ආණ්ඩුව විදේශ ණය ගෙවීමේ අර්බුදය තවත් ඉදිරියට ගෙනියන්න හදනවා-පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ(සජබ)

109

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලය තහවුරු කරගැනීම සඳහා විදේශ ණය ගෙවීමේ අර්බුදය තාවකාලිකව තව තවත් අවුරුදු කිහිපයක් ඉදිරියට ගෙනියන්න හදනවා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (20දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

වර්තමාන ජනාධිපතිතුමාට සහ රජයට අවශ්‍ය වෙලා තියෙනවා තම බලය රැක ගැනීම සඳහා ජනතාව මර්දනය කරමින් රට වැටී තිබෙන ආර්ථික අර්බුදයට තාවකාලික සහන ලබාදෙමින් අර්බුදය තව අවුරුද්දක් දෙකක් ඉදිරියට ඇදගෙන යන්න. එහෙම යද්දි ජනතාවගෙන් නැගෙන විරෝධය මර්ධනය කිරීම සඳහා නොයෙක් පනත් ඉදිරිපත් කරනවා. උදාහරණයක් විදියට විකාශන අධිකාරී පනත, ත්‍රස්ත විරෝධී පනත වැනි පනත් ඉදිරිපත් කරන්නේ ජනතා විරෝධය මර්ධනය කරන්න. අද වන විට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය අපොහොසත් වෙලා තිබෙනවා ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට දීර්ඝ කාලීන විසඳුම් ලබා දෙන්න.

මේවන විටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදේශගත වෙලා. රටේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීම. සමගි ජන බලවේගය 2020දී ප්‍රකාශ කළා රටේ ඉදිරියට ආර්ථික අර්බුදයක් ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ඒ පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කරන්න කියලා. ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා නම් අපිට පාර්ශව දෙකයි තියෙන්නේ ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. නමුත් එය පිළිගත්තේ නැතුව 2022 මේ රට බංකොලොත් බවට ප්‍රකාශ කරාට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේ ප්‍රතිඵලයක් විදිහට ණයහිමියන් යන තුන්වන පාර්ශ්වයක් මේ සඳහා එකතු වෙලා තියෙනවා. මේ වෙන විට අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 91ක් වෙනවා. 2022 වසර අවසානයේ තිබුණේ ඩොලර් බිලියන අසූ හතරයි. මේ මාස හය ඇතුළත තවත් ඩොලර් බිලියන හයක් දේශීය ණය අරන් තියනවා. අපේ රටේ සමස්ත වත්කම දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 77යි. ඒ කියන්නේ මේ රටේ සමස්ත වත්කම. නමුත් විදේශ සහ රට ඇතුළේ ණය ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 92ක්. ණය අර්බුදය කොපමණ දුර ගිහින් තියෙනවද කියලා ඒ තුළින් පැහැදිලි වෙනවා. වත්කමට වඩා විශාල වශයෙන් ණය වෙලා තියෙනවා. එහෙම තිබියදී තව තවත් ණය ගනිමින් යනවා. මේ රජය ජනවාරි මාසයේ සිට මේ දක්වා ඩොලර් බිලියන හයක් ණය අරගෙන තියෙනවා. මේ ණය අර්බුදය නිසා තමයි රට මේ තත්වයට පත්වෙලා තියෙන්නේ. එසේ තිබියදී තව තවත් ණය ගැනීම තුළින් විශාල වශයෙන් අර්බුදයකට යනවා. මම දැක්කා ඊයේ රජය කියනවා ලෝක බැංකුවෙන් අයවැයට සහාය සඳහා ඩොලර් මිලියන 700ක් ගන්න යනවා කියලා. විදේශ ණය ගෙවන්න බැරුව දැනටත් නතර කරලා. මේ තත්ත්වය තුළ රජය මේ අර්බුදය තාවකාලිකව තව තවත් අවුරුදු කිහිපයක් ඉදිරියට ගෙනියන්න හදනවා බලය තහවුරු කරගැනීම සඳහා.

මේ දිනවල ආරම්භ වෙලා තියෙනවා ජිනීවා මානව හිමිකම් සමුළුව. මීට පෙර යුද අපරාධ ගැන කතා කරපු ජිනීවා සමුළුව දැන් කතා කරනවා රටේ ආර්ථික අපරාධකරුවන් ගැන සහ ඒ අයට දඬුවම් දීමේ වැඩසටහනක් ගැන. දැන් රජය එය කරලා තියෙනවද? මේරට මේ තත්වයට පත්කළ අයට දඬුවම් දිය යුතු නැද්ද? ඔවුන් නැවත මේ රටේ බලයට පත් කළ යුතුද? කියලා මම රටේ ජනතාවගෙන් අහනවා. දැන් රනිල් වික්‍රමසිංහ හදන්නේ ඔවුන්ගේ පිහිටෙන් බලයට එන්න.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment