සිතුල්පව්ව පුදබිම ආරක්‍ෂා කරගනිමින් මැටරඹ හේමරතන නාහිමිපාණන් බෞද්ධ උරුමය හා පුනරුදයට කැපවුණා – ජනපති රනිල් වික්‍රමසිංහ

623

අපවත්වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය, ඓතිහාසික යටගල රජමහා විහාරය, ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු අෂ්ඨමහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍ය, අතිගෞරවාර්හ සද්ධර්ම කීර්ති ශ්‍රී මැටරඹ හේමරතන නාහිමිපාණන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳව ආදාහන පූජෝත්සවය ගාල්ල, යටගල රජමහා විහාරස්ථ ආදාහන මළුවේදී මළහිරු බසින සැන්දෑ යාමයේදී පෙරේදා (05දා) සිදු කරන ලදී.

අපවත් වනවිට 83 වියේ පසු වූ උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ලද්දේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවිඩය කියවන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසිනි. එහි මෙසේද සඳහන් විය. අපවත් වී වදාළ මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේ මේ රටේ බෞද්ධ උරුමය සහ පුනරුදය වෙනුවෙන් ඉටුකළ සේවාව ප්‍රශංසනීයයි. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය, ඓතිහාසික යටගල රජමහා විහාරය, ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු අෂ්ටමහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍ය, අතිගෞරවාර්හ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේ අපවත්වූ පුවත සැලවීමෙන් මම සාතිශය සංවේගයට පත්වීමි. අපවත්වී වදාළ පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමීන් වහන්සේ සිතුල්පව්ව පුදබිම ආරක්ෂා කර ගැනීමට ඉටුකළ මෙහෙවර මෙන්ම ථෙරවාදී බුද්ධ ශාසනයේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා දැන උගත් ශිෂ්‍ය පරම්පරාවක් බිහි කරමින් ශාසනික හා සමාජීය වශයෙන් කැපවී ක්‍රියා කළ බව මම මැනවින් දනිමි. වර්තමාන සංඝ පරම්පරා ඔපවත් කළ යුතු චරිතයක් සේ පුරෝගාමීව ක්‍රියා කළ භික්ෂු චරිතයක් සේ පුරෝගාමීව ක්‍රියාකළ පූජ්‍ය මැටරඹ හේමරතන මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් සංවේගප්‍රාප්ත ශිෂ්‍ය පරම්පරාවට, උන්වහන්සේගේ ඥාතී පරම්පරාවේ සියලුදෙනාට සහ දායක සභාවට ද මගේ සංවේගය ප්‍රකාශ කර සිටිමි.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ශෝක පණිවිඩය කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා විසින්ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ශෝක පණිවිඩය පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩය ඇමැති අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින්ද ඉදිරිපත් කරන ලදී.

මල්වතු පාර්ශ්වයේ අනුනායක දිවුල්කුඹුරේ විමලධම්ම නාහිමි, මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී සෝමාවතී රජමහා විහාරාධිපති මහාචාර්ය පහමුණේ සුමංගල නාහිමි, කෝට්ටේ කල්‍යාණ සාමග්‍රිය ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමි, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක සපුගොඩ විද්‍යානිකේතන පරිවේනාධ්‍යක්ෂ ඕමාරේ කස්සප නාහිමි, කෝට්ටේ රජ මහා විහාරාධිපති අලුත් නුවර අනුරුද්ධ නාහිමි, අමරපුර මහා සංඝ සභාවේ මහානායක බම්බලපිටිය වජිරාමාරාධිපති අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද මහනාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටියේ බෝධිරාජ ධර්මායතානාධිපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි, රුහුණු මාගම්පත්තුව වෙනුවෙන් තිස්ස රජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධර්මසේන මාහිමි, ජාතික පිරිවෙන් අධ්‍යක්ෂ ආචාර්ය කුමල්ගොඩ ධම්මාලෝක නාහිමි, ඇතුළු නායක හිමිවරු රැසක් මෙහිදී අනුශාසනා පැවැත්වූහ.

පුණ්‍යානුමෝදනාව සිදුකරන ලද්දේ යටගල පුරාණ රජමහා විහාරවාසී, ගාල්ල සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) කෙහෙල්වල සුමංගල හිමිපාණන් විසිනි.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, සම්පත් අතුකෝරල, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සහ විශාල ජනතාවක් සහභාගි වුහ.
හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්, අක්මීමන – කේ. මතිලාල්, ගාල්ල – ලලිත් චාමින්ද, එස් .කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment