ජල්තර කතාවක්

785

මීට සති කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහලේ සුළු සේවක ගහනය තුළ කුඩ්ඩන් සහ අයිස්කාරයන් සිටින බවට එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විසින් ප්‍රකාශයක් කරන ලදී. ඒ සමගම කුපිත වූ රෝහල් සුළු සේවකයෝ රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂගේ කාමරය වටලා ඔහු අනුභව කිරීමට සූදානම් වූහ. රෝහලේ සුළු සේවකයන් දිගින් දිගටම කියා සිටියේ තම සේවක ගහනය තුළ කුඩ්ඩන් නැති බවය. එහෙත් ඒ කතන්දරය බොරු කරමින් කොළඹ ජාතික රෝහලේ සුළු සේවයකයන් හතර දෙනකු කුඩු ගසද්දී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. දැන් මෙයින් දෙදෙනෙක් කන්දකාඩුවට යවා ඇත. එහිදී පුනරුත්ථාපනය වීමෙන් පසු ආපසු වැඩට එන මේ කුඩ්ඩන් දෙදෙනා තවත් ස්වල්ප කාලයකින් නැවත වතාවක් කුඩු ගැසීමට පටන් ගන්නවා ඇත. ඔවුන් යළි කුඩු ගසතැයි අප තුළ කිසිදු ප්‍රාර්ථනයක් නොවේ. එහෙත් චිරාත් කාලයක් තිස්සේ මේ සිද්ධිය මෙසේම පුනරුච්ඡාරණය වේ. කුඩුකාරයන් මාස දෙක තුනක් පුනරුත්ථාපනය කර කුඩුවලින් ගලවා ගැනීමට බැරිය. ඒ සඳහා අවුරුදු කිහිපයක තිරසාර වැඩපිළිවෙළක් අවශ්‍යය.

අප කුඩු කතාව ගත්තේ මේ තීරුවට ආරම්භයක් වශයෙනි. වැදගත්ම කතාව දැන් කියමු. රාජකාරි විදේශ සංචාර සඳහා විදේශගත වන රජයේ සියලුම නිලධාරීන් සාමාන්‍ය පංතියේ ගුවන් ටිකට්පත් වලින් පමණක් ගුවන් ගමන්වල යෙදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී තිබේ. අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනෙක් සියලුම නිලධාරීන් මෙම නියෝගය පිළිපැදිය යුතුය. එසේම කිසියම් නිලධාරියකුට ගුවන් යානයේ බිස්නස් ක්ලාස් එකේ යෑමට අවශ්‍ය නම් සාමාන්‍ය පංතියේ ගුවන් ටිකට්පතට ගෙවන මුදල හැර වැඩි වන ඉතිරි මුදල එම ගමනේ යෙදෙන නිලධාරියා විසින් ගෙවනු ලැබිය යුතුය. සාමාන්‍යයෙන් ගුවන් යානාවල ආසන පංති තුනක් තිබේ. පළමුවන පංතිය සහ ව්‍යාපාරික පංතිය සහ සාමාන්‍ය පංතිය එම පංතීන් තුනය. ව්‍යාපාරික පංතියේ හෙවත් බිස්නස් පංතියේ ගුවන් ටිකට්පතක් සාමාන්‍ය පංතියේ ගුවන් ටිකට්පතක් මෙන් හතර ගුණයක් හෝ පස් ගුණයක් මිල වැඩිය. ඇතැම් ගුවන් යානාවල ඇති පළමුවන පංතිය නමැති ආසන කොටසේ ටිකට්පත් මීටත් වඩා මිල වැඩිය. ව්‍යාපාරික පංතියේ ආසනයක් යනු ඉතා හොඳට ඉඩකඩ ඇති, නිදාගැනීම සඳහා ඇඳක් වැනි ආසනයකි. මේ ආසනයක් මිලදී ගන්නා තැනැත්තාට බඩ පැලෙන තුරු කෑම බීම ලැබේ. ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා නොමිලේ විස්කි ලැබේ. ඊට අමතරව ඉතා මිල අධික කටගැසුම් ද ලැබේ. මෙය තරු පහේ හෝටල් පහසුකමක් වැනි අද්විතීය පහසුකමකි.

කෝච්චියේ වුව හොරෙන් යෑමට සූදානම් ඇතැම් රජයේ නිලධාරීන් ආණ්ඩුව ගණනේ රට ගමනක් සෙට් වූ ගමන්ම බිස්නස් ක්ලාස් ටිකට් එකක් ඉල්ලා සිටී. මේ අය යන ගමන්වලින් ඇතැම් විට තඹ සල්ලියක වැඩක් නැත. උදාහරණයක් වශයෙන් පසුගිය දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් මැච් පිටරටවල පැවති අවස්ථාවේදී ක්‍රීඩා නිලධාරීහු තොග පිටින් රට ගියහ. ඒ අය වැඩි දෙනා කළේ මැච් එක බලා හෝටලයට ගොස් හොඳට කා බී නිදාගැනීමය. සමහර විට ඔවුන් අතරින් ඇතැමෙකු කාමසුකල්ලිකානු යෝගයෙහි හැසිරෙන්නටත් ඇති. බිල් දැමිය හැකි නම් ඒ කාරණා කටයුතුවල මිල ද ඔවුන් ආණ්ඩුවට ඉදිරිපත් කරනවා ඇත. ලංකාවේ රාජ්‍ය නිලධාරීන් වැඩි දෙනා හැම දේම ආණ්ඩුවේ වියදමින් බලාපොරොත්තු වෙති. කිසියම් නිල කටයුත්තක් සඳහා නිලධාරීන් හතර දෙනකු පිට පළාතකට යන්නේ නම් එම හතර දෙනාම එක වාහනයක නොගොස් වාහන හතරක යති. ආණ්ඩුවට අයිති බෙන්ස් කාර්, බීඑම්ඩබ්ලිව් කාර් වැනි උසස් වාහනවල පිටුපස අසුනේ ඉඳගෙන ගමන් කිරීමේ පුදුම මාන්දමක් අපේ රටේ රාජ්‍ය සේවකයන්ට තිබේ. ඉන්දියාවේ තත්ත්වයත් මෙයමය. එහෙත් ඉන්දියානුවා ශ්‍රී ලාංකිකයාට වඩා තම රටට ආදරය කරයි. ඒ නිසා ඔවුන් යමක් කරන විට රටට චුට්ටක් පාඩුකර වැඩි ලාභයක් රාජ්‍යයට ලබා දෙයි. එහෙත් අපේ කට්ටිය සර්ව සම්පූර්ණ ලෙසම ආණ්ඩුවේ සම්පත් සූරා කෑමට සූදානම්ව සිටින්නාහ. එබඳු රටක් ඉස්සරහට ගෙන යෑම ඉතා දුෂ්කරය.

ජනාධිපතිතුමාගේ මේ කාලෝචිත නියෝගය තව දුරටත් සංස්කරණය විය යුතු බව අපි කල්පනා කරමු. එනම් පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් සියලු දෙනාද නිල ගමන් යනවිට ගුවන් යානාවේ සාමාන්‍ය පංතිය පාවිච්චි කළ යුතු බව ඒ සංස්කරණයයි. අපේ ඇමැතිලා ගමන් බිමන් යනවිට ස්ථිර වශයෙන්ම ස්වකීය නෝනා මහත්මිය ද කැඳවාගෙන යති. මෙවැනි වේලාවකදී ගුවන් යානාවේ බිස්නස් ක්ලාස් එකේ ගමන් කිරීමේ වැඩි වුවමනාව ඇත්තේ ඇමැතිට නොව ඇමැති බිරිඳටය. ඇය බලන්නේ ස්වකීය ස්වාමිපුරුෂයා මහජන මුදල් කාබාසිනියා කරන කාලකණ්ණි අවස්ථාවට හැකි උපරිමයෙන් දායක වීමටය. පසුගිය අවුරු දහයක හෝ පහළවක කාලය තුළ විදේශ නිල ගමන් යන කිසිදු මහජන මන්ත්‍රීවරයෙක් ගුවන් යානාවේ සාමාන්‍ය පංතිය පාවිච්චි කර නැත. හැබැයි ඔවුන් යන ප්ලේන් එක යම් විදියකින් කඩාවැටුණොත් පළමුවෙනි පංතියේ හෝ බිස්නස් ක්ලාස් එකේ ගමන් කළැයි කියා කිසිදු වෙනසක් නැතිව සියලු දෙනාටම මිය යන්නට සිදුවෙයි. ජනතාවගේ මුදලින් පිස්සු කෙළීමට අවස්ථාව ලැබෙන විට එය උපරිමයෙන් පාවිච්චි කිරීමට මේ රටේ රාජ්‍ය නිලධාරීන් තුළ නැමියාවක් තිබේ. මේ නැමියාව තවත් දුරදිග ගියහොත් මේ රට දෙකටම නැවී කැඩී යනවා ස්ථිරය.

1970-77 කාලය තුළ ශ්‍රී ලංකාව පාලනය කළ සමගි පෙරමුණු ආණ්ඩුවේ අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක සිය ජීවිතයේ කෙදිනකවත් ගුවන් යානයේ බිස්නස් ක්ලාස් එක පාවිච්චි කර නැත. ඇය නිල ගමනක් ගියත් පෞද්ගලික ගමනක් ගියත් පාවිච්චි කළේ ගුවන් යානයේ සාමාන්‍ය පංතියේ ටිකට් එකකි. රජයේ සම්පත් පරිහරණය කරන විට ඒවා කා දැමීම හෙන ගහන අපරාධයක් බව බණ්ඩාරනායක මැතිනිය සෑම කල්හිම විශ්වාස කළාය. ඇගේ රජයේ සිටි වංචනික හොරුන් රටේ සම්පත් ගසා කෑවාට ඇය කිසි දිනකවත් එම පාප කර්මයට සම්බන්ධ වූයේ නැත. ජනාධිපතිතුමාගේ නියෝගය නිකුත් වීමෙන් පසු මෙතැන් පටන් මේ රාජ්‍ය නිලධාරීන් කල්පනා කරනු ඇත්තේ ජනාධිපතිගේ කනෙන් රිංගා බිස්නස් ක්ලාස් ටිකට්පත් මිලට ගෙන රට යන්නේ කෙසේ ද යන කාරණයයි. ඒ සඳහා මෙදා සැරේ ඔවුන් කවර ජල්තරයක් ගසන ලද්දැයි අපි බලා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment