එක්ස්ප්‍රස් පර්ල් සමග ගොඩඑන ඩොලර් මිලියන 250 පගාව

1023

මෙයට අවුරුදු දෙකකට පමණ පෙර 2021 මැයි මාසයේදී රසායනික ද්‍රව්‍ය වර්ග 46 ක් පටවාගෙන ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගන්නට පටන් ගත්තේය. මේ ගින්න කිසි ලෙසකින්වත් වැළැක්වීමට නොහැකි වූ අතර දින ගණනාවක් තිස්සේ ඇවිළීමෙන් පසු එක්ස්ප්‍රස් පර්ල් නැව මුහුදට ගිලා බැස්සේය. නැවේ ගින්න නිසා කාබන් මොනොක්සයිඩ් නමැති විෂ වායුව අවම වශයෙන් ටොන් එකකවත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වායුගෝලය පුරා විසිර යන්නට ඇති. නැව මහ මුහුදට ගිලා බසින විට විෂ රසායනික ද්‍රව්‍යය ටොන් දහස් ගණනක් අපේ මුහුදු පත්ලට ගිලා බසින්නට ඇති. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය නිසා එම ගින්න අවට වර්ග සැතපුම් ගණනාවක මහ මුහුද නන්නත්තාර විය. මේ නිසා කැස්බෑවෝද මත්ස්‍යයෝද වෙනත් සමුද්‍ර ජීවීහු ද ලක්ෂ ගණනක් මිය ගියහ. ඇතැම් කැස්බෑවුන්ගේ පිට කටුව සම්පූර්ණයෙන් වාගේ පිලිස්සී ගිය බැවින් එම කටුව ගලවා ඉවත් කර පොලිමර්වලින් තැනූ කෘත්‍රිම කටු බද්ධ කිරීමට පරිසරවේදීන්ට සහ පශු වෛද්‍යවරුන්ට සිදුවිය. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියේදී මේ රටේ පරිසරවේදීන් විසින් කරන ලද මාහැඟි සේවය අප කිසි කලෙකත් අමතක නොකළ යුතුය. එහෙත් කිසි කෙනෙක් ඒ සේවය අගය කළේ නැත. අගය නොකෙරුණු සේවාවන් කරන ලද පුද්ගලයන්ට ඉංග්‍රීසි භාෂාවෙහි ඉතා වැදගත් වූද බෙහෙවින් භාවාතිශය වූද නමක් යොදනු ලැබේ. ඒ වූකලී ඹබ Un sung hero ය. ගුණ ගායනා නොකෙරුණු වීරයන් පිළිබඳව මේ යෙදුමෙන් මතක් කරදෙනු ලැබේ. BBC මාධ්‍ය ජාලය විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හඳුන්වන ලද්දේ The Toxic Shipයනුවෙනි. මෙහි සිංහල තේරුම විෂ නෞකාවය. 2021 ජූනි 10 දා BBC පුවත් සේවය පළ කළ ලිපියකට අනුව එක්ස්ප්‍රස් පර්ල් නැවේ පාරිසරික හානිය තවත් දශක ගණනාවක් තිස්සේ පලදෙනවා ඇත. මේ නැව ගිලුණු ප්‍රදේශයේ ධීවර කර්මාන්තය කිරීමට අදටත් නොහැකිය. මුහුදු පත්ලේ තිබෙන විෂ සහිත දේවල් අනුභව කිරීම නිසා මත්ස්‍යයන්ගේ ශරීර ද විෂ බවට පත්ව තිබේ. එම මසුන් අනුභව කළ විට මනුෂ්‍යයන්ට ද විවිධ රෝග වැළඳීමට ඉඩ තිබේ. ඔබගේ දැනුම වර්ධනය කිරීම සඳහා කුඩා කාරණයක් සටහන් කරමු. ලන්ඩනයේ පිහිටි සුප්‍රසිද්ධ තේම්ස් ගඟේ මසුන් සිටින නමුදු උන්ගේ සිරුරුවල විශාල වශයෙන් ඊයම් ඇති බැවින් එම මසුන් අනුභව කළ නොහැක. එම මාළු කෑවොත් පිළිකාව ෂුවර් ය. එංගලන්තයේ සිටින කර්මාන්තකරුවෝ කාලාන්තරයක් තිස්සේ ස්වකීය කම්හල්වල අපජලය තේම්ස් ගඟට හැරවූහ. මේ අපජලයෙහි ඊයම් අංශු බහුල ලෙස තිබිණ. මුලදී මේ ඊයම් සහිත කොටස් අනුභව කළ මසුන් මියගිය නමුත් කල්ගත වත්ම ඊයම්වලට ඔරොත්තු දීමට මත්ස්‍ය ශරීර පුරුදු විය. එවිට තවදුරටත් මසුන් මිය නොගිය අතර එම මාළු කන වුන් මියයන්නට පටන් ගත්හ. එක්ස්ප්‍රස් පර්ල් නැවේ මහා ගින්න නිසා එය ගිලුණු සාගරය අවට මෙවැනි විෂ තත්ත්වයක් හටගෙන ඇතැයි අපි විශ්වාස කරමු. මේ විෂ නිසා ඉදිරි දශක කිහිපය තුළදී විකෘති සමුද්‍ර ජීවීන් පහළ වනවා ඇත.

සාමාන්‍යයෙන් ඕනෑම දරුණු සිද්ධියක් අමතක කිරීම සඳහා අපට දෙසතියක කාලයක් ප්‍රමාණවත්ය. ප්‍රභාකරන් කීවේ සිංහලයා සතියක් තුළ ඕනෑම දෙයක් අමතක කරන බවය. ඒ අනුව එක්ස්ප්‍රස් පර්ල් නැව ද ඉන් හටගත් පරිසර විනාශය ද අපට අමතක විය. එහෙත් මීට දෙතුන් දිනකට පෙර අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මුහුදට නොබැසම එක්ස්ප්‍රස් පර්ල් නැව ගොඩගත්තේය. ඒ නෞකා අනතුරට පසු මේ රටේ සිටින දේශපාලනික සිංහල මහතෙක් සිද්ධිය යටගැසීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 250 ක පගාවක් එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගමෙන් ලබාගත් බව හෙළි කිරීමෙනි. මේ මහතා අරගලයෙන් බිඳ වැටුණු ආණ්ඩුවේ බලධාරියෙකි. ඔහු ඩොලර් මිලියන 250 පගාව එංගලන්තයේ ගිණුමකට බැර කරගෙන තිබේ. අදාළ පුද්ගලයාගේ නමත් එංගලන්ත බැංකු ගිණුමේ අංකයත් ආචාර්ය විජයදාස රාජපක්ෂ සතුව තිබී රහස් පොලිසියට ලබාදී ඇත. පැවති ආණ්ඩුව පෙරළුනු අවස්ථාවේදී එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය යළි කිසි කලෙකත් ගොඩනොඑන බවක් මේ බලධාරියා කල්පනා කරන්නට ඇති. හැකි නම් මළ මිනියකින් වුව පගා ගන්නා මිනිස්සු මේ රටේ බහුලය. එම පගාව කිහිපදෙනකු අතර බෙදීමෙන් පසු ඔවුන්ගේ කටවල් සදහටම වසා තැබීමට පගාකාරයාට පුළුවන. මේ ආකාරයෙන් යටගිය දූෂණ සිද්ධි රාශියක් මේ රටේ තිබේ. පසුගිය රජය පැවති කාලයේදී සිදු වූ මහ සුදු ලූනු වංචාව තවමත් හරියට එළිදරව් වී නැත. එසේම පාස්කු බෝම්බය ගැනද තවමත් කිසිදු හාහූවක් නැත. ඕනෑම හොරකමක් හෝ මිනීමැරුමක් එම හොරකම හෝ මිනීමැරුම වෙන්නටත් කලින්ම වාගේ සොයාගන්නා පොලිසියට දිනේෂ් ශාෆ්ටර්ගේ මිනීමැරුම ගැන සොයාගැනීමට බැරි විය.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න නිසා මේ රටේ පරිසරයට සිදු වූ හානිය පිළිබඳ වෝහාරික විගණනයක් අදටත් හරිආකාරව සිදුකර නැත. දළ ඇස්තමේන්තුවලට අනුව මේ හානිය ඩොලර් බිලියන කිහිපයක් ඉක්මවීමට ඉඩ තිබේ. මක්නිසාද යත් මේ හානිය තවත් අවුරුදු 50 ක් පමණ එකදිගටම පැවතීමට ඉඩ ඇති බැවිනි. මේ නැවේ වැඩිපුර තිබුණේ නයිටි්‍රක් අම්ලය යයි. ඊට අමතරව සෝඩියම් ඩයොක්සයිඩ්, තඹ සහ ඊයම් ද මේ නැවේ තිබිණ. කුඩා ප්ලාස්ටික් පෙලට් බිලියන ගණනක් මෙහි තිබිණ. මේ සියල්ලම පරිසරයට එකතු වන්නේය. නැව ගිනි ගැනීමෙන් පසු මුහුදට ගොඩගැසූ මසුන්ගේ හා කැස්බෑවන්ගේ සිරුරු කොළ පැහැති වී තිබිණ. ඊට හේතුව එම සතුන්ගේ සිරුරු තුළට ලෝහ වර්ග සහ රසායනික ද්‍රව්‍ය කාවැදී තිබීමය. මේ අපරාධය වසා දැමීම සඳහා ඩොලර් මිලියන 250 ක පගාවක් ගත් ඒකාට දඬුවම් පැමිණවීම සඳහා අලුතින්ම නීති සකස් කළොත් හොඳ බව අපගේ අදහසය. ඒ ටිකත් නැව ගොඩගත් ආචාර්ය විජයදාස රාජපක්ෂට භාරය.

advertistmentadvertistment
advertistmentadvertistment