ඇස් පනා පිට විනාශ කරන ජාතික දේපළක් ගමක් එකතු වී කොල්ලකන කේ.කේ.එස් සිමෙන්ති ෆැක්ටරියේ යකඩ ගොඩ…

1745

යකඩ හොරකමෙන් දිනකට කාන්තාවක් රුපියල් හත්දාහකට වැඩි මුදලක් සොයනවා පිරිමි කෙනෙක්ගේ ආදායම ඊට වැඩියි…

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ යකඩවල වටිනාකම කෝටි පන්සියයකට වැඩියි…

කොච්චර එළෙව්වත් අපි එහාට, මෙහාට වෙනකම් ඉඳල වත්තට පනිනවා…
යුද හමුදා නිලධාරියෙක්

ආමි එකටත් කරන්න දෙයක් නෑ, මේක සිමෙන්ති සංස්ථාවට අයත් භූමියක්…
නාවික හමුදා නිලධාරියෙක්

අපිට පුළුවන් ප්‍රමාණයෙන් නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා…
කන්කසන්තුරේ පොලිසියේ ස්ථානාධිපති

යුද හමුදා නිලධාරීන්ගේ සෝදිසි කිරීම්වලින් පසු කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවට අපි ඇතුළු වීමු. ප්‍රධාන පිවිසුමේ සිට ටික දුරක් යනෙන විට නටබුන් තලාවක් වැනිය. සිතාගැනීමට නොහැකිය. වික්‍ෂිප්ත දෑස් සතර විපරම් කරයි. අහසට නැඟි විසල් ගොඩනැඟිලි නටබුන් බවට පත් වෙමින් තිබෙන අයුරු පෙනෙන විට හදවත පෑරිණි. ඇතැම් විසල් ගොඩනැඟිලි වසාගෙන කැලෑ රොද ඉස්සී තිබෙන අයුරු පෙනෙන විට පෑරුණු සිත කම්පනයට පත් විය. තැන, තැන කපා ගොඩ ගැසූ යකඩ ගොඩවල්ය. පය තබන බොහෝ ස්ථානවලින් පොළොවට යට වූ යකඩ මතු වී තිබේ. පාවහන් නොතිබෙන්න යටි පතුල් ඒ යකඩ පතුරුවලට, උල්වලට කැපී තුවාල වනු නිසැකය.

‘මෙහෙමත් විනාශයක්…’

ගිනි මද්හානෙ ගත පිච්චෙන තරමට වඩා මහා දේපළ විනාශය දකිනවිට හදවත දැවිණි.

රාජ්‍ය දේපළ මෙලෙසින් වල් වැදී විනාශ වී යද්දී, රටක් දියුණු වේද? යටි සිත ප්‍රශ්න කළේය. පුරාවිද්‍යා භූමියකදී බොහෝවිට ඇස ගැටෙනුයේ ගල් කණු, පාදම් කොටස්, විවිධ බෞද්ධ ස්මාරක සහ ඒවාහි කොටස්ය. එහෙත් යාපනයේ, කන්කසන්තුරේ මේ නටබුන් භූමියේදී ඇස රැඳෙනුයේ විසල් ගොඩනැඟිලි සහ පොළොවට පස් වන යකඩ ය.

‘සර්… අල්ලපු ගමේ මිනිස්සු වත්තට පැනල දැනුත් යකඩ කපනවා…’ කැඩුණු සිංහලෙන් එම වචන කිහිපය ගැළපුවේ විනාශ මුඛයට ඇද වැටී ඇති සිමෙන්ති කර්මාන්තශලාවේ මුර සේවයෙහි නිරතව සිටින උදයන්ය. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ තාවකාලික සේවකයෙකි. ඔහුගේ ඔත්තුවත් සමඟ අපි ඒ දෙසට දිව ගියෙමු. යුද හමුදා කඳවුරේ ආරක්‍ෂක වැටෙන් එපිටට පැන එම ඉසව්වට දුවන විට සියයකට වැඩි පිරිසක් පැමිණ යකඩ එකතු කරති. ගැහැනු, පිරිමි, කුඩා දරුවො ලහි, ලහියේ වැඩය. පිරිසක් ගල් ඉනි, උදලුවලින් පොළොව හාරමින් යකඩ ගොඩවල් මතු කරති. තව පිරිසක් කැලෑව පුරා ඇවිඳිමින් යකඩ එකතු කරති. තවත් පිරිසක් අබලන් ගොඩනැඟිල්ලක් මත නැඟෙගෙන යකඩ කපති.

ඇස් පනා පිට විනාශ කරන ජාතික දේපළක් ගමක් එකතු වී කොල්ලකන කේ.කේ.එස් සිමෙන්ති ෆැක්ටරියේ යකඩ ගොඩ…
යකඩ කපන ගොඩනැඟිල්ලක්

‘ඔහොම හිටව්… එක්කෙක්වත් දුවන්න එපා… හතර වටෙන්ම වට කරල තියෙන්නෙ…’ ආරක්‍ෂක නිලධාරියෙක් ශබ්ද නඟා එසේ කීවේය. එහෙත් ඒ හඬ ට යකඩ හොරු ඇහුම්කන් නොදුන්හ. ගාල කඩාගත් ගව රැලක් මෙන් හිස් ලූ, ලූ අත දිව ගියහ. දුව, පැන ඇවිදීමට නොහැකි සුළු ආබාධ සහිත පුද්ගලයන් මෙන්ම බියට පත් වී එක තැන ගල් ගැසුණු කිහිපදෙනෙක් ආරක්‍ෂක අංශ භාරයට පත් වූහ. ඔවුන් සන්තකයේ පැවැති ආයුධ, යකඩ පිර වූ ගෝනි අත්අඩංගුවට ගෙන නැවත පැත්ත පළාතකට නොයන ලෙසට තර්ජනය කර ඔවුන්ව ද පලවා හැරීහ.

‘කොච්චර නම් මුන්ව එළවනවද? ඒත් වැඩක් නෑ… අපි ගිය හැටියෙ නැවත වත්තට පැනල යකඩ එකතු කරනවා… මේක වුණේ දැන් මාස එකහමාරකට විතර පෙර භට පිරිස් ප්‍රමාණවත් නෑ කියල කඳවුරේ ආරක්‍ෂක වැට මෙහාට ගත්ත නිසා. වැට මායිමේ මුරපළවල් ටික ඉවත් කරපු හැටියේ මේ මිනිස්සු තැනින්, තැනින් වැට කඩාගෙන වත්තට ඇතුළු වෙලා යකඩ හොරකම් කරන්න පටන් ගත්තා. කොච්චර එළෙව්වත් අපි එහාට, මෙහාට වෙනකං ඉඳල වත්තට ඇතුළු වෙනවා. පොලිසියට කිව්වට වැඩක් ඇත්තෙත් නෑ. අපේ වචනයට ඇවිත් බලලා යනවා හරි හැටි නීතියක් ක්‍රියාත්මක කරන්නෙ නෑ. රාජ්‍ය දේපළ විනාශ කිරීමේ නීතිය යටතේ දෙතුන් දෙනෙක්ට නඩු දාලා උසාවි දැම්මා නම් මේක නිකන්ම නතර වෙනවා. පොලිසිය ඒක කරන්නෙ නෑ. මුන්ව එළවලා වැඩක් නැති තැන අපිත් අතහැර දැම්මා…’ සිමෙන්ති කර්මාන්තශාලා භූමිය තුළ ස්ථාපිත යුද හමුදා කඳවුරේ නිලධාරියෙක් යකඩ හොරකමේ තතු එසේ පැහැදිලි කළේය. රාජ්‍ය දේපළ ආරක්‍ෂා කිරීමට බැඳී සිටින යුද හමුදා නිලධාරීන් පවසන ඒ කතාවෙන් අපට සෑහීමකට පත් විය නොහැක. එහෙත් අපේ වීරෝදාර රණවිරුවන් සම්බන්ධයෙන් දොසක් නැඟීමට මගේ සිත එකඟ නොවේ. උතුරු, නැගෙනහිර සියලු හමුදා කඳවුරුවල භට පිරිස්වල අඩුවක් පවතින බව ද වාර්තා වේ. එහෙත් උතුරු, නැගෙනහිර පමණක් නොව මේ රටම ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් අපේ රණවිරුවන් බලා සිටියදී, නැල්ලිනක්කපුරම් ගමේ වැසියන් රජයට අයත් භූමියක ගොඩනැඟිල්ලක් මත නැඟ යකඩ කපන අයුරු දුටු විට නම් හදවත ගිනි පත්තු විය.

අපි උස් පස් වැටිය මත ඉදි වූ විසල් කම්බි වැට දිගට ගමන් කළෙමු. තැනින්, තැන කම්බි වැට කපා පහසුවෙන් ගමන් කළ හැකි තරමට පාරවල් තනාගෙන ඇති සැටි පෙනේ. එක තැනක ට්‍රැක්ටරයක් ගමන් කළ හැකි තරමට පළලට මං තනාගෙන තිබේ. එතැනම මහා යකඩ කඳන් දෙකකි. බැකෝ යන්ත්‍රයකින්වත් පහසුවෙන් ඔසවා එහාට, මෙහාට කළ නොහැකි තනි යකඩ කඳන් දෙකකි. යකඩ හොරු විසින් කඹ දමා ඇදගෙනවිත් වැටෙන් එපිටට ගැනීමට ප්‍රයත්න දරා තිබෙන බව ද පෙනේ. ඒ ආසන්නයේ තවත් යකඩ කුට්ටි කිහිපයකි. එම යකඩ කුට්ටි මතින් ඇවිද කම්බි වැට සිදුරු කර ඇති පස් වැටියට අපි නැග්ගෙමු. වැට මායිමෙන් එහා පැත්ත ගම්මානයකි. ඒ ලක්වාසී සියලු දරුවන්ට ජාති, ආගම් භේදයකින් තොරව සාමයේ අරුණලු දකින්නට ඉඩ ප්‍රස්ථාව සලසා දීම අරමුණු කොටගෙන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලනය යටතේ 2016 වර්ෂයේදී ආරම්භ කරන ලද නැල්ලිනක්කපුරම් ගම්මානය යි. ත්‍රස්තවාදී අරගලය අවසාන වීමෙන් පසුව කාලයක් පුනරුත්ථාපන කඳවුරුවල ජීවත් වූ පවුල් සියයකට වැඩි ප්‍රමාණයක් එම ගමේ ජීවත් වෙති. එමෙන්ම එම ගමේ නිවාස සියයක් යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් රජයේ ප්‍රතිපාදන යටතේ ඉදිකර ප්‍රදානය කරන ලද නිවාසය.

සාමයේ අරුණැල්ල ‘නැල්ලිනක්කපුරම් ගම්මානය’ බිහි කිරීමට භූමිය ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ කීරමලේ ප්‍රදේශයේ පිහිටි විනාශ මුඛයට තල්ලු වෙමින් තිබෙන සිමෙන්ති කර්මාන්තශාලාවේ ඉඩම් අක්කර හතළිස් හතකි. සිමෙන්ති කර්මාන්තශාලාවට අයත් භූමියක ජීවත් වන පුනරුත්ථාපනය වූ ඒ මිනිසුන් එකී කර්මාන්තශාලාවේ ම පරණ යකඩ හොරකම් කරති. අපූරුය… කන්න දීපු අත හපා කෑමක් නොව, කොල්ලකෑමකි. ආරක්‍ෂක වැටෙන් එහා නැල්ලිනක්කපුරම් ගම්මානයට ගිය අපි පදිංචිකරුවන් සමඟ කතාබහ කිරීම උත්සාහ කළෙමු. බහුතරයකට සිංහල කතා කිරීමට නොහැකිය. එහෙත් අපව වට කරගත් ගැහැනු, පිරිමි දෙමළ භාෂාවෙන් මොන, මොනවා දෝ කීහ. ඒ අතර සිටි තරුණයන් කිහිපදෙනෙක් ‘ඇයි මොකද ආවෙ… යුද්ධය ද ඕන… මේ අපේ ගම්… අපිට ඕන දේ අපි කරනවා… ඕන දේකට අපිත් සූදානම්…’ කියා බැන වදින බව මා සමඟ ගමනට එකතු වී සිටි දමිළ සගයා කනට කර පැවසුවේය.

අයියා… ලොකු අවදානමක් තියෙනවා… මෙතැන ඉන්න කිහිපදෙනෙක් ලොකු දේකට අර අඳිනවා… අපි මෙතැනින් මාරු වෙමුද?

‘ඔයා බය වෙන්න එපා. මෙතැන සිංහල කතා කරන්න පුළුවන් කිහිපදෙනෙක් ඉන්නවා. අපි ඒ අයත් එක්ක සුහදව කතා කරමු…’ ඔහුව ධෛර්මත් කරමින් කැඩුණු සිංහල කතා කරන තරුණයෙක් අසලට මම ගියෙමි.

කොහොමද මල්ලි…?

‘හොඳින් නෑ. දුකෙන්…’

ඇයි දුකෙන් ඉන්නෙ…?

‘අපේ ගමේ කිසිම කෙනෙක්ට රස්සාව නෑ. කන්න බොන්න විදිහක් නෑ. ඒ නිසා තමයි මේ කම්බි වැට කඩාගෙන අර වත්තට ඇතුළු වෙලා යකඩ එකතු කළේ. දවසක් දෙකක් ගමේ අය ඕක කරනකොට අහල, පහල ගම්වල මිනිස්සුත් ඇවිත් යකඩ එකතු කරන්න පටන් ගත්තා. හමුදාව අපිට විරුද්ධත්වයක් පෙන්නුවෙත් නෑ. යකඩ ටිකක් එකතු කරගෙන අපි හොඳට කාලා බීල ජීවත් වුණා. ඔයලා ඇවිත් හමුදාවත් කුලප්පු කරල අපේ බඩට ගහන්න හදනකොට ගමේ මිනිස්සුන්ට කේන්ති යන්නෙ නැද්ද…’ අවසානයේ ඔහු පැනයක් ඉතිරි කළේය. එම පැනය හමුවේ මම නිරුත්තර වීමි. එහෙත් අපි පසු නොබැස්සෙමු.

‘අපි ආවේ ඔයාලගේ බඩට ගහන්න නෙමෙයි… ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හොයා බලන්න. මේ මිනිස්සුන්ට ඒ ගැන පහදලා දීලා එන්න. අර පැත්තට ගිහින් අපි තව ටිකක් කතා කරමු…’ උපායශීලීව ඔහු මාර්ගයෙන් ගම්වැසියන් පාලනය කර අතහැර දැමූ හමුදා මුරපළකට ගොස් හේ සමඟ වැඩිදුරටත් කතාබහ කළෙමු. එගම්වාසීන්ගේ ආර්ථික, සමාජීය ගැටලු විමසමින් සිටින විට සඟවාගෙන සිටි බොහෝ තොරතුරු ඔහුගේ මුවින් පිට විය.

‘ගමේ මිනිස්සු යකඩ එකතු කරන්න පටන්ගෙන දැන් මාස දෙකකට කිට්ටුයි. එක දවසකට සියයකට වැඩි පිරිසක් යකඩ එකතු කරනවා. උදේ ඉඳලා හවස් වෙනකම් එකතු කරපු යකඩ විකුණලා ගෑනු කෙනෙක් දවසකට රුපියල් හත්දහසක් විතර හොයනවා. පිරිමි කෙනෙක් යකඩ විකුණලා රුපියල් දහ දොළොස් දාහක් හම්බ කරනවා. තව ටික කාලයක් මේ වැඩේ කරගෙන යන්න ලැබුණොත් අපේ මිනිස්සුන්ගේ ගොඩක්ම ණය තුරුස් ප්‍රශ්න විසඳගන්න පුළුවන්. කාලා ඇඳල සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මේ මිනිස්සු පව්…’ ඔහු කියන කතාවේ ද ගත යුතු යමක් තිබේ. ඒ ගමේ රජයේ රැකියා කරන, පෞද්ගලික ආයතනවල රැකියා කරන කිසිවෙක් නැත. එගම්වාසීන් බහුතරයකගේ ජීවනෝපාය මුහුදු රස්සාවය. එහෙත් ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැතිව ජීවන ගැටලුවලින් මිරිකී සිටිය ද රාජ්‍ය දේපළ කොල්ලකෑම කිසිලෙසකින් හෝ අනුමත කළ නොහැක.

එම තරුණයා පැවසූ ආකාරයට දිනකට සියයකට වැඩි පිරිසක් යකඩ සොරකම් කර උපයන මුළු මුදල රුපියල් ලක්‍ෂ පනහකට වැඩි විනා අඩු නැත. මේ යකඩ ගොඩට ඔවුන්ගේ ළමයි යකඩ විකුණා උපයන ආදායම් ද එකතු කළ යුතුය. වාර්තා වන ආකාරයට හොරකමේ නිරත සියලුදෙනා යකඩ කිලෝවක් අලෙවි කරනු ලබන්නෙ රුපියල් හැත්තෑවකටය. ඔවුන්ගේ යකඩ මිලදී ගනු බලන්නේ පරණ යකඩ එකතු කර කොළඹට පටවන යාපනයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. පරණ යකඩ තොග කොළඹට යන බවට තොරුතුරු ලැබුණ ද මුහුදු මාර්ග ඔස්සේ තමිල්නාඩුවට යනවද යන්න අපට ඇත්තේ සැකයකි. එම තරුණයා ද කැටුව ආරක්‍ෂක කම්බි වැට දිගට අපි පහළට ඇවිද ගියෙමු. පෙර සේමය. වැට දිගට තැන, තැන සිදුරු කර මං තනා තිබේ. ඒ බොහෝ තැන්වල මහ යකඩ කඳන් දමා ගොස් තිබේ. එමෙන්ම කැලෑව ඇතුළට වන්නට වල් ඌරො හාරන ආකාරයට පොළොව හාරා තිබේ. මේ වලවල් තියෙන්නෙ යකඩ ගත්ත තැන්වලද? මම ඔහුට කෙටි පැනයක් ඉදිරිපත් කරමි.

‘ඔව්… මේ හරියෙ පස්වලට යට වෙච්ච යකඩ තොග ගණන් තියෙනවා. අපි ඒව තමා සර් හාරන්නෙ. පොළොවට පස් වෙන ඒවා නේ. තව ගොඩක් තියෙනවා…’ පොළොවට පස් වන බව සැබෑය. එහෙත් එම යකඩ රාජ්‍ය දේපළය. එමෙන්ම මේ ආකාරයෙන් පොළොව යට යකඩ තියෙන බවට තොරතුරු ලැබෙනවිට කන්කසන්තුරේ පවත්වාගෙන ගොස් ඇත්තේ සිමෙන්ති කර්මාන්තශාලාවක් ද යකඩ කර්මාන්තශාලාවක් ද යන්න මට ගැටලුවක් මතු විය. පස්වලට යට වූ යකඩ තොග හැර කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ මතුපිට තිබෙන යකඩවල වටිනාකම රුපියල් කෝටි හයසියයකට වැඩි බව ද වාර්තා විය. එවැනි කතා කන වැකෙන අතරේ යුද හමුදා ආරක්‍ෂක වැටෙන් එපිට නැල්ලිනක්කපුරම් ගම්මානය කෙළවරේ පිහිටි නාවික හමුදා මුරපළට ද අපි ගියෙමු. එම මුරපළේ රාජකාරියේ නිරතව සිටි නිලධාරියෙක් සමඟ ද යකඩ හොරකම ගැන කතා කළෙමු.

‘අහල, පහල මිනිස්සු දවස තිස්සේ යකඩ අදිනවා පේනවා. ඒ ගැන යුද හමුදා කඳවුරේ නිලධාරීන්ට පොලිසියට දැනුම් දීලා තියෙනවා. ඒ හැර අපිට මොනවත් කරන්න බෑ. අපි කිව්වට ආමි එකට මුකුත් කරන්නත් බෑ. ඒ දේපළ ආමි එකේ නෙමෙයි. සිමෙන්ති කම්හලේ ඒවා. අපේ රාජකාරිය මෙතැන තියෙන වතුර ටැංකි තුන ආරක්‍ෂා කිරීම විතරයි…’ උතුරු පළාතේ, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී රාජකාරියෙන් ඔබ්බට නාවික හමුදා නිලධාරීන් ද අසරණය. එවැනි පසුබිමක කොටි ත්‍රස්තවාදය විනාශ කළ අලුත ත්‍රිවිධ හමුදාවේ නිලධාරියෙක් දුටු විට වැට මායිමක් හෝ නොපැන්න උතුර, නැගෙනහිර මිනිස්සු දැන් කිසිදු බිය, සැකයකින් තොරව රණවිරුවන් ඉදිරිපිටම හයිරන් පෙන්වමින් රාජ්‍ය දේපළ කොල්ලකති. කාලය මැවූ වෙනසක අරුම හරිම අගේය. එහෙත් එවැනි කතා සංහිඳියාවට විෂබීජ බැවින් අනවශ්‍ය කතා නතර කර කන්කසන්තුරේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන පෙළගැසෙන යකඩ හොරකම සම්බන්ධයෙන් පොලිසියට එල්ලවන චෝදනාවට කරුණු විමසා බැලුවෙමු.

“කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවට අයත් භූමිය අක්කර හයසිය ගානක්. අපිට ඉන්න භට පිරිස්වලින් ඒ සම්පූර්ණ භූමියට ආරක්‍ෂාව දෙන්න බෑ. අපිට තව වැඩ තියෙනවා. ඒත් ඔය කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුවන් ප්‍රමාණයෙන් නීතිය ක්‍රියාත්මක කරල මේ වෙනකොට නඩු දහනවයක් දාලා තියෙනවා. දැනුත් අපේ නිලධාරීන් කිහිපදෙනෙක් ඒ ප්‍රදේශයේ රාජකාරියේ නිරතව ඉන්නවා. අපෙන් වෙන්න ඕන රාජකාරිය වෙනවා…” බෝලය කොහේට පාස් වුවද පොලිස් ස්ථානාධිපතිවරයාගේ කතාව ද සාධාරණය.

සීමිත නිලධාරීන් පිරිසකගෙන් ඉඩම් අක්කර හයසියක් පුරා විහිදුණු, නටබුන් බවට පත් වූ මහා විශාල කර්මාන්තශාලාවක් ආරක්‍ෂා කළ නොහැකිය. ආරක්‍ෂක නිලධාරීන් විසින් එක පැත්තක් ආරක්‍ෂා කරගෙන යකඩ හොරකම නතර කරන විට වෙනත් ප්‍රදේශයකින් කර්මාන්තශාලා භූමිය තුළට ඇතුළු වන මිනිසුන් යකඩ සොරාගෙන යන බව ද වාර්තා වේ. පෙළගැසෙන කතාවට අනුව කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ යකඩ හොරකම පිළලයක් වැනිය. මෙතෙක් අපි කතා කළේ එම පිළලයේ සියුම් ම සියුම් හොර කිරණ ගැන පමණි. යාපනය තුළ ත්‍රස්තවාදී ගිනි දැල් මතු වෙමින් සිමෙන්ති කර්මාන්තශාලාවට ද වෙඩි උණ්ඩ කඩා පත් වූ 1990 ජූලි මාසයේ සිට මේ දක්වා සිදු වූ යකඩ සොරකම දැවැන්ත කතාවකි. ඒ දීර්ඝ කතාව සහ සිමෙන්ති කර්මාන්තශාලාවේ යකඩ සොරකම නතර කිරීමට දැඩි වෙහෙසක් දරන ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ නිලධාරීන් පවසන අනූවේදනීය කතා පුවත ලබන සතියේ හෙළිදරව් කිරීමේ බලාපොරොත්තුවෙන් දැනට අපි කන්කසන්තුරෙන් පිටත් වීමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment