උසාවියට අපහාස කළාද? රොෂාන්ට එරෙහි නඩුවට මැදිහත් වෙන්න නීතිඥ සංගමයත් අවසර ඉල්ලයි

503

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා නීතිඥ දිනිති සිරාජ් ඔගස්ටස් මහත්මිය ගොනුකර ඇති පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවකු ලෙස මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවින් මාරපන මහතා ඊයේ (30දා) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය. නීතිඥ සුභාෂිණි ජයලත් මහත්මිය මගින් ගොනුකර තිබූ එම පෙත්සම විනිසුරු එම්. ටී. මොහොමඩ් ලෆාර් මහතා සහ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය හමුවේදී කැඳවිණි.

එකී පෙත්සම ගොනු කිරීම සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ගොනු කරන බව රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉඟලහේවා මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව එකී විරෝධතා ලබන 15 වැනි දින හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට වගඋත්තරකාර පාර්ශ්වයට කල් ලබාදුන් විනිසුරු මඬුල්ල එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජනවාරි 3 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය. පෙත්සම්කාර නීතිඥවරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියේය.

උසාවියට අපහාස කළාද? රොෂාන්ට එරෙහි නඩුවට මැදිහත් වෙන්න නීතිඥ සංගමයත් අවසර ඉල්ලයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුව තුළදී අභියාචනාධිකරණයේ සභාපතිවරයා ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් දැඩිව විවේචනය කරමින් කළ ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට කළ දැඩි බලපෑමක් මෙන්ම අධිකරණයට කළ අපහාසයක් වන බවත් එබැවින් නිසි විමර්ශනයක් සිදුකර ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝගයක් කරන ලෙසත් පෙත්සම්කාර නීතිඥවරිය එමගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment