13 වන ලොක් එක

683

බටහිර ලෝකයේ විඤ්ඤාණවාදී අදහස්වලට අනුව අංක 13 ඉතාම මූසලය. මේ නිසා උස් ගොඩනැඟිලිවල 13 වන තට්ටුවක් නැති අතර 12 තට්ටුවෙන් පසු කෙළින්ම 14 වන තට්ටුව ලෙස යෙදීමට යුරෝපීය සමාජයේ වැඩි දෙනා උත්සුක වෙති. කිසියම් මාසයක 13 වනදාක සිකුරාදාවක් යෙදී තිබුණොත් එදා රාත්‍රි කාලයේදී සම්පූර්ණයෙන්ම හොල්මන් වී සිටීමට බටහිර ලෝකයේ වැසියෝ පුරුදුව සිටිති. 13 වන සිකුරාදා යනු හොල්මන් සහ භූත ආත්මවල දවස බව ඔවුන්ගේ පිළිගැනීම වේ. ඇතැම් බටහිර රටවල වැසියෝ 13 වන දාක උපදින දරුවා මළ පෙරේතයන්ගෙන් සුරක්‍ෂිත කර ගැනීම සඳහා ආගමික ගුරුකම් සිදුකරති. එහෙත් පෙරදිග සමාජයේ 13 දහතුනේ මූසලකම ගණන් ගනු නොලැබේ. කෙසේ වුවද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 දරන සංශෝධනය අදටත් හරිගොස් නැත. 1987 අත්සන් කෙරුණු ඉන්දු ලංකා ගිවිසුමෙන් හඳුන්වා දෙන 13 වන සංශෝධනයට අයත් වන්නේ පළාත් සභාවල බලය බෙදාහැරීමය. 13 වන සංශෝධනය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළයුතු බව කියමින් රජිව් ගාන්ධි 1987 දී ජේ. ආර්. ජයවර්ධනයට බලකරන්නට පටන් ගත්තේය. 1987දී ලංකාවට පළාත් සභා ක්‍රමය ගෙන එන ලදී. ගහේ එල්ලෙන වව්ලා මෙන් ඊළමේම එල්ලී සිටි ප්‍රභාකරන් පළාත් සභාවලට අකැමැති වූ අතර ඒ හරහා රජිව් ගාන්ධි විසින් තමන් රවටන ලද්දේ යැයි කල්පනා කර බෝම්බ ගසා ඔහු මරා දැමීය. රජිව් ගාන්ධිගෙන් පසු ඉන්දියාවේ අගමැති වන්නේ නරසිංහ රාවෝය. 13 වැනි සංශෝධන ඉක්මන් කරන ලෙසත් බලය බෙදාහැරීම කඩිනම් කරන ලෙසත් ඔහු මේ රටේ රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. එතැන් පටන් ලංකාවේ විධායක ජනාධිපතිකම භාර ගන්නා හැම කෙනකුගෙන්ම ඉන්දියාව ඉල්ලන දෙයක් තිබේ. ඒ වූකලී 13 වන සංශෝධනය බලාත්මක කරන ලෙසය. එහෙත් එය අදටත් ඉටුවී නැත. පසුගියදා ඉන්දියාවේ සංචාරයක යෙදුනු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි හමුවූ කල්හි මේ කියන මූසල අංක 15 අයත් සංශෝධනය ගැන සාකච්ඡාවක් ඇතිවිය. අගමැති මෝදිගේ දැඩි ඉල්ලීම වූයේ ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජාතිකයන්ගේ ආත්ම අභිමානය සුරකින ලෙස කටයුතු කරන අතර 13 වන සංශෝධනය බලාත්මක කරන ලෙසය.

අගමැති මෝදි දෙමළ ජාතිකයකු නොවේ. ඔහු හින්දුවරයෙකි. උතුරු ඉන්දියාව නිජබිම කරගත් ඔහුට දේශපාලනයට පිවිසෙන තුරුම දකුණු ඉන්දියාවේ දෙමළ ජාතිකයන්ගෙන් වැඩක් තිබුණේ නැත. එහෙත් ඉන්දියාවේ අගමැති වූ පසුත් තමිල්නාඩුවේ ඡන්ද කුට්ටිය ඉතා වටිනා බව ඔහු කල්පනා කළේය. 1987 ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉන්දියන් අගමැති රජිව් ගාන්ධි ජේ. ආර්. ජයවර්ධන බියපත් කිරීම සඳහා යාපනයට ගුවනින් පරිප්පු දැම්මේය. ඒ ඔහු දෙමළ ජාතිකයකු වන නිසා නොව ඉදිරි ඡන්දවලදී තමිල්නාඩුවේ දෙමළ ඡන්ද පදනම ඉතා වටිනා නිසාය. ඉන්පසු ඉන්දියාවේ අගමැති වූ හැම කෙනෙක්ම තමිල්නාඩුවේ ඇති ඡන්ද පදනමේ ඇති ආශාව නිසා ලංකාවේ දෙමළ ජාතිකයන්ට ප්‍රේම කිරීමත් ලංකාවේ ආණ්ඩුවලට බුරා හැලෙන්නට පටන්ගත්තේය. තමිල්නාඩු දෙමළ ජාතිකයන් තුළ යාපනය කෙරෙහි විශාල ආදරයක් පවතී. එයට හේතුව ලංකාවේ උතුර නැගෙනහිර පළාත්වල දෙමළ ඊළමක් බිහිවුවහොත් එය තමිල්නාඩුව සමග එකතු කර මහා දෙමළ රාජ්‍යයක් සෑදිය හැකි බැවිනි. ප්‍රභාකරන් උපදින්නටත් කලින් සිට මහා ඊළාම් සංකල්පයක් ඉන්දියාවේ තිබිණ. මේ සංකල්පයට අනුව තමිල්නාඩුවත් ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර දෙමළ ප්‍රදේශත් සිංගප්පූරුවේ දෙමළ ජන ප්‍රජාවත් මැලේසියාවේ සිටින දෙමළ ජන ප්‍රජාවත් මහා ඊළමට අයත් වෙති. මෙහිදී දකුණු ඉන්දියානු දේශපාලනඥයන් ඊළමේ භෞමික අයිතිය ලෙස දකින්නේ දකුණු ඉන්දියාව සහ ලංකාවේ උතුර නැගෙනහිර දෙපළාත පමණි.

සිංගප්පූරුවේ සහ මැලේසියාවේ ජීවත් වන දෙමළ ජාතිකයන් දෙමළ ඩයස්පෝරාව ලෙස හැඳින්වීමට ඔවුහු ප්‍රියකරති. මේ නිසා ඉන්දියාවේ දේශපාලන බල තුලනය තබාගැනීමට නම් එරටට එන අගමැතිතුමා දකුණු ඉන්දියාවේ දෙමළ ප්‍රජාවට පක්‍ෂපාත විය යුතුමය. ඉන්දියාවේ පමණක් නොව කැනඩාවේ තත්ත්වය ද මෙයම වෙයි. මේ වෙලාවේදී ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය වූ දෙමළ ප්‍රජාව අතිවිශාලය. එම දෙමළ ප්‍රජාවගේ ඡන්ද තොගය ස්වකීය ඡන්ද ගොඩට එකතුකර ගැනීම සඳහා කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ ඕනෑම දෙයක් කිරීමට සූදානම්ය. යුද සමයේදී ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනසංහාරයක් පැවතියේ යැයි ඔහු මේ ළඟදී කීවේය. ඉන්පසු බෙදුම්වාදී ව්‍යාපාරය සඳහා කැපව සිටින ලාංකික කැනේඩියානු දේශපාලනඥයකු වූ ගැරී ආනන්ද සංගරීට කැබිනට් ඇමැති තනතුරක් ලබාදීමට ජස්ටින් ටෲඩෝ පසුගියදා කටයුතු කළහ. ගැරී ආනන්ද සංගරී යනු ලංකාවේ සිටින ප්‍රවීණ දෙමළ දේශපාලනඥ ආනන්ද සංගරීගේ පුත්‍රයාය. ආනන්ද සංගරී ප්‍රභාකරන්ගේ ඊළමට විරුද්ධය. ආනන්ද සංගරී මැරීමට පවා වරෙක ප්‍රභාකරන් කල්පනා කළේය. කෙසේ වුවද අවසන් විග්‍රහයේදී දේශපාලනඥයා බලන්නේ ඊළඟ ඡන්ද දිනාගැනීම සඳහා අවශ්‍ය ඡන්ද පදනම දෙසය. අගමැති මෝදිට සිදුවී ඇත්තේද මෙය බව අපගේ විශ්වාසයයි. තමිල්නාඩුව ශේප් එකේ තබාගත නොගතහොත් ඊළඟ ඡන්දයේදී තමාට කෙළවීමට ඇති අවස්ථාව වැඩි බව ඔහු හිතනවා විය යුතුය.

13 වන සංශෝධනය මගින් පළාත් සභාවලට ඉඩම් බලතල සහ පොලිස් බලතල ලබාගැනීම උතුරු පළාත් සභාවේ දේශපාලන ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩකයන්ගේ අදහස වී ඇත. ඉඩම් බලතල කෙසේ වෙතත් පළාතකට පොලිස් බලතල දීම ඉතා භයානකය. මේ කාරණය කෙරෙහි ආණ්ඩුවේ ඇති නොපහන් ස්වභාවය හඳුනාගත් උතුරු පළාතේ හිටපු මහ ඇමැති වූ විග්නේශ්වරන් බැටන් පොල්ලක් පමණක් අතේ තිබෙන පොලිස් හමුදා ඉන්දියා ප්‍රාන්තවල සිටින බැවින් ඒ හා සමාන පොලිස් බලතල උතුරට ලබාදෙන ලෙස අදහසක් පළ කළේය. බැටන්පොලුකාරයන් තුන්හතර දෙනකු එකතු වී එකකුට නෙළන්නට පටන්ගත් විට ඔහුගේ ඔළුගෙඩිය බිඳී පැණි පෙරෙන්නට පටන්ගනී. ඒ නිසා බැටන් පොල්ලද තුවක්කුව තරමට නැතත් යම් තරමකට භයානකය. පළාත්වලට පොලිස් බලතල දුන්විට එහි යන එන වෙනත් පළාත්වල ජනයාට විවිධ කරදර වීමට ඉඩ තිබේ. ඉඩම් බලතල දුන්නත් එසේමය. යාපනයේ තිබෙන තේසවලාමේ නීතියට අනුව කිසිදු පිටස්තරයකුට යාපනයේ ඉඩම් විකුණන්නේ නැත. තම ප්‍රදේශයේ ඉඩම් අයිතිය දෙමළ ජනතාව සතු විය යුතු බව තේසවලාමේ නීතිය පරිහරණය කරන යාපනයේ ජන ප්‍රධානීන්ගේ මතය වී තිබේ. රටේ එක පළාත් සභාවකට ඉඩම් හා පොලිස් බලතල ලබාදුන්නොත් ඊළඟ ඉල්ලීම වනු ඇත්තේ නාවික හමුදාවක් පවත්වාගෙන යෑමය. එහෙත් මේ කිසිවක් කරගැනීමට බැරි තත්ත්වයකට ලංකාව පත්ව තිබේ.

අපගේ මතය වන්නේ ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට සාධනීය පිළිතුරක් අත්‍යවශ්‍ය බවයි. එම පිළිතුර හැම දෙනා විසින්ම පිළිගනු ලැබිය යුතුය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මතය නම් මේ රටේ සියලු දේශපාලන පක්‍ෂවල නායකයන් කැමති නම් 13 සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවය. එහෙත් සාකච්ඡා මේසයට ගිය විට මේ සංශෝධනයට කවුරුත් කැමති නැති බව පෙනී යයි. ජනාධිපතිතුමා එතැනදී ලොක් වෙයි. මේ ලොක් එක ඇරීමට හැකි යතුර තවමත් නිෂ්පාදනය කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment