රට ටයිල් කැටේට තව බදු එපා

100

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය කියයි
මිලියන 22කට පහර ගහන්නේ ඇයි:

ආනයනික ටයිල් මත පනවා ඇති තීරු බදු තවදුරටත් වැඩි කරන ලෙස එක් පාර්ශ්වයක් ඉල්ලා සිටීම මිලියන 22ක ජනතාවගේ ඉදිකිරීම් සිහිනයට පහර ගැසීමක් බවත් පුද්ගලයන් දෙදෙනකුගේ අභිලාශයන් වෙනුවෙන් ජනතාවගේ එම සිහිනයන් කඩා බිඳ නොදමන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් ශමීන්ද්‍ර ගුණසේකර මහතා සහ එහි නිලධාරීන් කොල්ලුපිටිය රේණුකා හෝටලයේ දී පෙරේදා (05 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී එම කරුණු සඳහන් කෙරිණි.

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බවත් එම සීමා ලිහිල් කිරීම පිළිබඳව රජයට තම ප්‍රණාමය පුද කර සිටින බවත් එම සංගමය පවසයි.

එහෙත් එම භාණ්ඩ සඳහා පනවා ඇති තීරු බදු නැවත තවදුරටත් වැඩි කරන ලෙස ඉල්ලා සිටීම හුදු ආත්මාර්ථකාමී ඉල්ලීමක් බවත් රජය එම ඉල්ලීම ඉටු කළහොත් සිදු වන්නේ එම භාණ්ඩවල මිල යළි ඉහළ යෑම බවත් එහි ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා සඳහන් කළේය.

ආනයන සීමා ලිහිල් කිරීම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇතිවී තිබුණු පිබිදීමට එමගින් යළි පහර වැදීමට ඉඩ ඇති බව ද ඒ මහතා පැවසීය.

ශාමින්ද්‍ර ගුණසේකර මහතා පැවසුවේ, මෙම ක්ෂේත්‍රය සඳහා තවදුරටත් බදු පැනවීමක් සිදුකළහොත් ටයිල් කැටයක මිල යළිත් රුපියල් 100කින් ඉහළ යන බවය.

අඩි දෙකේ දෙකේ ටයිල් කැටයක් ලංකාවට එන්නේ රු. 450ට. තව රුපියල් 550ක් අපි බදු වෙනුවෙන් වෙන් කරනවා. ඉතින් ඇයි තවත් වැඩි කරන්නේ. ඔය කියන දේශීය නිෂ්පාදකයෝ ආනයන සීමා කිරීම් පැවති කාලයේ ටයිල් කැටේ මිල රු. 425 සිට රු. 2100 දක්වා වැඩි කළා. ඒගොල්ලෝ ඒ කාලෙ අධික ලාභ ලැබුවා. අපි දැනටත් සියයට 115ක් බදු ගෙවනවා. ඉතින් තවත් මොකටද බදු යැයි ද ගුණසේකර මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment