නැට්ට පිටින් අලි මැරුණත්…

912

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ක්‍රිකට් ගහන විට ඉන්දියාවේ පාරවල්වල ක්‍රිකට් ගහන තරුණ පිරිස් තමන්ට මතක්වන්නේ යැයි ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් පවසා තිබේ. වරක් ලෝක ක්‍රිකට් කුසලානය දිනූ මේ රට ක්‍රිකට් පැත්තෙන් අන්ත පරිහානියට ලක්ව ඇති බව එම කියමනෙන් විiමාන වේ. සුනිල් ගවස්කාර්ගේ කියමනට වැඩි ප්‍රසිද්ධියක් ලැබුණේ නැත. මේ කියමනට හරියාකාර ප්‍රසිද්ධියක් ලැබුණේ නම් අපේ ක්‍රිකට් පිලට ක්‍රිකට් පිටියට යෑමට සිදුවන්නේ යට ඇඳුම පිටිනි. ඒ නිසා ඒ කතාව එහෙමම මඟඇරුනාවේ. අද අපේ මාතෘකාව වෙන එකකි.

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදියා ලංකාව අල්ලා ගන්නා විට මෙය මහා ඝන වනාන්තරයකි. කොළඹ නුවර පාර, කොළඹ රත්නපුර පාර, කොළඹ ගාල්ල පාර ඇතුළු මිනිසුන් යන එන හැම පාරකම අලි ඇතුන් බහුලව සිටි බව දැන ගන්නට තිබේ. ලංකාවේ වනාන්තරය කපා දමා කෝපි හා තේ සිටුවීමට පටන් ගත් සුද්දන්ට අලින්ගෙන් ලොකු කරදර සිදුවිය. 1800 ගණන්වලදී මේ රටේ 25,000 වැඩි අලි ගහනයක් සිටි බව දැන ගන්නට තිබේ. අලින්ගෙන් වන කරදරය නිසා එම සතුන් සංහාරය කිරීමට බි්‍රතාන්‍ය ආණ්ඩුව තීරණය කළේය. මේ කොන්ත්‍රාත්තුව සැමුවෙල් බේකර් නමැති සුද්දෙකුට භාර විය. මේකාට ඩබල් බැරල් පතුරම් තුවක්කුවක් තිබිණ. එකල පතුරම් තුවක්කු හිඟය. වැඩිදෙනා පාවිච්චි කළේ වෙඩි කොටන තුවක්කුය. ඒවායින් එක වෙඩිල්ලක් තබා නැවත තුවක්කුවට වෙඩි බෙහෙත් පුරවා වෙඩිල්ලක් කෙටීමට විනාඩි 15 ක් පමණ ගත වේ. එවිට පළමුවැනි වෙඩිල්ල කාගෙන ඉලක්කය පලාගොස්ය. සැමුවෙල් බේකර්ගේ ඩබල් බැරල් තුවක්කුව ක්‍ෂණිකව පතුරම් ලෝඩ් කළ හැකි භාණ්ඩයකි.

ශ්‍රී ලංකාවේ අට අවුරුද්දක් ගත කළ සැමුවෙල් බේකර් අලි ඇතුන් දසදහසක් පමණ මරා ආපසු එංගලන්තයට ගොස් කිසිදු හෙණයක් නැතිව ජීවත් විය. අද බේකර් නැත. එහෙත් අලි ඇතුන්ට මරණයෙන් ගැලවිල්ලක් නැත. පසුගිය මාසයේ 27 වැනිදා වන විට මාසයක කාලයක් තුළ මේ රටේ අලි ඇතුන් 36 දෙනෙක් මරණයට පත්වූහ. 27 වැනිදා පමණක් අලි 06 දෙනෙක් මියගොස් තිබිණ. ඒ සියලුම මරණ දුම්රිය අනතුරුය. මාසයකට අලි 36 ක් මියයනවා නම් අවුරුද්දකට මැරෙන අලි ගණන 400 ඉක්මවයි. අවුරුදු 10 ක් තුළ මැරෙන අලි ගණන 4000 ක් පමණ වෙයි. ඉදිරි අවුරුදු 20 න් පසු මේ රටේ ඉතිරිවනු ඇත්තේ අලින් දෙදෙනකු පමණි. ඉන් එක් අලියෙක් වන්නේ දැනට ගංගාරාමයේ ප්‍රදර්ශනය කෙරෙන පුළුන් පුරවන ලද ඇතා ය. දළදා කරඬුව ගෙන ගිය රාජා නමැති හස්තියා ද පුළුන් පුරවා ප්‍රදර්ශනයට තබා තිබේ.

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ගණන් හිලව්වලට අනුව වසර 2023 පළමුවැනි කාර්තුව තුළ මේ රටේ අලි ඇතුන් 100 ක් මළහ. ඉන් 67 දෙනෙක්ම මළේ වෙඩි පහරවලින් සහ කරන්ට් එක වැදීමෙනි. වන සතුන් තම වගා බිම්වලට පැමිණීම වැළැක්වීම පිණිස එම බිම් හරහා කරන්ට් වයර් ඇදීම ඇතැම් තිරිසනුන්ගේ වැඩකි. සමහර විට මේ තිරිසනුන්ගෙන් කිහිපදෙනෙක් තමන්ම එලූ කරන්ට් වයර් එක පෑගී මිය පරලොව යති. මේ අතර මේ අවුරුද්දේ ජූලි මාසය වන විට අලි 238 දෙනෙක් ඝාතනය වී තිබිණ. මේ අවුරුද්දේ වැඩිම අලි ඇතුන් මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ අනුරාධපුරයෙනි. අලි ඇතුන් සහ ගොවි ජනතාව අතර විශාල ගැටුමක් තිබේ. ගොවි ජනතාව අලි ඇතුන්ගේ පාරම්පරික වාසභූමි එළිපෙහෙලි කර ඒවායේ හේන් වවති. පුරුදු පරිදි වන මං හරහා කෑම සොයා එන අලි හේන්වලට වැදී ඒවායේ ඇති වගාව අනුභව කරති. මෙවිට ගොවියන් කරන්නේ වට්ටක්කා ගෙඩිවලට හක්කපටස් ඔබා ඒවා තම හේනේ තැන තැන තැබීම ය. අලියා වට්ටක්කා ගෙඩිය කටේ දමා හපද්දී හක්කපටස් බෝම්බය පුපුරා යන අතර උගේ හක්ක ගැලවී යයි. තමන් ගෙවල් හදාගෙන සිටින්නේත්, වගා කටයුතු කරන්නේත් අලින්ට අයත් වාසභූමියෙහි බව මෝඩ ගොවීහු නො පිළිගනිති. මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසු බවට රොබට් නොක්ස් දුන් ලණුව ගිල දමා ඇති ඔවුහු තමා පළමු තැන සිටිය යුතු බවත්, අලියාට හිමි වන්නේ දෙවැනි තැන බවත් කල්පනා කරති. අලි ඇතුන් ඝාතනය කිරීම අත්‍යවශ්‍ය බව පසුගිය දිනෙක ගෙවිලියක් පැවසූ හැටි අපි රූපවාහිනි නාලිකාවකින් දුටුවෙමු. වෙනත් රටක මෙය සිදුවී නම් වන සතුන් ඝාතනය කිරීමට ජනතාව පෙළඹවීමේ චෝදනාව මත ඇය හිරේට යනවා ඇත. වන සතුන් සම්බන්ධයෙන් මේ රටේ තිබෙන නීති රීති ඉතාම දුර්වල ය. එම නීති සමාන වන්නේ මෝටර් ට්‍රැෆික් ආඥාපනතේ ඇති ඇතැම් වගන්තිවලට ය. මෝටර් ට්‍රැෆික් ආඥා පනත යටතේ තිබෙන සමහර වැරදි සඳහා දඩය රුපියල් 20 කි. අලියකු මරණ මිනිසකු රුපියල් පන්ලක්‍ෂයක දඩයකට යටත් කොට අවුරුදු 5ක හිර දඬුවමකට පත්කරන්නේ නම් මේ රටේ අලි ගහනය යම් ප්‍රමාණයකින් ආරක්‍ෂා වනවා ඇත. නැත්නම් සිදුවන්නේ රාළහාමිලා කොච්චර දඩ ගැහුවත් රථවාහන වැරදි කරන රියැදුරන් එම දඩය හෝ නීතිය ගණන් නොගැනීමේ තත්ත්වය හා සමාන තත්ත්වයක් මතුවීමය.

වන සත්ත්ව ආඥා පනත වෙනස් කර අලි මරන්නන්ට දැඩි දඬුවම් දීම කළ හැකි වුවද, කෝච්චියේ හැප්පී අලි මරුණු විට කෝච්චියට දඬුවම් කළ නොහැක. අලින් බහුලව ගැවසෙන ප්‍රදේශවල කෝච්චි පාරවල් දෙපස අලි වැටවල් යෙදීම කළ යුතු බව මෙයට කලකට පෙර ඇතැම් පරිසරවේදීහු කීහ. මෙය බර්ලින් තාප්පය නැවත ඉදිකිරීම හා සමාන මෝඩ ක්‍රියාවකි. නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය එක රටක් බවට පත්ව ඇති මෙකල ඒ රටවල් වෙන්කරන බර්ලින් තාප්පය නැවතත් අවශ්‍ය නැත. අලින් අලි වැටවල් බිඳ දමන්නේ බලා සිටියදීම ය. එක්කෝ උන් කරන්ට් එකට පුරුදු වෙලාය; නැත්නම් ඒ අලි වැටවල්වල කරන්ට් නැත. මේ නිසා සුදුසුම දේ වන්නේ අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශවල අඩු වේගයකින් දුම්රිය ගමන් කිරීම ය. මෙවිට අලියකු දුම්රියෙහි වැදුනත් ඒ සතා පැත්තකට විසිවෙනවා මිස ජීවිත හානියක් සිදුවන්නේ නැත. ඒකාට වන තුවාලවලට බේත් දැමීම වනජීවී ආරක්‍ෂාව බාර ආණ්ඩුවේ පශු වෛද්‍යවරුන් විසින් කරනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment