මං පොර ජාතකය (2)

1146

මෙහිදී අප මුලින්ම සාකච්ඡා කරන්නේ මං පොර ජාතකය (2) යනුවෙන් මේ කතුවැකිය හඳුන්වන්නේ මන්ද යන්නය. මේ රටේ මිනිස්සු කාලයෙන් කාලයට පොරවල් වීමට තැත් කරති. පිරිමින්ගේ රහස් ප්‍රදේශය ගැන නිතර කතා කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනිය එවැනි පොරක් ලෙස අපට හඳුනාගත හැකිය. ඊළඟට ආදර්ශා කරඳන ගත්තොත් මාර පොරකි. ආශු මාරසිංහට විරුද්ධව එක වීඩියෝවක් දැමූ ඇය පසුපස ඇගේ කට හඬ අඩංගු නින්දිත වීඩියෝ විශාල වශයෙන් හඹා ඒමට පටන්ගෙන තිබේ. තුන්වැනි පොර වූකලී සේපාල් අමරසිංහ නමැති අප්‍රකට පුද්ගලයෙකි. විටක කොණ්ඩය වවා බඳින තවත් විටෙක රැවුල වවා ඩයි කරන ඇතැම් විටෙක ඩයි පාර සෝදා දමා හෝ නැතිව රැවුල සුදු පාටට තබා ගන්නා සේපාල්ට යූ ටියුබ් චැනලයක් ඇති අතර එයද ඉතා ආමාරුවෙන් පවත්වාගෙන යන එකක් බව පෙනේ. සේපාල් ගැන අප මීට පෙර අසා නැත. එබැවින් ඉහත සඳහන් කට්ටිය තමන් පොර වීමට තැත්කරන පළමුවැනි කොටස ලෙස හඳුන්වා මං පොර ජාතකය එක යනුවෙන් ඔවුන් ගැන කතුවැකියක් ලියන ලදැයි සලකමින් එහි දෙවැනි කොටස මෙසේ ලියනු ලැබේ. මෙයට අවුරුදු තිහ හතළිහකට පෙර සිටි මිනිස්සු අසා දැන සිටි ප්‍රසිද්ධම සේපාල වූකලී යුද හමුදාපති සේපාල ආටිගලය. ඔහු දීර්ඝතම කාලයක් මේ රටේ හමුදාපති ලෙස කටයුතු කළ තැනැත්තා වෙයි. එය 1967 සිට 1977 දක්වා වූ දස අවුරුදු කාලයකි. ඊළඟට අප දැන සිටි සේපාල වූකලී සේපාල ඒකනායකය. ඔහුද මෙයට හතළිස් අවුරුද්දකට පෙර ගුවන් යානයක් පැහැර ගත්තේය. එවැනි දෙයක් කළ පළමුවැනි ශ්‍රී ලාංකිකයා ඔහුය. ඊට පසු මෙවැනි නම් මේ රටේ ජනතාවට අමතක විය. සේපාල් අමරසිංහ නමැති ආධුනික මාධ්‍යකරුවෙක් පහළ වී සිටින බවත් ඔහු විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට අපහාස කර ඇති බවත් අපට ඊයේ පෙරේදා දැනගන්නට ලැබිණ. ඒ මල්වතු අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේත් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ වන නිලංග දෑලත් ජනාධිපතිතුමා වෙත යවා ඇති ලිපියක් හේතුවෙන්ය. එම ලිපියෙහි තවත් වැදගත් කාරණයක් සඳහන් වේ.

එනම්, පොතුහැර ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයකු ව්‍යාජ දළදා මාලිගාවක් හදන බවත් එකී ඉදිකිරීම් කටයුතු සඳහා රත්තරන් සහ සල්ලි එකතු කරන බවත්ය. දළදා මාලිගාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ මේ මොහොතේදී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති විහාරාරාමයයි. ශ්‍රී දළදා වහන්සේ තමන් භාරයෙහි තබා ගැනීමේ සිරිතක් සිංහල බෞද්ධ රජවරුන් තුළ තිබිණ. මේ අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් සිය මාළිගාවේ විශේෂ කොටසක විශේෂ මන්දිරයක් තනවා ශ්‍රී දළදාව එහි තැන්පත් කොට දවසට තුන් වතාවක් වන්දනාමාන කළේය. ශ්‍රී දළදා වහන්සේගේ ස්ථිර වාසස්ථානය මෙතැන් පටන් අද දක්වාත් මහනුවර දළදා මාලිගාව වී තිබේ. එබැවින් රටේ කොතැනකවත් අලුත් දළදා මාළිගාවක් හැදිය යුතු නැත. මෙය සමාන වන්නේ කිසියම් පුද්ගලයකු විසින් රට වටේ සිටින ජනයාගෙන් සල්ලි එකතුකර අගමැතිට අලුත් අරලියගහ මන්දිරයකුත් ජනපතිට අලුත් ජනාධිපති මන්දිරයකුත් සෑදීමටය. පොතුහැර තනන දළදා මන්දිරය කුමක් විය හැකිද? බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපන් බවටත් බෞද්ධ සාහිත්‍යයට අයත් අනෝමා ගංගාව සහ රෝහිනී නදිය පොතුහැර පැත්තේ පිහිටා ඇති බවත් බුදුන් වහන්සේ සත් සතිය ගත කළ තැන්ද ඒ අහල පහලම තිබෙන බවත් කියමින් පිස්සුවක් නටන කට්ටියක් මේ දිනවල පහළ වී සිටිති. සමහරවිට පොතුහැර දළදා මාළිගය මේ පිස්සු ව්‍යාපෘතිය සමග සම්බන්ධයක් තිබෙන එකක් විය යුතුය. බුදුන් වහන්සේ දඹදිව උපන් බවත්, එහිදීම මහණ වූ බවත්, එහිදීම බුදු බව ලැබූ බවත්, එහිදීම පිරිනිවන් පෑ බවත් ඉතා ප්‍රසිද්ධය. එසේම මෙය පාසල් පෙළ පොත්වල පවා තිබෙන ස්ථාපිත වූ මතයකි. එවැනි මතයක් ස්ථිර ලෙස තහවුරුව පවතිද්දී ඒ මතය කැඩීම සඳහා ක්‍රියා කිරීම පිස්සු කෙළීමක් බව අපගේ මතය වේ. බුදුන් වහන්සේම දෙසා වදාළ පරිදි ජනතාවට වැදගත් වන්නේ උන්වහන්සේ නොව උන්වහන්සේ විසින් වදාරන ලද චතුරාර්ය සත්‍යය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළත් ධර්මය පමණි. ඒ තත්ත්වය මොක වුණත් බුදු දහම හෝ වෙනත් ආගමක් අල්ලාගෙන පිස්සු කෙළීම කිසිසේත්ම වැඩකට නැති ක්‍රියාවකි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය ළමා කාලයේදී ඉන්දියාවට පැමිණි බවට මතයක් තිබේ. උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසීමෙන් පසු එම සිරුර ඉන්දියාවට ගෙනා බවටද මතයක් තිබේ. එහෙත් කෝටි සංඛ්‍යාත කිතු බැතිමතුන්ගේ පිළිගැනීමට අනුව ජේසුස් වහන්සේ කිසි කලෙකත් උපන් බිමෙන් පිටතට ගමන් කර නැත. එසේම උන්වහන්සේගේ මෘත දේහය සොහොන් ගුහාවක තැන්පත් කිරීමෙන් පසු අතුරුදන් විය. මේ බහුතර මත වලට පහර දෙමින් එකී ස්ථාපිත කෙළෙසීමට තැත් කිරීම ගොන් වැඩකි.

සේපාල් අමරසිංහ නමැති පුද්ගලයාගේ යූ ටියුබ් චැනලය පිරික්සා බැලීමට අපට අවස්ථාව ලැබිණ. එහි ඇති වීව් ගණන ඉතා ස්වල්පයකි. ඒ අතර ඉදිරියේදී තැනීමට යන ස්ටුඩියෝවක් සඳහා සල්ලි එවන ලෙසද ඔහු වීවර්ස්ලාගෙන් හෙවත් මෙම චැනලය බලන අයගෙන් ඉල්ලීමක් කරයි. ජීවිතේ ගැටගසා ගැනීම සඳහා මිනිහකුට උදව් කිරීම යහපත් ක්‍රියාවකි. එහෙත් කිසිවකු තම ජීවිතය ගැටගසා ගැනීම සඳහා ආගම්වලට සහ ජනතාව මහත් භක්තියෙන් අදහන මතිමතාන්තර වලට පහරදීම හිඟන වැඩකි. සේපාල් අමරසිංහ නමැත්තා පහර දෙන්නේ බුද්ධාගමට සහ භික්ෂුන් වහන්සේට පමණි. මේ අනුව ඔහු අන්‍ය ආගමික අන්තවාදී කොටස්වල ආධාර, උපකාර ලබන බවට සැක පහළ කරගැනීමට හැකිය. ආගම්වලට අපහාස කරන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දේවාපහාස නීතිය යනුවෙන් නෛතික ක්‍රියාවලියක් ලෝකයේ රටවල් ගණනාවකම තිබේ. ඉන්දියාව වැනි රටකදී ශිව දෙවියන්ට හෝ මහම්මත්තුමාට අපහාස කළේ නම් පැය 24 ක් තුළ එම තැනැත්තා අපායේ ගේට්ටුව ළඟට ඇරලවීම සිදුවෙයි. ශ්‍රී දළදා වහන්සේට අපහාස කළ මං පොර ජාතක කතා චක්‍රවර්ති සේපාල් අමරසිංහ දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගන්නට තිබේ. එසේම අලුත් දළදා මාලිගාවක් හදන පොතුහැර හාදයා පිළිබඳවද පරීක්ෂණ දැනටමත් පටන්ගෙන ඇත. අපේ රටේ සමහර මිනිසුන්ට වැඩ නැත. කාගෙන් හෝ ගාණක් කපාගෙන ජීවිතේ ගැට ගසා ගැනීමට පුරුදු වී සිටින ඔවුහු එම ගැටය නොලිහී දිගටම තබා ගැනීම සඳහා ඕනෑම අමන වැඩක් කරති. සේපාල් අමරසිංහ පිළිබඳ කතාවද එසේ වන්නට පුළුවන. පොතුහැර හාදයා පිළිබඳ කතාවද එසේම විය හැකිය. මේ අය යැවිය යුත්තේ පිස්සන් කොටුවටද නොඑසේ නම් හිරගෙදරටද යන්න තීන්දු කිරීම ආණ්ඩුවට භාරය.

advertistmentadvertistment
advertistmentadvertistment