2024 දී අලුත් ඉරක් පායයිද?

220

අද 2023 වසරේ අවසන් දවසය. හෙට අලුත් වසරකට සමාරම්භක දවසය. වසරක් අවසන් වී අලුත් වසරක ආරම්භය යනු මොන අතින් බැලුවත් සුවිශේෂ වැදගත් සිද්ධියකි. ගෙවී ගිය වසරේ සමාජ ආර්ථික හා දේශපාලන ශේෂ පත්‍රය පිළිබඳව ආවර්ජනය කිරීම හෙවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම මෙබඳු අවස්ථාවක අතිශය වැදගත් බව අපගේ අදහසය. එයට එකඟ වන අය මෙන්ම ගෙවී ගිය වසර දෙස බලමින් සිතමින් සිටීම නිෂ්ඵල යැයි පිළිගන්නා අය ද සමාජයේ සිටිති. එහෙත් පොදුවේ එබඳු අතීත ආවර්ජනයකින් කිසිසේත් අයහපතක් වනු ඇතැයි සිතීමට ද නොහැකිය. එනිසා ඒ ගෙවී ගිය වසරේ සාධණීය හා නිශේධනීය සිදුවීම් දෙස සැකෙවින් බැලීම වටී. ලෝක බැංකු වාර්තා හා වෙනත් සමීක්‍ෂණවලින් ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කර තිබෙන සමාජ ආර්ථික විශ්ලේෂණ සියල්ල එලෙසම පිළිගත යුතු යැයි අපට යෝජනා කළ නොහැක. එහෙත් ගෙවී ගිය වසර තුළ අපගේ දෑස් අභියස සිදුවූ බොහෝ සිදුවීම් මෙන්ම විවිධ සමාජ දේශපාලන ප්‍රතිචාර ද එහෙම පිටින්ම අමතක කර දැමීම බලවත් වරදකි.

2022 වසරේ සීඝ්‍රයෙන් වර්ධනය වූයේ දුප්පත්කම බව ඒ බොහෝ විමසුම්වල හරයයි. 2021 සිට 2023 වනවිට මෙරටේ දුප්පතුන්ගේ සංඛ්‍යාව දෙගුණයක් බව ලෝක බැංකු වාර්තාවලින් පෙන්වා දී තිබිණි. ලර්න් ඒෂියා සඳහන් කරන්නේ 2019 ලක්‍ෂ 30ක් වූ දුප්පතුන්ගේ සංඛ්‍යාව 2023 වනවිට ලක්‍ෂ 70ක් වී ඇති බවය. මේ ලක්‍ෂ 70 අතර මෙරටේ මධ්‍යම පන්තියට අයත් බහුතරයක් ද වෙති. තවත් ආකාරයකින් කිවහොත් 2023 වනවිට ජීවන අරගලය රටේ බහුතර ජනතාවකගේ හිසමතට කඩා වැටුණු මහා බරක් හා විපතක් විය. එයට මුහුණ දීමට ප්‍රමාණවත් වත්කම්, ආදායම් කිසිවක් වර්ධනය වූයේද නැත. බොහෝ අය විසින් අනුගමනය කරන ලද ජීවන සූත්‍රය වූයේ විය හියදම් කපා දැමීමය. ගෙදර සාමාන්‍ය ආහාර වේල් තුන එක හෝ දෙක බවට පත් විය. ඒ එක් වේලද පෝෂ්‍යදායී ආහාර වේලක් නොවීය.

නුවර-ගම්දොර වෙනසකින් තොරව ගලාගිය දුප්පත්කමේ ගං වතුර වළක්වාලීමට ආණ්ඩුව අසමත් විය. මහජන මුදලින් යැපෙන මැති ඇමැතිවරුන්ගේ ජීවන රටාව එලෙසම පවතිද්දී ජීවන වියදම අඩුකරන ලෙස ඉල්ලමින් ජනතාව වීදි බසින්නටද වූහ. විවිධ වෘත්තිකයන් පීඩාවට පත් කළ ආණ්ඩුවේ බදු සංශෝධන ක්‍රියාදාමය තුළ සුළු හෝ සාධාරණ ගුණයක් නොවීම ද කැපී පෙනුණි. ආණ්ඩුවේ ආර්ථික පිළිවෙතක් ලෙස අනුගමනය කළේ ජනතාව මත අධික බදු බර පැටවීමය. වැටුප් ලබන සුළු පිරිස මෙන්ම වෙනත් සුළු ආදායමකින් ජීවිතය පවත්වාගෙන යන බහුතරය ද පොදු ජනතාව ද මේ බදු චක්‍රයේ වින්දිතයෝ බවට පත්වූහ. මෙය ආණ්ඩුවේ දෘෂ්ටි කෝණය අනුව ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ හැකි දුෂ්කර පියවරකි. එහෙත් ඒ සම්බන්ධයෙන් සිදු වූ විවේචනවල හරය වන්නේ ආණ්ඩුව සමස්ත ආර්ථික අර්බුදයේ මුළු බරම ජනතාව මත පටවා තිබෙන බවය. එය මෙම ආර්ථික අර්බුදය රටට ඇති කළ දේශපාලනඥයන්ට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට ද නොදැනෙන ජනතාව අඹරවන දුෂ්ට ක්‍රියාවකි.

2024 දේශපාලන සටන් පාඨය හෙවත් තේමාව බවට පත්වන්නේද මේ ආර්ථික අර්බුදය බව නිසැකය. එහෙත් ඉහත දැක් වූ ආණ්ඩුවේ ආර්ථික ක්‍රමයේ හෙවත් පටි තදකර ගැනීමේ න්‍යාය ආණ්ඩුවේ පාලකයන්ට හෝ සුපිරි පන්තියට අදාළ වූවක්ද නොවේ. මෙරටේ බදු ආදායම වැඩි වශයෙන්ම අයකර ගන්නේද වක්‍ර බදු ලෙසය. එයට සෘජුවම හසුවන්නේ සාමාන්‍ය ජනතාවය. එහෙත් ඉහළ ආදායම් ලබන හා වරප්‍රසාද හිමි පන්තිවල බදු ප්‍රතිශතය 15%ක් පමණ බව ද කියති. 2024 දී මෙම ධනවතුන් නොවන කණ්ඩායම් මත පැටවෙන 18% වැට් බද්ද සමග එළඹෙන හෙට දවස කෙතරම් පීඩාකාරී වනු ඇද්ද? පාන්, බනිස් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන මෙන්ම එදිනෙදා ජීවිතයේදී අත්හැරීමට නොහැකි සියලුම සේවාවන් හා භාණ්ඩවල මිල ගණන් ද මේ අනුව ඉහළ යනු නිසැකය. පෙට්‍රල්, ඩීසල්, ගෑස්, විදුලිය මේ අලුත් බද්දෙන් නිදහස් කළ නොහැකිය. ආණ්ඩුව මොන අලංකාරවලින් කතා කළත් මෙරටේ ගොවියන්, කම්කරුවන්, මධ්‍යම පාන්තිකයන් මෙන්ම නිසි ආදායමක් නොමැති ජනකොටස්ද මේ වැට් බදු දැති රෝදයට හසුවනු වළක්වාලිය නොහැක.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කළ සමීක්‍ෂණයකට අනුව මේ වනවිට ලංකාවේ පවුල් සියයට හැටක මාසික ආදායම පහත වැටී ඇත. නිදහසින් පසු මෙරටේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයට ජනතාව මුහුණ දෙන බව ද එහි දැක් වේ. මෙම අර්බුදයට මුහුණ දීමට ජනතාවට තරම් කිසිදු සාධනීය මග පෙන්වීමක් නොකළ රජය හැමවිටම ක්‍රියා කළේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් රටම වුව උකසට තබන මානසිකත්වයකිනි. අද සමාජවාදය පිළිගත් රටවල් වුවද පෞද්ගලික වෙළෙඳපොළ, පෞද්ගලික ආර්ථික සංවර්ධනය කෙරෙහි නැඹුරුවීමේ ප්‍රවණතාවක් ඇත. මෙරටේ වුවද මහජන මුදල් කාබාසිනියා කරන ආයතන රජය යටතේ තිබිය යුතු යැයි කියන කිසිවෙක්ද නොවෙති. එහෙත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය තවමත් කටින් බතල හිටවන පම්පෝරියක් පමණක්ද?

2024 දී අලුත් ඉරක් පායයිද?

මේ වනවිට නිකුත් කර ඇති ජන හා සංඛ්‍යා ලේඛන සමීක්‍ෂණ වාර්තාවක ආණ්ඩුවේ ආර්ථික අසමත් බව හා අසංවේදී මෙහෙයුම්වල විපාක ඉතා නිවැරදිව පෙන්වාදී ඇත. පවුල්වල ජීවන රටාව බිඳ වැටී දස අතේ ණය තුරුස් ලබාගෙන, තමන් සතු කනකර අබරණ පවා උකසට තබන ජීවිත කොපමණ දැයි ආණ්ඩුව නොදනී. ඒවායින් බිඳක් මේ වාර්තාවල ද ඇතුළත්ව තිබේ. එහෙත් සමස්ත චිත්‍රය ඊට වඩා නරක බව නිසැකය. අධ්‍යාපනය සෞඛ්‍ය වැනි අනිවාර්ය දේවල් පවා සෑහෙන ප්‍රමාණයකින් කපා දැමීමට මධ්‍යම පන්තියේ බහුතරයකට ද, සාමාන්‍ය ජනතාවට ද සිදු විය. සිව් දෙනෙකුගේ අධ්‍යාපන වැය ඉහළ යද්දී ඒ පවුලේ දෙදෙනෙක් හෝ එක් අයෙක් සිය අධ්‍යාපනය නතර කර දමන තත්ත්වයට පත් වූහ. ගෘහස්ත ජීවිතවල වියදම ඉතා ඉහළ ගිය අතර ප්‍රවාහන හා වෛද්‍ය ප්‍රතිකාර අත්හැර දමන තත්ත්වයට ද පත්විය. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව යටතේ වර්ධනය වී ඇත්තේ දුප්පත්කමයි. බිඳ වැටී ඇත්තේ යුක්තිය හා සාධාරණයේ පැවැත්මය. නීතිය නමන, ජනතා දුක නොහඳුනන මේ පාලකයන්ගෙන් රට නිදහස් කර ගත යුතු බව 2023 නත්තල වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කළ මැල්කම් කාදිනල් රංජිත් හිමියෝද පැවසූහ. ආණ්ඩුවේ ලියන කියන ඇත්තන්ට හා ආර්ථික විශ්ලේෂකයන්ට මේවා දුරවබෝධ විය හැකිය. එහෙත් රටේ සැබෑ ආර්ථික චිත්‍රය මෙම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන සමීක්‍ෂණයෙන්ද මැනවින් පෙන්වා දෙනු ලැබ තිබේ. එහිදී පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතයේ බලපෑම් ගැන ද පෙන්වාදී ඇත.

2019න් පසු 2022 පමණ වන තුරුම රටේ සමාජ ආර්ථික හා දේශපාලන අර්බුද කළමනාකරණය කළ හැකි නායකත්වයක්ද රටට නොලැබුණි. 2022 පුරවැසි අරගලය ලෙස හැඳින්වෙන ගාලුමුවදොර තෙක් ඇදී ආ විරෝධතාව නිසා රාජපක්‍ෂ බලය නිෂ්ක්‍රීය වී එජාපයේ රනිල් අතට පත්වූ රාජ්‍ය බලයට කිසිසේත්ම 2022 උද්ගතවූ ආර්ථික සමාජ දේශපාලන අර්බුදවලට විසඳුම් නොවීය. පැවැති රාජපක්‍ෂ බල දේශපාලනය දැඩි අර්බුදයකට ලක්ව පසු බසිද්දී ආණ්ඩුව අතට ගත්තේ මර්දන අවිය හා විධායක බල අසිපත ලෙළවීම පමණි. මේ ප්‍රභූ දේශපාලනය මියගොස්, දුඟඳ හමන කුණුහපයක තත්ත්වයට පත් වුවත් ජනාධිපති රනිල් පෙනීසිටියේ ඒ දේශපාලනය වෙනුවෙනි. විරෝධතාකරුවන්ගේ පණිවිඩය වූයේ ඒ ගර්හිත දේශපාලනය ප්‍රතිසංස්කරණය නිෂ්ඵල බවත් අලුත් වෙනසක් රටට වුවමනා බවත්ය. ‘ක්‍රමයේ වෙනසක්’ විනා ආණ්ඩු වෙනසක් නොවන බවය.

2023 වසරේදී මෙරටේ ආර්ථික කඩා වැටීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද ඓතිහාසික තීන්දුවක් හා රාජ්‍ය ආරක්‍ෂාව නොතකා හැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවක්ද විය. රටේ ඉකුත් දසකය තුළ සිදුවූ ආර්ථික කඩා වැටීමට රාජපක්‍ෂවරු වගකිව යුතු වෙතියි ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේය. ගෝඨාභය, මහින්ද හා බැසිල් යන රාජපක්‍ෂවරුන් මෙන්ම ආර්ථික ක්‍ෂේත්‍රය හා සම්බන්ධ ඉහළම නිලධාරීන් කීප දෙනෙක්ද එහිදී වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබිණි. අනෙක් තීන්දුව වූයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල ඇතුළු එවක සිටි පොලිස්පති හා ආරක්‍ෂක ලේකම් ද තවත් කීප දෙනෙක් ද පාස්කු ප්‍රහාරය වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතු බවය. මෙරටේ ජනාධිපතිවරයකුට කෝටි 100ක වන්දියක් නියම කිරීම ද විශේෂ කරුණක් විය.

මෙරටේ ආර්ථිකය කඩා වැටීමේ චෝදනාව පොදුවේ නිදහසින් පසු ලංකාව පාලනය කළ දේශපාලන පක්‍ෂවලට හා නායකයන්ට සෘජුව එල්ල වූවකි. එහෙත් එයට වගඋත්තරකරුවන් ලෙස රාජපක්‍ෂ පාලනය නම් කරන ලද්දේ 2023 වසරේදීය. 1977 දී මෙරටේ වමේ නායකයන් ඇතුළු ප්‍රබල දේශපාලන චරිත ගණනාවක්ම ගෙදර යවන ලද්දේත් මැතිනියගේ සමගි පෙරමුණ ආණ්ඩුවේ ආර්ථික කඩා වැටීම නිසා බව පිළිගනු ලැබේ. 1977 දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය එදා සිට අද දක්වා පවත්වා ගෙන යන්නකි. ලංකාව සිංගප්පූරුවක් කිරීමේ ජයවර්ධන අලංකාර ප්‍රතිඥාව අදත් වර්ණනා කෙරෙන්නෙකි. එහෙත් ඒ ආර්ථික කබායෙන් පිටතට පැමිණි රනිල්ට ජනාධිපතිවරයා ලෙස වුවද මෙරටේ ආර්ථික අර්බුදයට සාධනීය විසඳුම් ලබා දීමට නොහැකි විය. අද ලංකාව මූලික වශයෙන්ම විදේශ විනිමය අර්බුදය ජයගත යුතු බව ජනාධිපති රනිල් වටහාගෙන සිටියත් ඔහුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකු ණයත් හැර ඉන් එහාට ගිය ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් නැත. ඔහුට තිබෙන එකම විකල්පය ජනතාව මතම බදු බර පැනවීම බව ද පෙනේ. පාරිභෝගිකයන් කෙරෙහි පනවන ලබන බද්ද කිසිවකුට මගහැර යා නොහැකි උගුලක් බවට පත්ව තිබියදීත් 2024දී ආණ්ඩුව තවත් වැට් බද්දක් පනවා තිබීම අතිශය අසාධාරණය.

ලබන වසර එනම් 2024 සම්බන්ධයෙන් අප කිසිවකුට සුබවාදී බලාපොරොත්තුවක් තබාගත නොහැකි වී තිබේ. මේ සමාජ ආර්ථික දේශපාලන අර්බුදයට යම් තම් හෝ ගෑවී සිටින අයෙක් යළි මෙරටේ පාලනයට දායක කර නොගත යුතුය යන ආකල්පය ද ජනතාවගෙන් වැඩි කොටසකට තිබේ. ඇති හැකි අයට මෙන්ම නැති බරි අයට ද 18%ක වැට් බද්ද නිසා පත්විය හැකි ආර්ථික පීඩනය විශාලය. මෙරටේ බදු පැනවීම වෙනත් කලාපීය රටවල හා යුරෝපයේද බදු ක්‍රම සමග සසඳමින් කරන ලද ශාස්ත්‍රීය විග්‍රහයන් අපගේ අවධානයටද ලක් විය. ඒ සියල්ල සාරාංශ ගත කළ විට ඉතිරි වන හරය වන්නේ මොනම ක්‍රමයකින්වත් මෙරටේ බදු බර සාධාරණ හා යුක්ති සහගත කළ නොහැකි බවය. සමහරුන්ගේ අවධාරණය වූයේ 18%ක වැට් බද්දක් පැනවිය හැක්කේ හිත් පිත් නොමැති පාලනයකට පමණක් බවය. ඉන්දියාව, පකිස්තානය හා බංග්ලාදේශය වැනි රටවල වැට් බදු ප්‍රතිශතය අඩු බව ද ඔව්හු පෙන්වා දෙති. මහා බ්‍රිතාන්‍ය වැනි ධනවත් රටවල් ද අභිබවා යමින් පොදු ජනතාව සූරා කන අමානුෂික බදු බර මෙරටේ විශාල මහජන විරෝධයක් කරා යොමුකරවමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඒ පාලකයන් පළවාහැරීම 2024 ජනතා අපේක්‍ෂාව විය යුතු බව ද යෝජනා වී තිබේ.

මේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු (ප්‍රධාන පාර්ශ්වකරුවා) වන පොදුජන පෙරමුණ නායක මහින්ද දැන් සෘජුවම මෙම බදු බර ජනතාවට ඔරොත්තු නොදෙන බව පවසයි. ඔහු 2024 දී ආණ්ඩුවක් සෑදීම සඳහා සූදානමින් සිටි. එසේම වත්මන් පාලක රනිල්ට වඩා වෙනස් ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ඔහුගේ පක්‍ෂයට තිබෙන බව ද සඳහන් කරයි. එහෙත් 2024දී මැතිවරණ පැවැත්වුවහොත් ඒවායේදී මෙරටේ මහ ජනතාව කෙසේ ක්‍රියා කරනු ඇද්ද? මේ ආණ්ඩුවටත් එහි ප්‍රබල පාර්ශ්වකරුවා වන පොහොට්ටුවටත් කෙබඳු ප්‍රතිචාරයක් දක්වනු ඇද්ද යන කරුණු කෙරෙහි මේ වියපත් නායකයාට අවබෝධයක් නැති බව ද පෙනේ. අපේ සමීපතම අසල්වැසියන් වන ඉන්දියාව හා බංග්ලාදේශයද 2024දී මැතිවරණවලට මුහුණ දීමට නියමිතය. එහෙත් ඒවායේ සමාජ දේශපාලන සන්දර්භ අපට වඩා වෙනස්ය. ඒ රටවල්වල වර්තමාන පාලකයන්ට වුවමනා වී ඇත්තේ තම දේශපාලන බල අධිකාරිය තහවුරු කර ගැනීමක් බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ. එහෙත් මෙරටේ එළඹෙන කවර මැතිරණයකදී වුවද වත්මන් පාලනය එහි අනුගාමිකයන් එකට තබා පරාජය කිරීමට ජනතාවගෙන් වැඩි පිරිසක් සූදානම්ව සිටිති. ප්‍රබුද්ධ හා සිවිල් සමාජ කොටස්, නීතිඥ ප්‍රජාව හා විශ්වවිiාල ආචාර්ය හා වෙනත් වෘත්තිකයන් පෙළ ගැසෙනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම, නීතියේ හා යුක්තියේ සාධාරණත්වය තහවුරු කෙරෙන නීතියේ ආධිපත්‍ය ගොඩනැඟීම මෙන්ම දූෂිත හා වංචනික ක්‍රියාකාරකම්වල නිරතවූවන්ට දඬුවම් ලබාදීම වැනි සාරධාර්මික සමාජයක පිහිටුවාලීම වැනි පුළුල් පරමාර්ථ ඇතිවය. ජන දුකට, වරප්‍රසාද අහිමි පන්තියට පිටුපාමින් පවතින දූෂිත, වංක සමාජ ක්‍රමය නඩත්තු කිරීමට එරෙහිව පෙළ ගැසෙන ජනතාව මැතිවරණ සටන දෙස ගැඹුරු අධ්‍යයනයක නිරත වන බව ද සිකුරුය.

ඇත්ත වශයෙන්ම 1956දී මෙන්ම 1970දීත් මෙරටේ සමාජ දේශපාලන තුළ සිදුවූ ඓතිහාසික විප්ලව හා සමාන පරිවර්තනයට වුවමනා සියුම් බලවේග 2024දී උත්කර්ෂයට පත්වීමේ ප්‍රවණතාවක්ද වේ. 56දී නැඟුණු පංච මහා බලවේගයට වඩා ප්‍රබල දේශපාලන විඥානයක්ද 70දී අප දුටු ආර්ථික අඳුරේ පියකරු බවින් මිදීමේ අභිලාෂයෙන් වීදි බැස සිටින ජන බලවේගයක් ද නව වසරේ ගොඩනැඟෙනු ඇතැයි සමහරු කල්පනා කරති. එය ඉහත සඳහන් කළ පරිදි දේශපාලන පොදු සතුරා පරාජය කිරීමට වඩා ඉදිරියට ගිය දේශපාලන ප්‍රතිචාරයකි. 2022 දී අවදි වූ ඒ ජනබලයේම දිගුවක් නොවුවද එහි සාධනීය ලකුණු මේ අලුත් ජනතා පෙළගැස්ම තුළ දැක ගනු හැකි වනු ඇත. වත්මන් පාලනය තුළ විසඳුමක් නැති, ආර්ථික අර්බුදයේ සියලු බර පහළම ජන කොටස් වෙත ද රුදුරු ලෙස පටවනු ලබන ක්‍රමයත්, එමගින් සිදුවන සමාජ විනාශයත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මුහුණට මුහුණ සටනකින් පරාජය කිරීමට බලය හිමි පන්තිය ඉඩ දෙනු ඇද්ද? යන කුහුලද සමහරුන් තුළ වේ. කොහොමටත් 2024දී ආණ්ඩුව අනුගමනය කරන්නේ ඔවුන්ගේ ගජ මිතුරන්, ව්‍යාපාරික සමීපතමයන් හා වරප්‍රසාද සහිත වැඩවසම් පන්තිය ද සුරකින පිළිවෙත විනා ජනතා කොටස්වල පහළ සිට මධ්‍යම පන්තිය තෙක් ්වූ පරාසය සුරැකීම නොවන බව ද රහසක් නොවේ.

අවසන් වශයෙන් කිව යුත්තේ මෙතෙක් අතිශය ආන්දෝලනයන්ට තුඩු දී තිබෙන ඉන්ධන, විදුලිය, ගෑස් හා ඖෂධ ඇතුළත් සෞඛ්‍ය සේවයෙහි දුර්වර්ණ වූ චිත්‍රයත්, විෂම ප්‍රතිඵලත් ප්‍රකෘතිමත් කිරීමේ අභියෝගයට ආණ්ඩුවට සාධනීය පිළිතුරු තිබේද යන්න සැක සහිත බවය. මේ කරුණු පසුගිය වසරේ සිටම ජනමනස තුළ රැව් පිළිරැව් දෙන දූෂණ හා අගතිගාමී දේශපාලන මැදිහත්වීම් සහිත ඒවාය. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල මුහුණදී සිටින චෝදනා හා විවේචන සම්බන්ධයෙන් නොපැහැදිලි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේම ප්‍රබල චෝදනාවකි. ජනාධිපතිවරයා මෙයට මැදිහත් නොවීම සම්බන්ධයෙන් ද විවේචන තිබේ. කෙහෙළිය වෙනුවෙන් සදාචාරාත්මක නොවන ප්‍රතිචාර දක්වන කණ්ඩායම්වල ඔහුගෙන් ප්‍රතිලාභ හෝ තනතුරු වරප්‍රසාද ලැබූ අය සිටිත් නම් මේ සෞඛ්‍ය සේවයේ කුණුවීමට 2024දී වත් ප්‍රතිකර්ම යෙදවිය හැකි වේද? ඇත්ත වශයෙන්ම 2024දී මේ රටට අලුත් දේශපාලන වෙනසක් සිදුනොවන්නේ නම් රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය,නීතියේ ආධිපත්‍යය මෙන්ම යුක්තියේ හා සාධාරණයේ පැවැත්ම ද අභියෝගයට ලක්වනු ඇත. වගවීමක් නැති වගකීමක් නැති රැවටීමක් සමග රටක් ස්ථාවරව නොපවතින බව පමණක් සඳහන් කර එළඹෙන වසරේ ඒ සියලු පීඩා දුෂ්චර්යා විනාශ වී යේවායිද ප්‍රාර්ථනා කරමු.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment