බේරේ වැවට නොදැමිය යුතු කොළඹ සංවර්ධනය

738

කොළඹ වටිනා ඉඩම් සියල්ල ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා තිබේ. ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතා කොළඹ හෝටලයකදී ඔහු මේ බව පවසා ඇත. අනාගත දේශගුණික විපර්යාසවලට ගැළපෙන ආකාරයට මේ රටේ ගෘහ නිර්මාණ ශිල්පය වෙනස් විය යුතුය යන්න මේ කතාවේදී ඔහු පවසා තිබේ. ජනාධිපති වික්‍රමසිංහගේ කතාව ඉතා දීර්ඝය. මේ රටේ ඉපැරණි විශ්මිත ඉදිකිරීම් පිළිබඳ උදාහරණ ගණනාවක්ද ඔහු සිය දේශනයේදී ඉදිරිපත් කර ඇත. එහෙත් අප අද මෙම කතුවැකිය තුළින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ දේශනය තුළදී ජනාධිපතිතුමා ඉදිරිපත් කළ වෙනත් කාරණයකි. ඒ අප මෙහි මුලින් සඳහන් කළ, කොළඹ නගරයේ තිබෙන වටිනා ඉඩම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් වන ව්‍යාපෘති සඳහා ලබාදිය යුතු බවට ඔහු කර ඇති ප්‍රකාශයයි.

එක්දහස් හත්සිය ගණන්වලදී කන්ද උඩරට රාජධානිය අත්පත් කරගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා ස්වකීය හිරු නොබසින අධිරාජ්‍යයට ලංකාවද එකතුකර ගත්තේය. ලංකාවද සූරාකන ගමන් එය බැලන්ස් කිරීම සඳහා මේ රට ස්වකීය අධිරාජ්‍යයට අයත් හොඳම garden city එක හෙවත් ලස්සනම උද්‍යාන රාජ්‍යය බවට පත්කිරීමට ඔහු තීරණය කළහ. එයට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් වූයේ ලංකාවට හෝ තම අධිරාජ්‍යයේ තිබෙන කිසිම රාජ්‍යයකට නිදහස දීමේ අදහසක් ඒ වනවිට ඔවුන් තුළ නොතිබීමය. මේ වනවිට වැසි කාලයට මුළු කොළඹම යටවිය. මෙහිදී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා සිය ඉංජිනේරුවන් රැස්කොට පිළියමක් විමසීය. මෙහිදී එම ඉංජිනේරුවන්ගේ මතය වූයේ පෘතුගීසි ආක්‍රමණිකයන්ගෙන් කොළඹ නගරය බේරා ගැනීම සඳහා හයවන විජයබාහු රජ විසින් කැණ තිබූ විශාල දිය අගලක් තවදුරටත් විශාල කර ගංවතුර එයට බැස්ස විය හැකි බවය. මේ වූකලී බේරේ වැවේ උපතයි. 1927 වනතුරු බේරේ වැවට නමක් තිබුණේ නැත. පොදුවේ කොළඹ වැව ලෙස එය හඳුන්වන ලදී. ලන්දේසි පාලන සමයේදී මේ දිය අගල පිළිබඳ සියලු පාලන කටයුතු භාරවී තිබුණේ De Beer නමැති ලන්දේසි ඉංජිනේරුවෙකුටය. 1700 දී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මේ දිය අගල තවදුරටත් කණිනු ලබන විට එහි වාන් දොරටුවක තිබී ඉංජිනේරු De Beer ගේ නම සහිත ශෛලමය ඵලකයක් හමුවිය. මේ ශෛලමය පලකයා දීර්ඝ කාලයක් ඔහේ පැත්තක දමා තිබිණ. දිනක් ඒ බව දුටු බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙක් මේ ගැන බ්‍රිතාන්‍ය රජයට රපොර්තු කිරීම නිසා De Beer යන නමින් එම විශාල දිය අගල නම් කරන ලදී. පසුකාලයේදී බේරේ වැව ලෙස හඳුන්වන්නේ මේ De Beer වැවය. මේ අතර කොතරම් මහන්සි වූ නමුදු ලංකාව දර්ශනීය උද්‍යාන නගරයක් බවට පත්කර ගැනීමට බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ට බැරි විය. එයට භූ විෂමතා සාධක මෙන්ම එම ව්‍යාපෘතියට හවුල් වූ දෙමළ, සිංහල සහ මුස්ලිම් ශ්‍රමිකයන්ගේ කම්මැලිකමද බලපෑවේය. වැඩේ අත්හැර දැමූ බ්‍රිතාන්‍ය ආණ්ඩුව උද්‍යාන රාජ්‍යයේ අදහස ඉන්දියාවේ බැංගලෝරයට ගෙනගොස් එම නගරය ලස්සන මල් වතු සහිත නගරයක් බවට පත් කළේය.

1948 දී බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාව අත්හැර යනවිට කොළඹ නගරයේ ඉතා ලස්සන උද්‍යාන 57 ක් තිබිණ. අද ඉන් ඉතිරිව ඇත්තේ විහාර මහා දේවි උද්‍යානය, කොළඹ තිඹිරිගස්යායේ උද්‍යානය, කැම්බල් උද්‍යානය ඇතුළු උද්‍යාන දහයකට අඩු සංඛ්‍යාවකි. ඒ අතර අධිරාජ්‍යවාදී යුගයේදී සිර ගෙදර සහ ප්‍රධාන පරිපාලන ගොඩනැගිලි සියල්ලම සාදන ලද්දේ කොළඹ නගරය කේන්ද්‍ර කරගෙනය. ඒ බ්‍රිතාන්‍ය විලාසිතාවයි. අද මේ විලාසිතාව අවලංගු වී තිබේ. ඒ නිසා කොළඹ තිබෙන ආණ්ඩුවේ ඉදිකිරීම් ගණනාවක්ම රජයට සහ රටට මුදල් ලැබෙන ව්‍යාපෘති බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව මතුව ඇත. රටක අගනුවරකට එක් ප්‍රධාන උද්‍යානයක් තිබීම ප්‍රමාණවත්ය. ඒ සඳහා අවශ්‍ය ප්‍රධාන උද්‍යානය වන විහාරමහාදේවි පාක් එක අපට ඇත. ඊට අමතරව අතන මෙතන තියෙන පුංචි පුංචි පාක් වලින් වෙනත් ප්‍රයෝජන රාශියක් ගත හැකිය. වැලිකඩ හිර ගෙදර බොරැල්ලේ පවත්වාගෙන යෑම ජාතික මට්ටමේ අපරාධයකි. කොළඹ තිබෙන විශාලතම ගම්මාන වලින් එකක් වන වැලිකඩ ගමෙන් 60% ක් පමණ හිර ගෙදරට යටවී තිබේ. මේ හිර ගෙදර අවිස්සාවේල්ලට ගෙන යෑමටත් දැනට එම හිර ගෙදර තිබෙන තැන Mix development project එකක් හෙවත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් යෙදවීමටත් යන බවට කාලයෙන් කාලයට අපට ආරංචි ලැබිණ. චීන ආයෝජකයන් පිරිසක් වැලිකඩ හිරගෙදර ලබාගන්නා බවටත් ඒ වෙනුවෙන් අති නවීන හිර ගෙයක් අවිස්සාවේල්ලෙන් ඉදිකිරීමට චීනුන් නොමිලේම කටයුතු කරන බවත් දිනක් පුවත්පතක පළවිය. මේ කතන්දර සියල්ලම පැය 24 ක් යනවිට අවලංගු වෙයි. වැල්ලවත්තේ රෙදි මෝල පැවති භූමියෙහි අද සුවිශාල apartment නගරයක් ඉදිකර තිබේ. මේ apartment නගරයේ අරුමය පෙනී යන්නේ බිම සිට බලන විට නොව අහසට ගොස් birds eye කෝණයකින් බලන විටය. මෙබඳු ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ හැකි තැන් ගණනාවක් කොළඹ තිබේ. ගාලුමුවදොරින් කොටසක පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයට අයත් භූමිය shangrila හෝටලය ඉදි කිරීමට විකුණන ලද කල්හි මේ රටේ දේශප්‍රේමීහු සරම් ඇඳගෙන ඔළුවෙන් හිටගනිමින් විරෝධය පළ කළහ. එහිදී සිදුවූ ලොකුම අඩුපාඩුව නම් මේ දේශප්‍රේමීන් යටට කිසිවක් ඇඳ නොසිටීමය. shangrila ගනුදෙනුවේදී දූෂණ රැසක් වූ බව කියනු ලැබේ. එය වෙනම කාරණයකි. සංවර්ධනයේදී දූෂණ සිදුවෙයි. අප කළ යුත්තේ එම කාරණය නිමිති කරගෙන සංවර්ධනය නැවැත්වීම නොව දූෂණ නැවැත්වීමය. අද වන විට shangrila හෝටල් සංකීර්ණය කොළඹ නගරයට මහත් අලංකාරයක් වී තිබේ. එබැවින් ජනාධිපති වික්‍රමසිංහගේ අදහස ක්‍රියාවට නැගිය යුතුමය.

advertistmentadvertistment
advertistmentadvertistment