලුයි. දුබලයි. ජනතාව ප්‍රබලයි. ජනතාවගේ අත්දැකීම් ප්‍රබලයි. අපි වසර ගණනාවක් ජනතාව දැනුම්වත් කරලා තියෙනවා. 1971 අරගලය පරාජයට පත්වුණාට මේ පාර ජනතා ජයග්‍රහණයෙන් අපි කෙළවර කරනවා.

1971 අරගලයේ තිබුණ අරමුණු අදටත් පොදුයි. නව සමාජයක් ගොඩනැඟීම. ඒක නවීන යුක්ති සහගත එකක්. සියලු දෙනාට ජීවත්විය හැකි නව සමාජයක්. ඒක කිසිම රටකින් කොපි කරන එකක් නෙවෙයි. අපේම වූ ගමනක්. ක්‍රමයක්. අපේම සමාජයක් රටක් තමයි අපි නිර්මාණය කරන්නේ.

යුක්තිය සාධාරණය පිරුණු නිවහල් මිනිසෙක් සමග දියුණු රටක් නිර්මාණය කිරීමයි අරමුණ. යුක්ති සහගත රටක්. දැන් මේ රටේ යුක්තියක් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් පාර්ලිමේන්තුවට ගෙන්වන්න හදනවා. ඊළඟට සාධාරණයක් අවශ්‍යයි. මිනිස්සුන්ට සළකන්නෙ මිනිසුන්ට වගේ නෙවෙයි. සිංහල, මුස්ලිම්, දෙමළ හැටියට බෙදලා. පවුල් කිහිපයක් රට පාලනය කරනවා. දරුවන්ට උගන්වන්න බැරි බේත් හේත් නැති, බස් නැති තුන්වේල කන්න නැති මිනිසුන් ඉන්න රටක්. ඒ නිසයි සාධාරණ සමාජයක් හැදිය යුත්තේ.

එදා 71 අරගලය තමයි අපිට සටන් කරන්න ඉගැන්වූයේ. වහල් මානසිකත්වයෙන් ජනතාව ඉදිරියට ගන්න ඒ අරගලයට හැකිවුණා. අපි යටත් වැසියෝ නොවෙයි. පුරවැසියෝ කියලා ඒ අරගලය කියා දුන්නා. 1971 අරගලය පුළුල් අරගලයක්. ඉතිහාසය විකෘති කරපු අය එය කැරැල්ලක් ලෙස ලිව්වා. ඒක කැරැල්ලක් නෙවෙයි. අප්‍රේල් අරගලයට වසර 52 ක්. අපි අද ඉන්නේ අර්බුද

ගණනාවක් මැද. වසර ගණනාවක් තිස්සේ ඇවිත් ඇවිත් ගිය වසරේ ලංකාව බංකොලොත් කියලා කියන්න සිද්ධ වුණා. විවෘත අර්ථිකය හදපු අයටම ආනයන සීමා කරන්න සිද්ධ වුණා. රනිල්, රාජපක්ෂගේ ආණ්ඩුව ඒ අයට උත්තර සොයන එකෙන් අර්බුදය තුළ වැළලීමත් තමයි සිද්ධ වෙන්නෙ. මේ අර්බුදය අස්සේ අපායට ඉන්ටවල් ලැබිලා වගේ. මේ ඉන්ටවල් එකක් පමණයි. අපේ ඔය ඔක්කොටම ඔළුවෙන් හිටගන්න වෙනවා. මේ රට ඇදගෙන යන්නෙ හදන මාවතක නෙවෙයි. අපේ රට වත්කම් හොයන්නෙ නෑ. වත්කම් උපයන මාර්ග වහලා වියදම් කරන්න බෑ. විකුණගෙන කෑම හරියන්නෙ නෑ. ඩොලර් බිලියන 84 ක ණය කන්දක් තියෙනවා. රුපියල් ටි්‍රලියන 28 ක් අපේ රට ණයයි. ඒක දැවැන්ත ණය කන්දක්. ණය වාරික ගෙවා ගන්න බෑ. වත්කම් නෑ. මෙයින් රට ගොඩඟන්න නම් වත්කම් උපයන මාර්ගයකට යා යුතුයි. රනිල්, රාජපක්ෂ ආණ්ඩුව අන්තිම ණයත් ගන්න පියවර ගත්තා. පරණ ණයයි මේ අලුත් ණයයි දෙකම ගෙවිය යුතුයි. අපි සතුව ණය ගෙවන්න ක්‍රමයක් ණෑ. ඒකට තමයි මේ විකුණන්න යන්නෙ. අලුත් මඟ තමයි නිෂ්පාදන ආර්ථිකයක්. වත්කම් උපයන්න පටන් ගන්න එක. එහෙම නොකර මේ රට ගොඩදාන්න බෑ.

මහ බැංකු අධිපති කියනවා ඉදිරි කාලය තවත් අපහසුතා ඇති වෙනවා කියලා. දුෂ්කර ගමනක් කියලා කියනවා. මේ ගමන යනකොට සම්පත් වගේම ජනතාවත් ඉතුරු වෙන්නෙ නෑ. ජනතාව මත බර පටවලා මේ අය කටයුතු කරනවා.

රනිල්, රාජපක්ෂ ආණ්ඩුවට මේ රට ගොඩනඟන්න බෑ. මෙච්චර ණය ප්‍රමාණයක් අරන් හදා ගන්න බැරි වුණා. තව ණය අරන් කොහොමද හදන්නේ. ජාත්‍යන්තර බැඳුම්කර හරහා යහපාලන කාලයේ ඩොලර් බිලියන 12.5 ක් අරගත්තා. අයිඑම්එෆ් එක ලබාදෙන ඩොලර් මිලියන 2900 ක් අරන් හදනවා කියන එක කරන්න බෑ. ඔය සල්ලි ටික කොන්දේසිවලට යටවෙලා ගන්න එකක්. ජනතාව මත බර පටවනවා. පාඩු ලබන ආයතන විකුණන එකට මුවාවෙලා ලාභ ලබන ඒවත් විකුණනවා. ආණ්ඩුවක් තියෙන්නේ පාඩු ඒවා විකුණනන්ද? ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ පාඩු ලබන ඒවා ලාභ ලබන තැනට පත් කරන එකයි. පාඩු ඒවා විකිණිය යුතුයි කියලා ජනතාව තුළ මත හදනවා. සමහරු ඒක පිළිගන්නවා. මේ රටේ විකුණපු ඒවා ටික ගැන බැලුවහම රට දැන් හරි නම් සුරපුරක්නේ. තරගකාරීත්වය ගැන හොඳම උදාහරණය ප්‍රවාහනය, පුද්ගලික සහ ලංගම බස් ගැන බලන්න.

ගමනාගමනයට හොඳද? තරගය වැඩිවෙලා මානව ගරුත්වයත් නැති වෙලා. මාෆියාවට යටවෙලා. ධනපති ක්‍රමය ඇතුලේ තරගකාරීත්වය ඇති වෙන්නෙ නෑ. ජාතික ආරක්ෂාවට අදාළ ඒවා විකිණීම ද්‍රෝහිකමක්. ඒකට ගුණ ගයන පිරිසකුත් ඉන්නවා. දැවැන්ත මහජන ව්‍යාපාරයක් හදලා අපි මෙය පරාජයට පත් කළ යුතුයි. ආණ්ඩුව තාවකාලිකව පැලැස්තර ගහනවා. රටේ ආර්ථිකය හදන්න උත්සාහ කරන්නෙ නෑ. බිත්තර මිල වැඩි වුණා. නිෂ්පාදනය අඩු වුණා. ඉන්දියාවෙන් දැන් බිත්තර ගේනවා. අඩුවට බිත්තර දෙනවා නම් කමක් නෑ කියලා සමහරු හිතනවා. එක බිත්තරයකින් රුපියලක් කොමිස් ගත්තත් කෝටි ගානක් හම්බ කළ හැකියි. මේ රාජ්‍ය ආයතන විනාශ කළේ පාලකයොයි. දේශපාලන හෙංචයින් ගෙනත් දාලා මේ ආයතන විනාශ කළා. පාඩුයි කියලා දැන් විකුණලා කියක් හරි ගසා කන්නයි හදන්නේ. වරාය, ටෙලිකොම්, ලංවිම විකුණන කොට සේවකයෝ විරෝධය පළ කරනවා. පෙට්‍රල් ෂෙඩ් 450 ක් විකුණනවා. තෙල් ගෙන්වීම, ගබඩා කිරීම, බෙදාහැරීම අලෙවිය ඒ සමාගම්වලට ඉඩ දෙනවා. ජනතා විරෝධය යටපත් කරන්න තමයි නීති ගේන්න හදනවා. ණය අරගෙන, රාජ්‍ය සම්පත් විකුණලා වෘත්තිය සමිති සමතලා කරලා දාන්නයි හදන්නෙ. මේක විනාශකාරී ගමනක්. ත්‍රස්ත පනත ගේන්නෙ සේවක හා ජනතා විරෝධය මර්දනය කරන්නයි.

රාජ්‍ය ආයතන විකුණන කොට අත්‍යවශ්‍ය නෑ. වර්ජනයක් කළොත් අත්‍යවශ්‍ය කියලා ගැසට් ගහනවා. පොලිසිය ලවා කඳුළු ගෑස් ගහලා ජනතා නැගිටීම් මර්දනය කරනවා. මේ රට දැන් යන්නේ අවසාන ගමනක රනිල්ට ඒ කාලේ කරපු දේවල් අද කරන්න බෑ. ජනතා බලවේග පුළුල් වෙලා. ජනතා විමුක්ති පෙරමුණ ඒ ජනතා බලවේගයට නායකත්වය දෙනවා. රනිල්ට හැප්පෙන්න වෙන්නෙ මහා ජනතාවක් එක්ක. රනිල්ලා හයියක් නැති අය. මෙයා තාවකාලික ජනාධිපති. පිං ජනාධිපති. මේ ආණ්ඩුවට ජනතා කැමැත්තක් නෑ. ඡන්දය කල්දාන්නෙ ඒකයි. හේතුවක් නැතුව ඡන්ද කල් දානවා. රනිල් පරදින කොටත් ඡන්ද තිබ්බ කෙනෙක්. මහින්දත් එහෙමයි. ඒ හැමවෙලාවෙම රනිල් වගේම මහින්දත් දන්නවා පැරදුනාට එන්නේ ඒ දෙපැත්තෙ අය. ප්‍රශ්නයක් නෑ. මේ පාර එහෙම වෙන්නෙ නෑ. මේ පාර දිනන්නේ මාලිමාව. ඒකටයි ඒ අය භය.
ශිරාන් රණසිංහ සහ සිරිමන්ත රත්නසේකර- කළුතර – එස්. කස්තුරිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment